Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැසිකිළිය පාරේ කානුවට හැර වූ නාරම්මල කතකට 6000ක් දඩ

Author(s): 
කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක

තම නිවෙසේ වැසිකිළි අපද්‍රව්‍ය මාර්ගයේ පොදු කානු පද්ධතියට බැහැර කළ කාන්තාවකට රුපියල් හයදහසක දඩයක් නියම කළ නාරම්මල මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අදාළ වැසිකිළිය සනීපාරක්ෂක අයුරින් පවත්වාගෙන යන ලෙසට විත්තිකාර කාන්තාව වෙත තරයේ අවවාද කළේය.

එලෙස දඩ මුදල් නියම කෙරුණේ නාරම්මල, සේනානායකපුර පදිංචි චන්ද්‍රා මාලිනි නමැති කාන්තාවකටය. වැසිකිළියේ අපද්‍රව්‍ය පිටත පරිසරයට කාන්දුවන බවට විත්තිකාර කාන්තාවගේ අසල්වැසියන් විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබදව කළ විමර්ශනයකින් අනතුරුව නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව, නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම කාන්තාවට එරෙහිව නඩු පවරා තිබිණි.

වැසිකිළි නළයේ තැනූ සිදුරක් මගින් රාත්‍රි කාලයේ දී වැසිකිළි අපද්‍රව්‍ය මාර්ගයේ පොදු කානුවට මුදාහැර ඇති බවත්, විත්තිකාර කාන්තාව විසින් සිතාමතාම එම ක්‍රියාවේ යෙදී ඇති බවත් ස්ථානීය පරීක්ෂණවල දී අනාවරණය වූ බව පැමිණිල්ල මෙහෙයවමින් නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම මහතා අධිකරණය හමුවේ පැවැසීය.

මිනිස් අසූචි විවෘත පරිසරයට මුදාහැරීම හේතුවෙන් ඊ කොලයි වැනි බැක්ටීරියාවන් හරහා උණ සන්නිපාතය, බෝවෙන සෙංගමාලය, පාචනය වැනි රෝගී තත්ත්වයන්ට මහජනතාව ගොදුරුවිය හැකිවීමත්, දුර්ගන්ධය සහ අප්‍රසන්නතාව හේතුවෙන් ජනතාව පත්ව තිබූ පීඩාකාරි තත්ත්වයන් පිළිබදවත් සලකා බලා විත්තිකාරියට එරෙහිව නඩු පැවැරූ බව ද අමරවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකාර කාන්තාවට තරයේ අවවාද කරමින් දඩ නියම කළේය. නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වයි. එන්. හේමසිරි මහත්මියගේ උපදෙස් මත, මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික්‍රම සහ චාමර චන්ද්‍රරත්න යන මහත්වරුන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවාය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();