විවිධ හේතූන් මත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට වරම් නොලබන තරුණ තරුණියන් සඳහා විකල්ප මාර්ගයකින් හෝ උපාධියක් ලබාගැනීම සඳහා දොරටු විවෘත කිරීම ප්රජාතන්ත්රවාදී රටක වගකීමක් බව සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කරයි.
අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් කතා කරන කෙනෙකුට තරඟකාරී විභාගයකින් විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකිවූ පසුව හෝ නොයෙකුත් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට නොහැකි වූ අවස්ථාවක වෙනත් පාරකින් පැමිණ දර්ශනවේදී, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති හා ආචාර්ය මට්ටමට යාහැකි පාරවල් වසන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන ඒ මහතා මේ හේතුවෙන් එවැනි අය සඳහා කිනම් හෝ ආකාරයට උපාධියක් ලබාගැනීම සඳහා අවස්ථාව සළසාදීම ප්රජාතන්ත්රවාදී රටක වගකීම බවද අපේ රටට උපදේශනය ඉතාම අවශ්‍යය බවද පෙන්වාදෙයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් මෙහෙයවන උසස් ජාතික ඩිප්ලෝමා, ජාතික ඩිප්ලෝමා සහ ඩිප්ලෝමා පාඨමාලාවන් හැදෑරූ ඩිප්ලෝමාධාරීන් 321 දෙනෙකු වෙනුවෙන් මෙහිදී සහතිකපත් ප්රදානය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ එස්.බී දිසානායක මහතා,
සරත් කෝන්ගහගේ මහතා මේ ආයතනය බාරගත් විගස මෙහි අරමුණ වෙනුවෙන් ගමන් කරන ආකාරයක් පේනවා. මේ ආයතනය පටන් ගත්තේ වෘත්තිකයන් විද්‍යාර්ථීන් පුහුණු කරන සහ සංවර්ධනයට අතහිත ලබාදෙන ආයතනයක් වශයෙනි. පසුගිය කාලයේ මේ ආයතනයේ කටයුතුවල ඇල්මැරුණු තත්ත්වයක් අපි දැක්කා. ජර්මනියේ ෆෙඩ්රික් ඊබට් පදනම වැනි ආයතනය ලෝකයට නොයෙක් අධ්‍යාපන හා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් උදව් කරනවා. එම ආයතනයෙන් මේ පදනම් ආයතනය බිහිවී තිබෙනවා. මේ ආයතනය ගොඩනන්න අපි උදව් කරනවා. මේ ඩිප්ලෝමාධාරීන්ට අපි සුබ පතනවා. මම උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් සිටින කාලයේ මේ ආයතනයට උපාධි පිරිනැමීමේ අයිතිය තිබෙනවා යැයි සිතුවා. ඒ කාලයේ අපි ආයතන 17ක් සහා උපාධි පිරිනැමීමේ ගැසට් නිවේදන වෙනුවෙන් අත්සන් කළා. අඩුම වශයෙන් 2020 වනවිට ඉංජිනේරු, වෛද්‍ය, තාක්ෂණ ඇතුළුව උපාධිධාරීන් 75,000ක් පමණ වසරකට එළියට එන ආයතන සමූහයක් මේ රටේ නිර්මාණය වියයුතුයි යන පදනමින් ඒ කටයුතු සිදුකළා.
1960 ගණන්වල මේ රටේ ඩිප්ලෝමා පිරිනමන ලද ආයතන කිහිපයක් තිබෙනවා. ඒවායේ ඩිප්ලෝමා අවස්ථානුකූලව සාමාන්‍ය උපාධියක් ලෙස පිළිගෙන තිබෙනවා. මේ ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා පිදනම් ආයතනයේ ඉතාම කාලෝචිත උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරන ලද අය ශාස්ත්රවේදීන්, දර්ශනවේදීන් ලෙස බාරගැනීමට සුදුසුකම් ඇති පිරිසක් ලෙස දකිනවා. ශාස්ත්රවේදියෙක් දර්ශනවේදියෙක් ලෙස ගත්විට ඔවුන් කිසියම් ක්ෂේත්රයක් සම්බන්ධයෙන් ස්වාධීනව සිතන්න පුළුවන් පිරිසක්. තවදුරටත් ඉහළට යන්නට අවශ්‍ය ශක්තිමත් පදනමක් ලබාගත් පිරිසක් ලෙස දකිනවා. අපි තවමත් ලක්ෂ 4 ට ආසන්න පිරිසක් උසස් පෙළ විභාගයට පෙනී සිටිය ද ඒ දරුවන්ගෙන් විශ්ව විද්‍යාලවලට යන්නේ 30,000 ට අඩු පිරිසක්. අපි 17,000 සිට 27,000 දක්වා ඉහළ නංවන්නට පියවර ගෙන තිබෙනවා. මේ තත්ත්වය 75,000 දක්වා හෝ ගමන් කළයුතු වෙනවා. ලෝකයේ මධ්‍යම පහළ ආර්ථික මට්ටමේ රටවල් අතර අධ්‍යාපනය අතින් අපි බොහෝම ඉහළින් ඉන්නවා.
අපේ රටේ ආර්ථික මට්ටමට එහාගිය සමාජ දර්ශක අයිති කරගෙන තිබෙනවා. ලෝකයේ සංවර්ධිත රටවලට හිමි ආයුෂ භුක්ති විඳින රටක්. ළමා මරණ, මාතෘ මරණ ආදිය ගත්විට ලෝකයේ දියුණු රටවල මට්ටමට අපි පැමිණ තිබෙනවා. ඒ නිසා අපි අධ්‍යාපනය, දැනුම ලබමින් රටේ ආර්ථික සංවර්ධනය කරමින් රටට හා අනාගත පරපුරට අලුත් දෙයක් එකතු කරන්න බිහිකරන්නා වූ පිරිස තවමත් අපිට ප්‍රමාණවත් නැහැ. අපේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අතින් විශාල ලෙස ඉදිරියට ගොස් තිබෙනවා. තවමත් අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් කතා කරන කෙනෙකුට තරඟකාරී විභාගයකින් විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකිවූ දරුවෙකුට නොයෙකුත් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න නොහැකි වූ දරුවෙකුට වෙන පාරකින් ඇවිත් ඔහුට දර්ශනවේදී, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති හා ආචාර්ය මට්ටමට යාහැකි පාරවල් වසන්නේ ඇයි. ඒ නිසා අපේ වගකීමක් තිබෙනවා ප්රජාතන්ත්රවාදී රටක ඒ දොරවල් විවෘත කිරීමට. අපේ රටට උපදේශනය ඉතාම අවශ්‍යයි.
පසුගිය කාලයේ සමෘද්ධි ව්‍යාපාරය මූලික අරමුණෙන් එක පැත්තකට ගියා. ඒ නිසා අද ගම්වල ගිනි පොළී ණය ව්‍යාපාර ඇතිව තිබෙනවා. එවැනි ණය දැලේ පැටළුණු පිරිස් සියදිවි හානිකර ගැනීම්වලට යනවා. අපි කුමන ආර්ථික, සමාජ පදනමක සිටිය ද අපේ පවුලේ අය සමඟ විශාල බැඳීමකින් කටයුතු කර තිබෙනවා. නමුත් පවතින තත්ත්වය තුළ එය කැඩී ගොස් තිබෙනවා. මේ තත්ත්වයන් නවතා ගතයුතු වෙනවා. මේ ආයතනය අධ්‍යාපන, පරීක්ෂණ සහ සංවර්ධනය අතින් ඉහළට එන්න අවශ්‍ය වෙනවා. මූලික අධ්‍යාපනයක් අපේ දරුවන්ට අවශ්‍ය වෙනවා.
මේ රටට අවශ්‍ය සමාජ සේවකයන්, සමාජ ක්‍රියාකරුවන් සහ දාර්ශනිකයන් බිහිකරන්න ශ්‍රී ලංකා පදනම් ආයතනය කටයුතු කරනවා. මේ ආයතනය ඉතා ඉක්මණින් උපාධි පිරිනමන ආයතනයක් බවට පත්කර ගත්තොත් මේ අයට පුංචි කටයුත්තකින් පසුව උපාධි ගන්නට හැකියාව තිබෙනවා. ඉතිහාසයේ එවැනි දේ කර තිබෙනවා. කලකට පසුව ශ්‍රී ලංකා පදනම් ආයතනය අද වනවිට නැඟීසිටින තත්ත්වයක් අපි දකිනවා.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාෂ් හමිදුල්ලා මහතා,
ජාතික නායකත්වය, අධ්‍යාපනය හා පුහුණව වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනය කටයුතු කරනවා. මේ තත්ත්වය සහශ්රක සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට ඉතාම වැදගත් වෙනවා. අධ්‍යාපනය, ක්‍රීඩාව මෙන්ම ව්‍යායාමය ද ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා. අපි අපේක්ෂා කරන සංවර්ධනය කරා යන්නට මෙවැනි ආයතන මනා පිටිවහලක් වෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ වනවිට ඉතාම සමීපව කටයුතු කරනවා. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනය ලබනවා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති නීතීඥ සරත් කෝන්ගහගේ මහතා,
ශ්‍රී ලංකා පදනම් ආයතනය මේ රටේ පාර්ලිමේන්තු පනතකින් ආරම්භ කරන ලද විශිෂ්ඨ අධ්‍යාපන ආයතනයක් වෙනවා. සියලු විශ්ව විද්‍යාල සම්ප්‍රදායික අධ්‍යාපනයට යොමු වෙද්දී එම සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට මේ ආයතනය ආරම්භකර තිබෙනවා. මේ ආයතනය පිහිටුවීමේ මූලික කටයුතු රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිදුකර තිබෙන අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් ඒ සඳහා වන පනත පාර්ලිමේන්තුනට ඉදිරිපත් කර තිබෙනවා. ජර්මනියේ ෆෙඩ්රික් ඊබට් ආයතනය විසින් ශ්‍රී ලංකා පදනම ආරම්භකර තිබෙනවා. මේ ආයතනය සතු කිසිඳු ඉඩමක් හෝ ගොඩනැඟිල්ලක් පැවරිය නොහැකි බවට පනතට අනුව නීතිපති උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මේ ආයතනය ආසන්නයේ පිහිටි ඉඩම ද මේ ආයතනයට යළි පවරාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. පසුගිය කාලයේ ජර්මනියේ ෆෙඩ්රික් ඊබට් ආයතනය වැනි ආයතන මේ රටවලින් පිටමං කළද නව රජය විසින් යලිත් ඒ ආයතන මේ රටට ගෙන්වා ගන්නට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනය උපාධි පිරිනමන ආයතනයක් බවට පත්කළ යුතු වෙනවා.
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments