ෆවුස් මොහොමඩ්
අනුරුද්ධ හේරත්ගේ තීරණාත්මක උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමෙන් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ දෙවැනි වටයේදී යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 30-28ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්විය. මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටින සී.එච්.පිල තරගාවලියේ අනුශූරතාව හඹා යාමේ සටනට එක්වෙමින් පෙරේදා පස්වරුවේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී මේ ජයග්‍රහණය අත්කර ගත්තේය.
තරගයේ ආරම්භයේ සිටම දෙපිලම කරට කර සටනක නිරතවූවත් 65 වැනි මිනිත්තුවේදී අෂේන් බණ්ඩාර තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් ලකුණු 28-20කින් පෙරමුණ ගත් යුද හමුදා පිල හමුවේ සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සී.එච්.පිල 72 වැනි මිනිත්තුවේදී සැමුවෙල් මධුවන්ත එල්ල කළ දඬුවම් පහරත් සමග ලකුණු 23 දක්වා ඉහළ දමාගත්තේය.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-15කින් පෙරමුණ ගෙන සිටියේ යුද හමුදා කණ්ඩායමය. සී.එච්.පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් ඇතුළත් වූ අතර යුද හමුදා පිල ලබාගත්තේ ගෝලයක්, උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහර 2ක් පමණි.
සී.එච්.පිල වෙනුවෙන් කාංචන ලක්ෂිත, යෝෂිත රාජපක්ෂ, ලී කීගල් සහ අනුරුද්ධ හේරත් උත්සාහක දිනුම් රැස් කළ අතර සැමුවෙල් මධුවන්ත උත්සාහක දිනුම් 2ක් ගෝල බවට පත් කරමින් ද, දඬුවම් පහර 2ක් සාර්ථකව එල්ල කරමින් ද කැපී පෙනෙන දස්කම් පෑවේය. යුද හමුදා පිල වෙනුවෙන් මනෝජ් බණ්ඩාර, සුදාරක දික්කුඹුර, සුගත් නානායක්කාර සහ අෂේන් බණ්ඩාර උත්සාහක දිනුම් රැස් කළහ. ගයාන් සාලින්ද උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ අතර දඬුවම් පහර 2ක් ද එල්ල කළේය.

0 Comments