නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සඳහා මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකය භාවිතා කිරීමට පෙලඹවීම, අනුබලදීම හෝ කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (12) නියෝග කෙළේය.විත්තිකාර ඇමැතිවරයාට එරෙහි අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමකට අවසර දෙමින් මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස එම නඩු කටයුත්ත අවසන් කරමින් රාජ්‍ය ඇමැතිවරයා නිදහස් කෙළේය.
මෙම නඩුවට මුල්වූ කරුණ සම්බන්ධයෙන් පැමිණිලිකාර දිනේෂ් රත්නායක නමැත්තා හා විත්තිකරු අතර සමථයක් ඇති බැවින් පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙනයාමට අවශ්‍ය නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා දන්වා සිටියේය. ඒ අනුව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා බවද හෙතෙම දන්වා සිටියේය. ඒ සම්බන්ධයෙන් අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සහ විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරුද්ධත්වයක් නොදැක්වූහ. 2008.07.21 සහ 2008.12.23 අතර කාලය තුළ පැමිණිල්ල නොදත් අන් අය සමඟ එකතු වී නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීම සඳහා මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකාර පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව මෙම නඩුව නීතිපතිවරයා විසින් පවරා තිබුණි.
0 Comments