Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් පාලන ආයතන අනූතුනකට නම් දෙති

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක නියෝජිතවරු පළාත් පාලන ආයතන 93ක මැතිවරණයට අදාළව නාමයෝජනා බාරදීමේ කටයුතු ඊයේ (14) සිදු කළහ. ඒ අනුව ඊයේ (14) මධ්‍යහ්න 12 ට නාමයෝජනා බාර ගැනීමේ කටයුතු අවසන් වු අතර මෙම පළාත් පාලන ආයතන 93 ට මහ නගර සභා 7 ක්, නගර සභා 18 ක් හා ප්‍රාදේශීය සභා 68 ක් ඇතුළත් වේ. නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව පැයක කාලයක් විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දී තිබු අතර ඒ කාලයේ විරෝධතා කිසිවක් වාර්තා නොවීය. කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කළ කොළඹ නවනගර ශාලාවේ දී ද ඊයේ (14) අවසන් දිනයේ නාමයෝජනා බාර දීමට එක්සත් ජාතික පක්ෂය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්‍ඩායම් රැසක නියෝජිතවරු පැමිණ සිටියහ.

අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දුන් කාලය ද ඊයේ (14) මධ්‍යහ්න 12 ට අවසන් වු අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ඇප තැන්පතු 557 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වෙන දෙහිවල- ගල්කිස්ස මහ නගර සභාව, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා ඊයේ (14) බාර දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දෙකකට, කළුතර දිස්ත්‍රික්කයේ ආයතන 05 කට, පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට සහ මාතලේ මහ නගර සභාවට නාම යෝජනා බාර දී ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04 කට සහ අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ටම එක්සත් ජාතික පක්ෂය මේ වන විට නාම යෝජනා බාර දී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගර සභාවට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවට, හැටන්-දික්ඔය නගර සභාවට, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය සභාව ඇතුළු පළෘත් පාලන ආයතන 07 ටම එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා බාර දී ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙළ මහ නගර සභාවටත් හපුතලේ නගර සභාවටත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවටත් එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා භාර දී ඇති අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන 10 ක් සඳහා ද එජාපය ඊයේ නාම යෝජනා බාර දී අවසන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05 ක් සඳහා අත ළකුණ යටතේ ශ්‍රීලනිපය නාම යෝජනා බාර දී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම , කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, අනුරාධපුර දිස්ත්‍රික්යේ ගලනෑව, මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය සභාව වලට ශ්‍රීලනිපය අත ළකුණ යටතේ ඊයේ නාම යෝජනා බාර දී අවසන් කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ඇතුළු ප්‍රාදේශීය සභා 12 ක් හා නුවරඑළිය මහනගර සභාවට හා හැටන් නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය යටතේ නාමයෝජනා ලබා දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ රත්නපුර දිස්ත්‍රික්යේ පළාත් පාලන ආයතන 8 සදහාත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4 ක් සඳහාත් ඊයේ (14) නාමයෝජනා බාර දී ඇත. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පාළාත් පාලන ආයතන සියල්ලටම පොදු ජන පෙරමුණ විසින් ඊයේ (14) නාමයෝජනා බාර දුන් අතර කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාවටද නාමයෝජනා බාර දුන්නේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන 4ට, මාතලේ මහ නගර සභාවට හා නාවලපිටිය නගරසභාවට ද පොදු‍ජන පෙරමුණ ඊයේ නාමයෝජනා බාර දී තිබේ.

තවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවට, හැටන් දික්ඔය නගර සභාවට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන 4 ට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 8 කටද ඔවුන් නාමයෝජනා බාර දී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වෙන සියලු පළාත් පාලන ආයතනවලට ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (14) නාමයෝජනා බාර දී අවසන් කළේය. ඡන්ද විමසීම සිදු කරන අනෙකුත් පළාත් පාලන ආයතන 248ට අදාළව නාම යෝජනා භාර ගැනීම ලබන 18 වන දා සිට 21 දින දක්වා පැවැත්වීමට නියමිත බව කොමිසම සඳහන් කළේය. 

සමන්මලී ප්‍රියශාන්ති, ක්‍රිසන්ති විතාරණ, චන්දිමා කරුණාරත්න, සඳුන් රමේෂ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();