Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වාසදායි අභියෝගයක් සමඟ ශ්‍රී ලංකාව අද අවසන් ගැටුමට

Author(s): 
වර්නන් ගුණසේකර

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රටට එරෙහිව ධකා නුවර අද පැවැත්වෙන අවසාන තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුවය.

තරගාවලියේ සිය පළමු තරග දෙකෙන්ම පරාජය වූ ශ්‍රී ලංකාව ඉන්පසුව පැවැති තරග දෙකම ජයග්‍රහණය කිරීම නිසා ශ්‍රී ලංකා කඳවුර තුළ දැන් ජයග්‍රහණය සොයා යන පිපාසය හටගෙන තිබේ.

ශ්‍රී ලංකාව විසින් පෙරේදා බංග්ලාදේශය පැරදවූ ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මතකය අවදි කිරීමට සමත්ව තිබේ. බංග්ලාදේශය වැනි කණ්ඩායම් මෙවැනි පහසු ආකාරයෙන් ශ්‍රී ලංකාව විසින් පරාජය කළ අතීත වකවානුව වැඩි ඈතක නොවීම ඊට හේතුවයි.

බංග්ලාදේශය පහසුවෙන් පරාජය කිරීම පිළිබඳව තම කණ්ඩායම පුදුම නොවන බව පවසන ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, අවසාන තරගයේදී ඔවුන් පරාජය කළ හැකි බවට ශ්‍රී ලංකා කණ්ඩායම තුළ දැඩි විශ්වාසයක් තිබෙන බව කියයි.

“අපි අපට තිබෙන ශක්තියට අනුව ක්‍රීඩා කරනවා නම් අපට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් බව අපි දන්න නිසා මේ ජයග්‍රහණය ගැන අපි පුදුම වෙන්නේ නැහැ. අපි නැවත වතාවක් අපේ සාර්ථක ක්‍රීඩාවට අවතීර්ණ වී සිටිනවා. මේ හොඳ ක්‍රීඩාව අපි දිගටම කරගෙන යා යුතුයි කියා මම හිතනවා” යැයි ගුණතිලක කියයි.

තරගාවලියේ ආරම්භක තරග දෙකෙන්ම පරාජය වීමෙන් පසුව විස්මිත අයුරින් යළි තරගාවලියට පිවිසීමට හැකි වීම නිසා අවසාන තරගයේදී බංග්ලාදේශයට අභියෝග කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැඩි විශ්වාසයෙන් පසුවෙති.

“මේ තමයි අපේ හැකියාව” යැයි වැඩබලන නායක දිනේෂ් චන්දිමාල් කියයි. “තරගයට පෙර අපට තරග සැලසුම් තිබුණා. පන්දු රකිද්දී අපට තරගයක් පාලනය කරන්න පුළුවනි. අපට අවශ්‍ය වුණේ ඔවුන් ආක්‍රමණය කිරීමයි. ඊට අවශ්‍ය ශක්තිය අපේ පන්දු ප්‍රහාරය විසින් අපට ලබා දුන්නා.”

ශ්‍රී ලංකාව වෙතින් පෙරේදා ලැබූ පරාජය තම කණ්ඩායමට අවදි වන ලෙසට ලැබුණු සංඥාවක් ලෙසින් බංග්ලාදේශ නායක මෂ්රෆි මොටාසා සලකයි.

“මෙය අවදි වන ලෙසට අපට ලැබුණු සංඥාවක්. අපේ මැද පිතිකරු පෙළ මේ තරගයේදී පන්දු ප්‍රහාරයට විවෘත වීම හොඳයි. ඔවුන්, ඔවුන් කළ වැරදි හඳුනා ගනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා. පෙරේදා දිනය අපට නරක දවසක්. අවසාන තරගයට මේ පරාජය බලපාන්නේ නැති වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් මොටාසා පවසයි.

ශ්‍රී ලංකාව පෙරේදා ලැබූ ජයග්‍රහණයෙන් වඩාත් සතුටු වන එක් පුද්ගලයෙකු වනු ඇත්තේ චන්දික හතුරුසිංහ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසින් ඔහු දැන් දෙවැනි ජයග්‍රහණයත් අත්කර ගෙන සිටී. මේ ජයග්‍රහණය ඔහුට වඩාත් වැදගත් වන්නේ තමන් මීට පෙර පුහුණු කළ කණ්ඩායම පරදවා තමන්ගේ උපන් රටේ කණ්ඩායම ජයග්‍රහණය කර සිටින බැවිනි. බංග්ලාදේශ කණ්ඩායම අද සිටින සාර්ථක මට්ටමට ගෙන ආවේ හතුරුසිංහ ය.

කලකට පසුව ශ්‍රී ලංකාව දැන් ජයග්‍රාහී මාවතට පිවිස තිබේ. එය දීර්ඝ මාවතක් වනු ඇතැයි යන්න ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ එකම පැතුම වෙයි. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();