Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ණය බර අඩු කර ආදායම් වැඩි කරන වටපිටාව සකස් කර අවසන්

Author(s): 
මිහිර විජේසේකර

* ජනතාව දියුණු වන විට පන්සල දියුණු වෙන්න ඕනෑ
* එදා වැනි වැනී තිබූ ආර්ථිකයට අද ස්ථාවරභාවයක් තිබෙනවා

* සිංහල රජවරුන් එදා මේ දාගැබ් විහාරස්ථාන අමතක ක‍ෙළ් නැහැ
* රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන්නම් කිසිම විහාරයක් වහන්න අවශ්‍ය නෑ
* ජනතාවගේ දියුණුවට වැඩ කිරීම පාලකයන්ගේ යුතුකමයි

බුදුරජාණන්වහන්සේගේ ධර්මය අනුව කටයුතු කරන්නේ නම් අසීමිතව ණය ගැනීමෙන් වැළකිය යුතු වුවත් අපේ රටේ විශාල ණය බරක් එකතුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ ණය ගෙවීම සඳහා රටේ ආදායම වැඩි කර ගත යුතු යැයි පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර අවසන් බව ද කීය.

වෙන්නප්පුව, පොතුවටවන මහා විහාරස්ථානයට වසර එකසිය විසිපහක් සපිරීම නිමිත්තෙන් විහාරස්ථානයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී සිද්ධමුල්ලේ වජිර ස්වාමින්වහන්සේගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ මව්පිය අනුස්මරණ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

විහාරස්ථානයේ ඉදිකළ බෝධි ප්‍රාකාරය විවෘත කිරීම හා රන්වැට නිරාවරණය කිරීම ද අගමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

එහිදී අගමැති වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

රජරට ඇතුළු දුෂ්කර ප්‍රදේශවල තාම කිසිම ආදායමක් නොමැති විහාරස්ථාන හඳුනාගෙන අපේ අලුත් වැඩසටහන යටතේ වැඩි දියුණු කරනවා. මුදල් ආධාර නොලැබෙන විහාරස්ථානවලට උදව් උපකාර නොකළොත් වැඩිකල් නොයා එම විහාරස්ථාන වැහෙනවා. දැනටමත් එසේ වසා ඇති විහාරස්ථාන ගණනාවක් තියෙනවා. ඒවා හඳුනාගෙන ප්‍රතිසංස්කරණය කෙරෙනවා.

ජනතාව දියුණු වන විට පන්සල දියුණු වෙන්න ඕන, ගම දියුණු වනවිට පන්සල හැ‍දෙන්න ඕන. යම් කිසි ප්‍රදේශයක් පිරිහෙනවානම් එම ප්‍රදේශයේ විහාරස්ථානය වහන්න සිදුවෙනවා. මීට හොඳ උදාහරණයක් තමයි රජරට, රජරට පිරි‍හෙනකොට මිනිස්සු රජරට අතහැර ගියා, විහාරස්ථාන වැහුවා. එම විහාරස්ථාන නටබුන් වුණා. අපි ඒ නිසා සංවර්ධනයයි, විහාරස්ථානයි දෙකම එකට එකතු කරලා තියෙන්නේ. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් නම් කිසිම විහාරස්ථානයක් වහන්න අවශ්‍ය නෑ. කිසිම විහාරස්ථානයක් අමතක කරන්න උවමනා නෑ. අපේ යුතුකම වන්නේ මේවා නඟාසිටුවීමයි.

බුදුරජාණන්වහන්සේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දේශනාකර තිබෙනවා විශේෂයෙන්ම පාලකයන්ගේ වැඩ කටයුතු සම්බන්ධව රටක් කොහොමද දියුණු කළයුත්තේ, රජතුමකුගෙන් බලාපොරොත්තු වන දේ, විශේෂයෙන්ම පාලකයාගේ යුතුකම තියෙනවා ජනතාවගේ දියුණුව සඳහා වැඩ කරන්න. එදා කිව්වෙ උදව් උපකාර කරන්න කියලා. ගොවිතැනට අවශ්‍ය ආධාර උපකාර කරන්න, වෙළෙඳුන්ට ආධාර උපකාර කරන්න. රටක් දියුණු කර ධර්මය ප්‍රචාරය කරන්න. තව එක කාරණයක් සූත්‍ර ගණනාවක බුදුරජාණන්වහන්සේ දේශනා කර තියෙනවා. කිසි දවසක ණය වෙන්න එපා. ණය බරක් තියාගන්න එපා, ණය ගන්න එපා, ණයෙන් බේරිලා ජීවත් වෙන්න කියලා. ඒක මම දන්න ආකාරයට පුද්ගලයන්ටත්, ව්‍යාපාරිකයන්ටත් බලපානවා. එමෙන්ම රටවල්වලටත් බලපානවා. එසේනම් විශේෂයෙන්ම පුද්ගලයෙක් හැටියට, ව්‍යාපාරයක් හැටියට, රටක් හැටියට ණය වෙන්න එපා. ඒකයි අපි විශාල උත්සාහයක් දරන්නේ මේ රටේ තිබෙන විශාල ණය බර ගෙවලා දාන්න. ජනතාවට විශාල බරක් නොවී ඒ ණය බර ගෙවන්න. හැමදාම ණය ගන්නව නම් ණය ගෙවන්න බැරිනම් ඒ ආර්ථිකය කඩා වැටෙනවා. ව්‍යාපාරයක් හැමදාම ණය ගන්නවනම් ඒ ණය ගෙවන්න බැරිනම් ව්‍යාපාරය කඩාවැටෙනවා. එහෙනම් රටක් හැටියට අපිට හැමදාම ණය ගන්නත් බෑ. හැමදාම ණයට යට වෙන්නත් බෑ. අපි ණය ගෙවන්න බැරි තත්ත්වයකත් හිටියා. එහෙම නම් අපි ණය ගෙවන්නට උවමනයි. ඒත් ණය ගෙවන ගමන් මේ රටේ සංවර්ධනයක් අවශ්‍යයි. මොකද ණය ගෙවනවා කියන්නේ රජයෙන් බරක් ඉවත් කරනව විතරක් නෙවෙයි, රජයට ආදායම දෙන, බදු ගෙවන ජනාතාවගේ බර අඩු කරන එක.

ණය ගෙවන්න ගෙවන්න අපේ බර අඩු වෙනව නම් ඒ මුදල් ජනතා සුබසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා අපිට යොදවන්න පුළුවන්. ඒ නිසා අද රාජ්‍ය ණය අඩු කරන එක ඇත්තවශයෙන්ම බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අනුව සිදු කරන්න ඕන. ඒ ධර්මය අනුගමනය කරනවානම් සීමාවක් නැතිව ණය ගන්න යන්නේ නෑ. සීමාවක් නැතිව ණය ගන්න එක ඒ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අද අපි දැකලා තියෙනවා සීමාවක් නැතිව රටක් ණය ගත්තම සිදුවන දේ. ග්‍රීසිය සීමාවක් නැතිව ණය අරගෙන ණය ගෙවන්න බැරිවෙලා අවුරුදු දහයක් ගියා. අපි ඒ ග්‍රීසියේ මට්ටමට යන්න ඉස්සරවෙලා ග්‍රීසි‍ෙය් වගේ ණයවලට යටවෙන්න ඉස්සරවෙලා ඒක නවත්වාගෙන දැන් ක්‍රමාණුකූලව ඒ ණය ගෙවන්න පියවර ගන්නවා. එදා වැනි වැනී තිබූ ආර්ථිකයට අද ස්ථාවර භාවයක් තියෙනවා. දැන් ණය ටිකක් ගෙවන්න හැකි වුණා කියලා ඒකෙන් විතරක් සෑහීමකට පත්වෙන්න බෑ. ණය ගෙවන එක පහසු වෙන්නෙ අපේ ආදායම වැඩිවෙනව නම් රටේ ආදායම වැඩිවෙනවනම්, රටේ නිෂ්පාදනය වැඩිවෙනවනම් රටේ නිෂ්පාදනය වැඩිවෙන්නේ රටේ තිබෙන ආයෝජනය වැඩිවෙනවනම් රටට ආයෝජනයක් ලබාගන්න ඕන. අද තිබෙන නවීන ආයෝජන, කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය ව්‍යාපාර ඇතුළු ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න වර්තමාන සමාජයේ ඒ යටිතල පහසුකම් අවශ්‍යයි. විදුලිබලය, මාර්ග, ජලය නැත්නම් ඒවා ආරම්භ කරන්න බෑ. ඒ විතරක් නෙ‍වෙයි ගුවන්තොටුපොළවල්, තොටුපොළවල්, නගර පහසුකම් ඒවා ලබාගත්තම තමයි ආයෝජන එන්නේ. අපි ඒ වටපිටාව දැන් නිර්මාණය කර තිබෙන්නේ මේ බ්‍රහස්පතින්දා ජපානයේ ආයෝජකයන් සියදෙනෙක් ලංකාවට එනවා, ආයෝජන අවස්ථා බලන්න. මෙතනින් තමයි රට දියුණු වෙන්නේ ඒක පියවරෙන් පියවරට ගන්න තියෙනවා. ක්‍රමානුකූලව අරගන්න තියෙනවා. රටක් හදනවානම් ඒ පහසුකම් දීලා ක්‍රියාත්මක වෙන්න ඕන අතීතයේදීත් අපි පහසුකම් දුන්නා. ගොවිතැන් කරන්න ජලය දුන්නා, වැව් හැදුවා, ඇළවේලි හැදුවා, ඒ මගින් ගොවිතැන දියුණු කෙරුවා. එහෙම කරලා තමයි අපි හාල් ටික අපනයනය කළේ. එදා යටිතල පහසුකම් දුන්නේ වැව් හදලා, ජලය ලබාදීලා. අද අපි යටිතල පහසුකම් දෙන්නේ මාර්ග හදලා, විදුලි බලය ලබාදීලා, ජලනළ දීලා, ගුවන්තොටුපොළවල්, තොටුපොළවල් ඇතුළු අනෙකුත් පහසුකම් දීලා. එදා ගොවිතැන් කරලා ඉගැන්වූවා වගේ අද බලන්නේ වෘත්තිය පුහුණුව දෙන්න. විශාල කර්මාන්තකරණයකට විශාල වාණිජකරණයකට අද අපි අවතීර්ණ වෙලා ඉන්නේ. තායිලන්තය තවත් ථෙරවාදී රටක්, තායිලන්තය ක්‍රමානුකූලව දියුණු ‍වුණා. අපිත් බලන්න ඕන ඒ වගේම දියුණු වෙලා ජනතාවට මීට වඩා හොඳ ජීවන රටාවක් ලබල දෙන්න. ඒ වැඩ කටයුත්තේදී එදා සිංහල රජදරුවන් මේ දාගැබ, විහාරස්ථානය අමතක කළේ නෑ. ඒ වගේම අද රටේ සංවර්ධනය කරන ගමන් ආණ්ඩුවක් හැටියට අපි විහාරස්ථානයයි දාගැබයි අමතක කරලා නෑ. ඒ දෙකම සම්බන්ධ කරගෙන අලුත් යුගයකට එකතු කරන එක සිදුවෙනවා යැයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, අශෝක ප්‍රියන්ත මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප-අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();