ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී හෙලිවූ කරුණු අනුව ජීවිතාන්ත ක්‍රීඩා තහනමකට ලක්වූ කබඩි සම්මේලනයේ හිටපු ලේකම් එල්. බී. රත්නායක මහතා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වෙත කරුණු හෙළිකරමින් ලිපියක් ලියයි. මේ තහනම කබඩි සම්මේලනයේ උප ලේකම්වරයෙකුට ද පැනවූ අතර හිටපු කබඩි ලේකම්වරයා පවසන්නේ පුහුණුකරුවන්ට දීමනා ගෙවීමට අතපසුවීම සම්මේලනයේ මුදල් හිගවීම හේතුවෙන් සිදූ බවය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම උදෙසා සම්මේලනයට ලබාදුන් රුපියල් 450,000ක මුදල අදාළ පුහුණුකරුවන්ට බෙදා දෙමින් සිටි අතරවාරයේදී 5වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සංචිත ආරම්භ කළ බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත රුපියල් ලක්ෂ 12කට ආසන්න ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර තිබියදී එය ප්‍රමාද වීමෙන් සංගමය සතුව තිබූ හා නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් වියදම් සිදු කිරීමට වූ බවත් ලිපියේ සඳහන් කොට ඇත. වෙරළ ක්‍රීඩා උළෙලට තේරීම් පරීක්ෂණ වියදම්, ක්‍රීඩා ඇදුම්, ආහාර ඇතුළු විවිධ වියදම් වෙනුවෙන් රුපියල් 857,027ක මුදලක් වැයවූ බවද සඳහන්කර සිටී.
මෙලෙස මූල්‍ය චෝදනාවලට පිළිතුරු සැපයුවද කබඩි ලේකම්වරයාට හා උප ලේකම්වරයාට ඇති ක්‍රීඩා තහනම එලෙසම පවතී. ඔවුන්ට මේ 28වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වෙන කබඩි නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි නොවනු ඇත.
කබඩි සම්මේලනයට ලැබුණු රුපියල් 754, 908ක මුදලක් නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමට ගෙන්වා ඇති අතර එයින් නිලධාරීන්ට රුපියල් 510,000ක මුදලක් ගෙවා ඇත. ඉතිරි මුදල් සංගමයේ ගිණුමට ලැබී නොමැති හෙයින් එම මුදල, වහාම බැරකළ යුතු බව ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතාගේ අස්සනින් කබඩි සම්මේලනයට ලිඛිතව දැනුම්දී තිබිණි. මාසයකට අධික කාලයක් එම මුදල් පෞද්ගලික ගිණුමේ රඳවා තබා ගැනීමෙන් ලබන පොලී මුදල් ගණනය කොට සංගමයේ ගිණුමට බැර කරන ලෙස ද දැනුම්දී තිබේ.
තවද, නිමාවට පත්වූ 12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්රහණයන් වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම උදෙසා සම්මේලනයට ලබාදුන් රුපියල් 450,000ක මුදල අදාළ පුහුණුකරුවන්ට නොගෙවා ඇති බැවින් එය ගෙවීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී ඇත. මේ මුදල් ගෙවීමට අසමත් වුවහොත් ඉදිරියේදී මේ පිළිබඳ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කරන බවද ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා දැනුම්දී ඇත.
0 Comments