Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගොඩගේ පොත් ප්‍රකාශනයට දිරියක් වූ නන්දා ගොඩගේ

ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි විසින් සංස්කරණය කරන ලද නන්දා ගොඩගේ උපහාර ග්‍රන්ථය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමාජ ගත කෙරිණි

නන්දා ගොඩගේ රට පිළිගත් ව්‍යාපාරිකාවකි. ඇය වාණිජ කළමනාකරණය පිළිබඳ අත්පොත් තැබුවේ මාජුවානාවේ සමුපකාර සමිතිය ඇසුරෙනි.

යොවුන් යුවතියක ලෙස ඉන් ඇය ලත් දැනුම් සම්භාරය ක්‍රමයෙන් පෝෂණය වී වර්ධනය වී ඇයගේ විවාහ ජීවිතයට ද මං පෙත් පාදා දීම දෛවයේ ප්‍රාතිහාර්යයකි. මේ මහා ප්‍රාතිහාර්යය මෙතෙක් ආ ජීවිතයට ආලෝකය දී ඇත.

මව්පියන්ගේ අනු දැනුම මත දියණිය බලන්නට ආ වියත් උගත් ධනවත් තරුණයෝ බොහෝ වූහ. සමහරවිට එවැනි පැමිණීම් සියයකට ආසන්න යයි පැවසුම අප මවිත කරවන්නක් විය හැකි වුණත් සත්‍යය එයයි.

වත්මන් ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ධනවත් අර්ථපතියෙකුව සිටින ගොඩගේ මහතා මහා ධනවත් පවුලක රන් හැන්දක් මුව තබාගෙන උපන් දරුවෙකු නූනත් ඔහුගේ වේලාපත්කඩෙහි “මේ පින්වත් කුමරු” යයි හැඳින්වීම විසල් සත්‍යයක් බවට පත් කිරීමේලා නන්දා ගොඩගේ වෙත වූ සහජ වාසනා ගුණය, ගොඩගේ ශ්‍රීමතාණන් පූර්ව භවයෙහි කළ කුසල ධර්මයන්ගේ ප්‍රතිපලයකැයි කීමට පුළුවන.

සිරිසුමන ගොඩගේ තරුණයා නන්දා ගොඩගේ තරුණිය ස්වකීය සහායිකාව කර ගන්නේ පෙර දැන හැඳුනුම්කමක් ඇතිව හෝ ඥාති මිත්‍රාදී සම්බන්ධතාවක් නිසා හෝ අන්තර්ජාලයෙන්, මුහුණු පොතින්, SMS මගින් හෝ නොවේ.

ස්වකීය ජීවිතයට සහකාරියකගේ අවශ්‍යතාව දැනුණෙන් එය පුවත්පතක මංගල දැන්වීම් තීරයට ගියේය. පිළිතුරු ලිපි ලැබිණි. සිංහල සංස්කෘතියට අනුව හඳහන් පිටපත් සමඟ පැමිණි සියලු අයැදුම් ලිපි ගොඩගේ මහතාණන්ගේ පරීක්ෂාවට ලක්විය. ඒ අතර එතුමන් සිත්ගත් අයැදුම නන්දා ගොඩගේ තරුණියගේ මුතුවන් අත් අකුරින් ලේඛනගතව තිබිණි එය පරීක්ෂා කර බැලූ ගොඩගේ මහතා ඇය තම ජීවන ගමනට ආලෝකයක් බව වටහා ගත්තේය.

සාමාන්‍ය චාරිත්‍රවාරිත්‍රවලට අනුව තම විවාහ පරීක්ෂාව තමන් විසින්ම කර ගනු ලැබූ සිදුවීම අසා නැති තරම් ය.

දෛවය, ඉරණම සහ සසර හුරු පුරුදු සෙනෙහස නිසා මෙම පතිපත්නීන් දෙපළගේ ජන්ම පත්‍ර පවා ඔවුනොවුන් කෙරෙහි ආකර්ෂණය වූවා වීමට පුළුවන. ගොඩගේ මහතා ජ්‍යොතිෂයෙන් හසල දැනුමැත්තෙක් විය.

ගම්බද මාජුවානාවේ සිට කොළඹ මහා නගරයට පිවිසි නන්දා ගොඩගේ තරුණ බිරියට නාගරික කටුක රළු පරිසරය කුමන සිතුවිලි පහළ කිරීමට සමත් වූවා දැයි නොදනිමු.

ඇයට ජීවිතය අභියෝගයක් විය. මේ අභියෝගයට මුහුණදීමට ඇගේ මනස සකස් කිරීම්ලා වගකීම භාරගත්තේ හා උපදේශ ලබා දුන්නේ ස්වාමි වූ ගොඩගේ මහතා බව නන්දා ගොඩගේ මහත්මිය ගෞරවයෙන් සිහිපත් කරන්නීය.

මේ උපදෙස් මත ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය දියුණු කිරීමේලා නන්දා ගොඩගේ මහත්මිය කැපවීම සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේම නැණ පහන් දැල්වීමේ එක් පිළිවෙතක් විය.

රසඥතාව මෙන්ම බුද්ධිවර්ධනයෙහිලා පරිශීලනය කළ හැකි විවිධ විෂය ක්ෂේත්‍ර‍යන්හි ග්‍රන්ථ දහස් ගණනක් ගොඩගේ ප්‍රකාශන ලෙසින් වසරක් පාසා පාඨක දෝතට පිරිනැමෙන්නේ ස්වාමියාට අවනත ඔහු බස නොඉක්මවන බිරියක් මහා කළමනාකාරී ධුරය දරමින් එය මෙහෙයවන නිසාය.

ජාති, කුල, ආගම්, භාෂා භේද ග්‍රන්ථ ප්‍රකාශනයෙහිලා ගොඩගේ ආයතනයට වැදගත් වන්නේ නැත.

සිංහල භාෂාවෙන් මෙන්ම දෙමළ, ඉංග්‍රීසි බසින් මුද්‍රණය වන ග්‍රන්ථ බොහෝය. බුදු දහම පිළිබඳ මෙන්ම කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගමික ග්‍රන්ථද බො‍හෝ ය. සරසවියක කුලපතිවරයකුගේ මෙන්ම ඈත වන්නිකරයේ උගත් ආදිවාසියෙකුගේ නිර්මාණයකට ද සමානව ගෞරවයෙන් සැලකෙන්නේ මනුෂ්‍යත්වයේ යථාර්ථය පිළිබඳ ගොඩගේ මහතාට මෙන්ම මහත්මියට ඍජු හා පැහැදිලි නිර්ව්‍යාජ වැටහීමක් ඇති නිසාය.

කියවීමට සම්පූර්ණ මිනිසෙකු තැනීමේ ශක්තිය ඇතැයි පැවසෙන පැරණි දාර්ශනික මත ගොඩගේ මහතා මෙන්ම මහත්මියද පිළිගන්නීය. එම නිසා වැඩි වැඩියෙන් පොත් ප්‍රකාශනයට මහතාට මහත්මියගෙන් ලැබෙන සහාය අල්ප නොවේ.

මුද්‍රණය කළ ද ඵලක් නොලැබේවි යයි සිතන නිර්මාණයකට පවා ආධුනික ප්‍රවීණ භේදයකින් තොරව අත හිත දෙන ගොඩගේ යුවළට ප්‍රකාශනය සංසාර පුරුද්දකි. විකිණෙන පොත් පමණක් මුද්‍රණය කරන පිළිවෙතක් ගොඩගේ මහත්මිය සිත ද නැත.

ආධුනිකයන්ට අත හිත දෙමින් විටක මුදල් ආධාර පවා දෙමින් මෙම පින්වත් මහත්මිය මහත් කුසල සම්භාරයෙක් රැස් කර ගත්තේ ස්වාර්ථය සඳහා නොවේ.

ලේඛකයකුට වේවා අන් කවරෙකුට හෝ වේවා ආධාර උපකාර කරමින් ඇය ද ස්වාමියා මෙන්ම ලෝකයාගේ හිත සුව පිණිස හැකි දේ කරන්නීය.

එහෙත් ඇය සකසුරුවම් සහගතව තම කාර්යයෙහි නිරත වන්නී ආයතනයේ දියුණුව වෙළෙඳ ක්ෂේත්‍රයේ ජයටැඹ කරා යාමක් වීම තුළ ඉන් ලබන ඵලය සේවක සේවිකා නිලධාරින්ට ද නිසි ලෙස බෙදා දීමේ පොදු ප්‍රතිපත්තියකට අනුගත වෙමිනි.

දියුණුවේ කන්ද නගිනවිට කුමන හේතුවක් නිසා හෝ පරිහානියට පත්වී කඳුපාමුලට පෙරළෙමින් සිටිනා අයෙකු නගා සිටවීම සඳහා උපකාර කරනු විනා පයින් ගසන්නේ නැත.

වත්මන් ලෝකයේ පැවත්ම මුදල් මත රඳාපවතින බව වැඩිදෙනෙකුගේ පිළිගැනීම වුවත් උපයන මුදලට පුණ්‍යමය වූ සාධාරණයක් ඉටු කිරීමට නම් එය සමාජය තුළ සංසරණය විය යුතු බව නන්දා ගොඩගේ මැතිනියගේ පිළිගැනීමයි.

දුක් මහන්සිවී උපයන මුදල නිසි තැන නිසි ලෙස ආයෝජනය කිරීමට නොපැකිළෙන මෙතුමිය නිෂ්ඵල වැයකිරීම්වලින් ඈත්ව සිටින්නීය. ඇගේ ඇඳුම පැලඳුම පවා සරලය, චාම්ය. එහෙත් ස්ත්‍රී සොබාව සුරක්ෂිත කර ගැනීමට ද ඇය කැමතිය.

බොහෝ දෙනකු පවසන්නේ ගොඩගේ මැතිනිය වියපත් නොවන දිරිමත් සවිමත් නැණවත් කාන්තාවක බවයි.

සැබැවින්ම ඇය ධනයෙන් ආඪ්‍යය. එහෙත් ඒ ධනයෙන් එක් සතයක් හෝ සංසාර ගමනේ ඉදිරියට ගෙන යා නොහැකි බව ඇය තරයේ විශ්වාස කරන්නීය.

“කැපවීමේ ධර්මතාව ලෝකයේ ඉදිරි ගමනට හේතු කාරක වන බව දන්නා නන්දා ගොඩගේ මහත්මිය, උපයන ධනයට හිමිකම් කියා පෑමට දූ පුතුන් නොමැතිකම ගැන සුසුම් හෙළන‍්නේ නැත. තැවෙන්නේ නැත.

“අප දෙදෙනාගෙන් පසු මේ වත්කම් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය වන ලෙස, නැණ නුවණ දැල්වෙන ලෙස පරිහරණය කිරීම තමන්ගෙන් පසු භාරකාරත්වය හිමි වන අයගේ යුතුකමකැ’යි ගැඹුරෙන් මෙන්ම සරලව ද කියන්නීය.

මෙවන් ආකල්ප සමාජගතවීම මිනිසාගේ ප්‍රඥාවට සොඳුරු ආලෝකයක් වීම කාට කෙසේ වැළක්විය හැකි ද?

මින් වසර හත අටකට පෙර මෙතුමිය වෙනුවෙන් අභිනන්දන ප්‍රණාම උළෙලක් පවත්වා ඇගේ සත්‍ය ජීවිත කතාව සමාජගත කළ යුතු යැයි කළ යෝජනාවන්ට ඇය පිළිතුරු දුන්නී “ගොඩගේ මහතා ගැන පුළුවන් තරම් ලියන්න එතුමා පසෙකින් මා සිටියා කියන්න. ඒ ඇති” යනුවෙනි.

බෝසතාණන් කෙනෙකුගේ බව ගමනේ පාරමිතාවන් සපුරා ගැනීමට එතුමන්ගේ අත අත්නොහැර යන ප්‍රිය පතිනියකගේ ආකල්ප චින්තාව ගොඩගේ පතිනිය තුළ ද දැකිය හැකිය.

සාර්ථක මිනිසෙකු පසුපස සිටිනා දුක් විඳින කතකසේ නන්දා ගොඩගේ මහත්මිය හැඳින්වීමේ වරදක් නැත. එම දුක, භෞතික හිඟ පාඩුකම් නිසා ඇති වූවක් නොවේ.

ඇය ඇගේ දූ පුතුන් වෙනුවෙන් ධනය රැස් කිරීමට දුක් විඳිනවාද නොවේ. මේ දිරිමත් ගැහැනියගේ සිතින් ගතින් ගැලූ දහදිය, කඳුළු, සුසුම් රටේ පොදු ජනතාවගේ අනාගත දූ පුතුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හෙළා ඇති බව ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අප වටහා ගැනීම එතුමියට කරන මහා අභිනන්දන ප්‍රණාමයකි.

සෝමා ජයකොඩි 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();