මහනුවර ක්රීඩකයන්ගේ අපරාජිතභාවය හැව්ලොක්ස් පිල හමුවේ බිඳ වැටේවිද?
දේශීය රගර් තරග බිමේ උණුසුම වැඩි කරමින් අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ පළමු වටයේ අවසන් සතියේ තරග අද (15) ආරම්භ කෙරේ. දෙවැනි වටය ආරම්භ විමට පෙර කෙටි විරාමයක් ලැබී ඇති බැවින් පළමු වටයේ සිය අවසන් තරගය ජයග්රහණයෙන් නිමා කරගැනීම සෑම කණ්ඩායමකම අදිටන වී තිබේ.
මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමට බවට පත්වී සිටින සී.එච්. පිල පසුගිය සතියේ දී ගුවන් හමුදා පිල ලකුණු 43-31කින් පරාජය කරමින් ප්රසාද ලකුණු සටහනේ පස්වැනි තැන අත්කරගැනිමට සමත්වූ අතර අද නාවික හමුදා පිල සමග කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තරගය ජයගනිමින් නැවියන් පහළට ඇද දැමිමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. ප්රසාද ලකුණු 21ක් ලබා තුන්වැනි ස්ථානයේ පසුවන නාවික හමුදා පිලට පසුගිය සතියේදී මහනුවර කණ්ඩායම වෙතින් ලකුණු 33-19ක දරුණු පරාජයක් අත්වීම නිසා සිය ස්ථානය රැක ගැනීමට නම් අද තරගය ජයගත යුතුව තිබේ.
දිගින් දිගටම දරුණු පසුබෑමකට ලක්ව ප්රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා පහතට වැටී සිටින සී.ආර්.පිල අද පැවැත්වෙන පොලිස් කණ්ඩායමට එරෙහි තරගයේදී නැවත හිස එසැවීමට බලා සිටි. පසුගිය සතියේදී හැව්ලොක්ස් පිල හමුවේ ලකුණු 35-30ක පරාජයක් අත්කර ගත් සී.ආර්.පිල පළමු වටයේ සිය අවසන් තරගයේදී නැවත ජය මාවත විවර කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අතර මෙතෙක් පොලිස් කණ්ඩායම කිසිදු ජයග්රහණයක් අත් කරගැනිමට අසමත්වීම සිය අරමුණ ඉටු කරගැනීමට කදිම අවස්ථාවක් උදා වී තිබේ.
අපරාජිත මහනුවර කණ්ඩායම සහ ප්රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් පිල අතර හෙට (16) හැව්ලොක්ස් පිටියේ පැවැත්වෙන පළමු වටයේ අවසන් තරගය වැඩි අවධානයක් යොමුවී ඇති තරගය බවට පත්වනු ඇත. මහනුවර පිල මෙතෙක් පැවැති තරග 6ම ජයගැනීමට සමත්වූ අතර හැව්ලොක්ස් පිල තරග 5ක් ජයගත්තේය.
පසුගිය සතියේදී පොලිස් පිල ලකුණු 32-18කින් පරදවා ප්රසාද ලකුණු සටහනේ සිවුවැනි තැන අත්කර ගත් යුද හමුදා පිල පළමු සතියේ අවසන් තරගයට අනිද්දා (17) තුරඟ තරග පිටියේදී එක්වන්නේ ගුවන් හමුදා පිල සමගය.
0 Comments