සේද මාවතේ නව පරිච්ඡේදයකට අවතීර්ණවීමට අඩිතාලම දමා ඇති චීනය වර්තමානය වන විට ලබාඇති ආර්ථික දියුණුව ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා කොරියාව පසෙකට තල්ලුකර ඇති බව එරටෙහි දශක දෙකක් තුළ දෙවතාවක් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වූ මට හැඟීයයි. මහාමාර්ග, අධිවේගී මාර්ග පද්ධති, විදුලි දුම්රිය මාර්ග පද්ධති, ගංගා ආශ්රිත හා සමුද්‍රීය නාවික ප්‍රවාහනය සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණය, ගුවන්යානා නිෂ්පාදන තාක්ෂණය, සියලුම කාණ්ඩයන්හි මගී රථවාහන සහ ඉලෙක්ට්‍රෝනික නිපැයුම් යන සෑම ක්ෂේත්රයකම ලබා ඇති ධනාත්මක වර්ධනය ඉතා ඉහළ යැයි පැවසිය හැකිය. එමෙන්ම චීන වැසියන් උදෙසා ඉදිකර ඇති හා ඉදිවෙමින් පවතින නව්‍ය නිර්මාණශීලී නිවාස සංකීර්ණ සහ පොදු වෙළඳ සංකීර්ණ සමඟින් අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් තොටුපල යන සියලු ක්ෂේත්රයන්හිම දැකිය හැක්කේ අනාගතය අතික්‍රමණය කිරීමේ දැක්ම පිළිබඳ වූ විශාල පිබිදීමකි.
ඒ වර්තමාන චීනය පිළිබඳ පැවසිය හැකි හොඳම ආකාරයයි.තාක්ෂණ ඥානය ඔස්සේ දියුණු කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ආහාර භෝග හා සත්ත්ව නිෂ්පාදන උත්පාදනය කිරීම, කාර්මික, වෛද්‍ය හා කෘෂිකාර්මික නිෂ්පාදන උදෙසා තොරතුරු තාක්ෂණය සමඟින් පුද්ගල සංවර්ධනය යථාර්තයක් බවට පත්කර ගැනීමට චීනය සමත් වී ඇති ආකාරය එම රට තුළ සංචාරය කළහොත් පසක් කරගත හැකිවේ. මේ උදෙසා සෑම ප්‍රාන්තයකටම ආවේණික වු සංවර්ධන ක්‍රියාදාමයන් පොදු ජාතික ප්රතිපත්තියක සිට ක්‍රියාවට නංවා ගැනීම පිණිස පෙර පාසල් අධ්‍යාපන ක්රමයේ සිට විශ්වවිද්‍යාල සහ අනුබද්ධ පර්යේෂණ ආයතන සමගින් වූ රේඛීය සම්බන්ධතාවයක් පැවතීම ඔවුන් අත්පත්කරගෙන ඇති නව ආර්ථික පුනරුදයට හේතුවයි. දෙවන ලෝක යුද සමය අවසානයෙන් පසුව චීනය හැඳින්වූයේ අධික ජනගහනයක් ඇති පා පැදි (බයිසිකල්) පදින අපිරිසිදුකම හා දරිද්‍රතාවයෙන් පෙළෙන සාක්ෂරතාවය අඩු තෙවැනි ලොව රටක් වශයෙනි.
වර්තමානයේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට තාක්ෂණඥයන් පුහුණුකරලීම උදෙසා කෙටිකාලීන පුහුණු අවස්ථා සලසාදීමට සහ හමුදා ශිල්ප ක්රමෝපායයන් පිළිබඳ ද්විපාර්ශ්වික අභ්‍යන්තර පුහුණු කටයුතු සඳහා මිත්‍ර රටවලට සහායදීම පිළිබඳව ප්‍රශස්ථ මට්ටමකින් චීන රජය කටයුතු කරන ආකාරය දැකිය හැකිය. හොංකොන් පරිපාලනය යළි තමන් නතුකර ගැනීමත් සමඟ චීනය ලෝකයට විවර කරනු ලැබුයේ එක රටක්, ආර්ථික පිළිවෙත් දෙකක් ලෙසිනි. අනතුරුව ප්‍රතිසංස්කරණයට ලක්වූ එරට විදේශීය ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ ලෝකයාට සහෘදව ආමන්ත්‍රණය කිරීමට චීනය සමත් වී ඇති ආකාරය විද්‍යාමාන වේ. මේ වන විටදී එරට තුළ සංචාරක කර්මාන්තයේ පුනරුදය එයට එක් කදිම සාධකයකි. ඒ අනුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විවිධ ක්‍රියාමාර්ග රැසක් අරඹා ඇත. විශේෂයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන් උදෙසා නවීන පහසුකම්වලින් යුතු තරු හතර හා පහේ සංචාරක හෝටල සෑම ප්‍රධාන නගරයකම සේවා සැපයීමට ගොඩනැඟී තිබේ. එකී හෝටල් පරිශ්‍රයන්හි නවාතැන්ගන්නා සැමට WiFi පහසුකම් නොමිලේ ලබාගැනීමට හැකියාව ඇති අතර චීන රජය අනුමත කර ඇති අන්තර්ජාල සේවා සපයන්නන්ගේ වෙබ් අඩවි හරහා ලොව ඕනෑම පුද්ගලයෙකු හා සම්බන්ධවීමටද හැකියාව ඇත.
එමෙන්ම රටේ පෞරාණිකත්වය රැකගත් නූතන ගොවිතැන් ක්‍රමවේද සහිත කෘෂි සංචාරක ගොවිපලවල් සංචාරක ව්‍යාපාරයේ නව මංපෙත් විවර කිරීමට සම්මතව ඇත. මෙම ගොවිපලවල් තුළ වගා කටයුතු නිරීක්ෂණය සඳහා අභ්‍යන්තර මංමාවත් හි පහසුවෙන් ගමන් කිරීමට හැකි කුඩා විවෘත විදුලි වෑන් රථ යොදා තිබේ. එම ගොවිපලවල් තුළම වගා කරන භෝග වර්ග හා සත්ත්ව නිෂ්පාදනයන්හි රසවිඳීමට අභ්‍යන්තර ආපන ශාලා සහ නවාතැන් සඳහා සුඛෝපභෝගී කාමර පහසුකම් ද සන්නිවේදන කටයුතු සඳහා නොමිලේ සැපයෙන වයි-ෆයි පහසුකම් ද විනෝදාශ්වාදය උදෙසා ශ්‍රව්‍ය දෘෂ්‍ය ශාලා පහසුකම් ද සපයා ඇත. චීනයේ දකුණ සහ නැඟෙනහිර පළාත් බදව සංචාරය කළහොත් එරට තේ වගාව ව්‍යාප්ත වී පවතින ආකාරය දැකගත හැක. චීන වැසියන් සමඟ සාකච්ඡා හෝ සම්මන්ත්‍රණයක නිරත වුවහොත් ඔවුන්ගේ තේ පානයේ තරම හා කලාත්මක බව අත්විඳීමට ඔබට හැකිවනු ඇත. එසේම ඔවුන් සාමූහිකව එකතු වී දිගුවේලාවක් ආහාර පාන ගැනීම සාමාන්‍ය සිරිතකි. දේශීය කෑම වට්ටෝරු අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ ෂැංදොං, සීචූආන්, චර්චියෑන්, ෆූ චියෑන්, අන් හුයි, හූනාන් හා ගුවන් දොන් සූප ශාස්ත්‍ර වර්ගයි. කෑම අනුභවයේදී දිගු කෝටු Chopsticks භාවිතය සෑම අවස්ථාවකදීම දැකගත හැකිය.
එමෙන්ම ජනාකීර්ණ වුවද බෙයිජින් නගරයේ සංරක්ෂණය කරන ලද දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්ගත් ස්ථාන කිහිපයකි. ටිබටයේ විසු හත්වන දලයිලාමා තුමා විසින් ජියැංලොන් අධිරාජයා වෙත පිරිනමන ලද මීටර 18ක් උසැති හා මීටර 8ක් පුළුල් සුදු හඳුන් දැවයෙන් නිමකරන ලද බුදු පිළිමය තැන්පත් කර ඇති යෝං-හ ලාමා පන්සල සුවිශේෂ ස්ථානයකි. අතීතයේ රජ වාසල පණ්ඩිතයන්ගේ නිල නිවාස ලෙසත් පසුව යොං ෂෙං රජතුමාරයාගේ මාලිගා සංකීර්ණය ලෙසත් අනතුරුව බෞද්ධ භික්ෂූන්ගේ ආරාම පරිශ්‍රයක් ලෙසත් මෙම විහාරය උපයෝගී කරගෙන ඇත. මෙහි එකිනෙකට සමීපව එකක් පිටුපසින් එකක් වන ආකාරයට ක්‍රමයෙන් කුඩා වපසරියක් තුළ අනුක්රමයෙන් විශාල විහාර මන්දිර පහක් මනරම් ලෙසට ඉදිකර ඇති ආකාරය එකල චීන ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ කුසලතාව විදහාපාන කැඩපතකි.
බෙයිජින් නගර මධ්‍යයෙහි වූ තහනම් නගරය Forbidden City ලෙසින් විරුදාවලිය ලත් අතීතයේ රාජකීය මාලිගය පිහිටි ප්‍රදේශයට නාගරික උමං දුම්රියෙන් හෝ බස් රථයකින් හෝ ටැක්සි කාරයකින් ළඟාවිය හැක. එහි වූ මාලිගා සංකීර්ණයේ පියසි සියල්ලම කහ පැහැ පදම් කළ උළුකැට මඟින් සෙවිලි කර ඇත. 1912 දක්වා විසූ රාජකීයයන්ගේ සුරැකුණු ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනයට තබා ඇත. ටංග්සි දින ඇලකින් වටවූ විශාල පෙදෙස තුළ සම්පූර්ණ නිරීක්ෂණයට දවසක කාලයක් ගතවන අතර ඉරිදා දිනයන්හි අතිවිශාල තරුණ ජනකායක් එය නැරඹීමට පැමිණෙන ආකාරය දැකිය හැකිය. මෙයට ඉදිරිපසින් දර්ශනය වන්නේ සුප්‍රසිද්ධ ටියෑංන්මෙන් Tian'anmen චතුරශ්‍රයයි. ලෝකයේ විශාලතම මහජන උද්‍යාන වලින් එකකි. එයට බටහිරෙන් චීනයේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටා ඇත. එහි මුරකාවල්හි යෙදෙන ආරක්ෂක භටයින් හා සිවිල් නිලධාරීන් වෙතින් පිළිබිඹු වන්නේ සිනහවයි. යම්කිසිවක් විමසුවහොත් ඒ පිළිබඳව නොසලකා හැරීමක් හෝ රැවුම් ගෙරවුම් හෝ මගහැරයාම් දැකිය නොහැක. නැඟෙනහිර දෙසින් වූ ජාතික කෞතුකාගාරයට ඇතුළු වන්නේ නම් යුවාන් 05ක් ගෙවා ටිකට්පතක් ලබාගත යුතු වේ. මා ඕ සේතුංග් සොහොන්ගැඹ හෙවත් සමාධිය ස්ථාපිත කර ඇත්තේ චතුරශ්‍රය මධ්‍යයෙහිය. එය ඉදිරිපස දර්ශනීය දියමල් රැසකින්ද පුෂ්ප උද්‍යානයකින්ද අලංකාර වේ. නැරඹීම සඳහා ගාස්තු අයකිරීමක් සිදු නොකෙරේ. අලුයම හා සැන්ඳෑ කාලයේදී ධජ නැංඟවීමක් සිදුවේ. බෙයිජින් නගරයෙන් බැහැරව සංචාරය කිරීමේදී අප සිත් ගත් චීන ප්‍රෞඪත්වය විදහාපාන ස්ථාන කිහිපයක් දැක ගැනීමට හැකිවිය. සුවිසල් ආපන ශාලා හා වෙළෙඳ සංකීර්ණවලින් හෙබි තදාසන්න පෙදෙස්වලින් බැහැරව වූ පුළුල් ප්‍රදේශයක පැතුරුණු දිව්‍ය රාජ්‍යයේ පන්සල Temple of Heaven මීටර කිහිපයක් ඈතින් දැකගත හැක.
වර්ෂ 2003දී ආරම්භ කර වසර 2008දී විවෘත කරන ලද බෙයිජින් ඔලිම්පික් ගම්මානය හා ඒ ආශ්රිත ක්‍රීඩා සංකීර්ණ මෙන්ම ඔලිම්පික් ගිණිසිළුව, සුප්‍රසිද්ධ කුරුළු කූඩු ක්‍රීඩා සංකීර්ණය BirdNest Sport Complex සබන් බුබුළු මෙන් ඉදිකළ පිහිනුම් තටාක සහිත ජල ඝනකය හා ආශ්රිත උද්‍යාන පරිසරය එක් දිනක් තුළ පාගමනින් සංචාරය කර නැරඹීමට හැකියාව ඇත. හුදෙක්ම ඒවා ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඉදිකරන ලද නිර්මාණ පමණක් නොවන බව දැකගත හැක. දේශපාලන ප්‍රයෝගයකින් ජාත්‍යන්තරය රැවටීමකින් තොරව සැබැවින්ම චීන ජනතාවගේ පරිපූර්ණ ප්‍රයෝජනයට ඒවා දැන් නතුකර ඇත.
හෙනාන් ප්‍රාන්තයේ Henan Province ලෝයෑන්ග් Luoyang හි පිහිටි ෂෝගොන් Zhougong විහාරය යුආන් ශෙන්ග් විහාරය නමින්ද හඳුන්වයි. පැරණි ලෝයෑන්ග් නගරය හා කොන්ෆියුසිස් දහමේ ප්රාරම්භකයා වන බටහිර ෂෝවූ රාජවංශය Zhou Dynasty කාලයේ විසූ ජී ඩෑන් අනුස්මරණය කිරීම උදෙසා ගොඩනඟන ලද විහාරයකි.
චීනයේ බෞද්ධ නටඹුන් හා සංස්කෘතිය විදහාපාන අධ්‍යාපනික නිකේතනයක් බඳු ලොන්මෙන් ලෙන් Longmen Grottoes සංකීර්ණය යෙහී Yihe ගංගාවට මුහුණලා විශාල ප්‍රදේශයක් තුළ පැතිරී ඇත. හෙනාන් පළාතේ ලෝයෑන් සිට කිලෝමීටර 06ක් දකුණු දෙසින් පිහිටා ඇති මෙම රමණීය ලෙන් පරිශ්‍රය තුළ දහසක් පමණ බුදුපිළිම නෙලා ඇති අතර එපමණ ප්‍රමාණයක් ගල්කුළු පාමුල සිට මධ්‍ය තෙක් විවිධ ප්‍රමාණයට ඒ දෙසා ලෙන් තනා ඇත. ක්‍රිස්තුවර්ෂ 493 තරම් අතීතයේදී මෙම සංකීර්ණය අරඹා ඇත. බටහිර වෙයි රාජවංශයේ ව්‍යාප්තියත් සමඟ මෙම ලෙන් ආරාම ප්‍රතිසංස්කරණය කර ඇත. අනතුරුව නැඟෙනහිර වෙයි රාජවංශය, උතුරු ක්යුයි රාජවංශය, සුයි රාජවංශය, ටෑංග් රාජවංශය හා පංච රාජවංශය විසින් මෙම ප්‍රදේශයේ ලෙන් 2300ක් ද විවිධ ප්‍රමාණයේ බුදුපිළිම 100000 සහ 2800 ක් පමණ වූ පුවරු ශිලාලේඛන තවමත් දක්නට ඇත. ඒ අනුව මෙම ශෛලමය ආරාම පෙදෙස චීනයේ විශාලතම හා ප්‍රමුඛතම ඉපැරණි සිද්ධස්ථානයක් ලෙස දෙස් විදෙස් සංචාරකයිනට විවෘතව පවතී. උතුරු ක්යුයි රාජවංශය කාලයේ විවිධ හැඩතල උපයෝගී කරගෙන තැනූ පුවරු ශිලා ලේඛන 20ක් පමණ තවමත් පැහැදිලිව දක්නට ඇත. යැයික්යු ලෙනෙහි වූ අභිලේඛනය ටෑංග් රාජවංශය කාලයේ සිටි සුප්‍රසිද්ධ පුවරු අභිලේඛන ලියන්නෙකු වූ චූ සූයිලියෑංග් විසින් නිර්මාණය කර ඇත. සම්ප්‍රදායික චීන හැඩතල උපයෝගී කරගෙන තැනූ මෙම පුවරු ශීලා ලේඛන එරට ඉතිහාසය විදහා පෙන්වන කැඩපත් බඳුයැයි පැවසිය හැක. එහෙයින්ම එය යුනෙස්කෝ ලෝක උරුමයකට හිමිකම් පායි. මෙම ලේඛන පූර්ණ රාජ්‍ය ආරක්ෂාව හා සංරක්ෂණයට යටත්ව පවතී. පෙරවරු 7.30 සිට පස්වරු 6.30 දක්වා මහජනයා හට මෙම ස්ථානය විවෘතව පවතී. පැරණි ලෝයෑන්ග් නගරයට කිලෝමීටර 12ක් නැඟෙනහිර දෙසින් පිහිටි බයිමා Baima විහාරය චීනයේ පළමු බෞද්ධ විහාරය ලෙස සැලකේ. ක්‍රි.ව. 68දී පමණ හන් රාජවංශය Han Dynasty කාලයේදී මෙය ඉදිකර ඇති අතර චීන බෞද්ධ සංස්කෘතියේ තොටිල්ල ලෙසින්ද හැඳින්වේ. විහාරය තුළ සිතුවම්කර ඇති බුදුරුව තුනකි. එමඟින් මෛත්‍රී, ප්රබුද්ධරත්න හා ශාක්‍යමුනී යන බුදුවරු සංකේතවත් කෙරේ. එසේම බුදුදහමේ ආරක්ෂකයින් දෙදෙනෙකු හා අරහත් හිමිවරු 18 නමක් පිළිබඳවද සිතුවම් කර ඇත. තම මාලිගයට උඩින් රන්වන් පැහැති මිනිසෙකු ගමන්කරමින් රටේ බටහිර දෙසින් බෞද්ධ දර්ශනය දැනගන්නා ලෙටස හන් රාජ වංශයේ මින්ග් අධිරාජයා Emperor Ming විසින් දුටු සිහිනයකදී අණකර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ රජු ඔහුගේ දූතයින් ටියැන්සු (ඉන්දියාව) හා යුයිශි (ඇෆ්ගනිස්ථානය) වෙත යවන ලදුව එම දෙරටෙහිදී හමුවූ භික්ෂූන් දෙනමකගෙන් ඒ පිළිබඳව කරුණු සොයා බලා ඇත. අනතුරුව බෞද්ධ ධර්ම කරුණු සහිත ලියකියවිලි හා ග්රන්ථ සහ පිළිම ද රැගෙන සුදු අශ්වයෙකුගේ පිටමතින් ඉන්දියානු භික්ෂුවක් ද සමඟින් ක්‍රි.ව. 67දී පමණ නැවත ඔවුහු පැමිණ අධිරාජයා බැහැදැක ඇත. ඒ අනුව ඉදිකරන ලද මෙම විහාර බයිමා නම් විය. එහි අන්වර්ථනාමය සුදු අශ්වයා White Horse යන්නයි. පසුකාලීනව යුආන්, මින්ග් හා ක්යුයින් රාජ වකවානුවල මෙය නැවත නැවත පිළිසකර කර ඇත. වර්ගමීටර 40000ක භූමි ප්‍රදේශයක පැතිරුණු මෙම විහාර සංකීර්ණය දිව්‍ය රජ හල, මහා බුද්ධ ශාලාව, වෛරෝකන ශාලාව, ජෛයින් ශාලාව, ප්‍රධාන ශාලාව සමඟින් චීනයේ පිහිටි විශාලතම ශාක්‍යමුණි ස්ථූපයෙන්ද සමන්විත වේ. වර්ෂ 1961 දී චීනයේ ප්‍රධානතම සංස්කෘතික කලාපයක් බවට පත්වූ මෙම ස්ථානය හන් වංශයේ ප්‍රමුඛතම සිද්ධස්ථානයක් බවට 1983 සිට නම් කර ඇත.
ලෝහේ ශිෂ්ටාචාරය චීනයේ ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පීන්ගේ සොයාගැනීම් ලොවට දායාද කිරීමට සමත්ව ඇත. කයිලුන් Cai Lun විසින් කඩදාසි සොයාගැනීම, ෂාන් හෙන්ග් Zhang Heng විසින් මුල්ම භූකම්පා රේඛන උපකරණය, සීමා ක්යුයින් Sima Qian ඉතිහාසය සටහන් තැබීම, සීමා ගුඈන්ග් විසින් සිෂී ටොන්ජිඈන් හෙවත් විස්තරාත්මක රාජතාන්ත්‍රික ක්‍රමවේදයේ කැඩපත රචනා කිරීම, සූ ෂෙන් විසින් ශෝවෙන් ජෛයිසී හෙවත් ප්‍රථම චීන ශබ්ද්ධ කෝෂය රචනා කිරීම පෙන්වා දිය හැකි අතර රමණීය අරුත් ඇති කාව්‍ය රචකයෝ වූ ලී බායි, ඩු - ෆූ, බයි ජුයි, කාඕ ශි, ඔයුැන්ග් සියූ හා ෂෝ සි ස්වකීය නිර්මාණ චීන ජනතාවට දායාද කර ඇත. මින් Ming හා ක්යුයින් Qing රජවංශ කාලයේදී පැවති නේවාසික ප්‍රදේශය වර්තමානයේදී ලෝපූ උද්‍යානය Luopu Park ලෙසින් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි වෙළඳ ව්‍යාපාරික පහසුකම් සහිත ආර්ථික කලාපයක් බවට නැවත සංරක්ෂණ කරමින් සංවර්ධනය කර ගොඩනඟා තිබීම දැකගත හැකිය.
චීන වංශකතාවේ තවත් පැතිකඩක් විදහා පාන්නකි සුයි රාජවංශය Sui Dynasty කාලයේදී ඉදිකරන ලද ලීජින් වාහල්කඩ Lijing Gate. මෙමඟින් වර්ගමීටර 18000ක් ආවරණය කෙරේ. සිව් මහලින් සැදි මෙහි කුළුණක්, පුළුල් මෙන්ම උස් වූ ප්රාකාරයක්, හී කුළුණක්, සංඟිලි පාලමක් හා දිය අඟලක් සහිත ආරක්ෂාකාරී වූ නගර සංකීර්ණයකි. හෙනාන් පළාතේ වූ ඉපැරණිම ගොඩනැඟිලි නිර්මාණ අතුරින් පළමු තැන ගන්නා මෙය ලෝයෑන්ග් හි ඉතිහාසය හා සංස්කෘතිය විදහාපාන ශ්‍රේෂ්ඨ ඉදිකිරීමක් වන අතර අපට සීගිරි බලකොටුව සිහිපත් කරවයි. එමෙන්ම ලෝයෑන්ග් හි සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන අටෙන් එකක් බවට මෙය හඳුන්වාදිය හැක.
පැරණි නගර පරිශ්‍රයේ වූ ෂීසීජි Shizijie මාර්ගයේ ඊසාන කෙළවරට වන්නට පිහිටි බායිජියෝ Bajio ගොඩනැඟිල්ල තවත් සිත්ගන්නා සුළු නිර්මාණයකි. මීටර 20ක් උසැතිව සිව් මහලකින් සැදි මෙම ගොඩනැඟිල්ල මඟින් වර්ග මීටර 1600ක් ආවරණය කෙරේ. පැරණි ශ්‍රී විභූතිය ආරක්ෂාවන පරිදි වර්ෂ 2007දී මෙය නැවත ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම ප්‍රදේශය අවට වර්තමානයේදී වෙළෙඳ ව්‍යාපාරික මංමාවත් ඉදිකර ඇති අතර නැඟෙනහිර ලෝයෑන්ග් දෙසට වන්නට සුවිශාල වෙළෙඳ සංකීර්ණ, ගෘහ භාණ්ඩ වෙළෙඳ සැල් හා බොජුන් හල් පැරණි නිර්මාණාත්මක ලක්ෂණ අනුකරණය කරමින් ඉදිකර ඇත. අත්‍යලංකාර පරිසරයක් මවාපාමින් දෙස් විදෙස් සංචාරකයින් හට චීනයේ අතීත සංස්කෘතිකාංග හා ජන ජීවිතය මැනවින් පිළිබිඹු කරන තවත් ප්රදේශයකි.
ක්වාලොවු Qiaolou ලෙසින් අතීතයේ හැඳින්වූ හේරි කුළුණ Drum Tower එකල උදෑසන හා සවස නිවැරදි වේලාව ජනතාවට දැනුම්දීමට යොදාගත්තකි. වර්ගමීටර 288 ආවරණය වන පරිදි යපස්ගල් හා දැව ඇසුරෙන් නිර්මාණය වූවකි. ආරුක්කුවේ දෙපස දැව පුවරුවල චීන අක්ෂර දෙකි. ආරුක්කුවලට ඉහළින් මහල් දෙකකි. විශාල බෙරය පළමු මහලේ මැද රඳවා ඇත. දෙවන මහලේ යකඩ සීනුවකි. එහි සාමය හා සෞභාග්‍ය දනවන මකරා පීනික්ස් පක්ෂියා මිදි මල කපුරු මල ඇතුළුව සංකේත අටක් පිළිබිඹු කෙරේ.
චීනයේ ජියංෂි පළාතේ ඊසාන දිග පෙදෙසට සංචාරයක නිරත වුවහොත් ඔබට නිල් හා සුදු පිඟන් භාණ්ඩ කර්මාන්තය දැකබලාගත හැකි අතර චීන අනන්‍යතාව හා කලාත්මක බව රැඳී එකී නිෂ්පාදන හෝ සමරු භාණ්ඩ මිලදීගත හැකිය. චීනයේ නැඟෙනහිර පෙදෙසට සංචාරය කළහොත් නැත්නම් අන්හුයි හා ජච්යන් පළාත් බදව ගලා බසින 'ෂින් අන් ච්‍යන්' ගංගා පරිශ්‍රය ආශ්‍රිතව ගොඩනඟා ඇති කෘෂිකාර්මික ගොවිපලවල් හා සංචාරක පරිශ්‍ර මෙන්ම පරිසර සුරක්ෂිතතාව සමඟින් ප්‍රතිසංස්කරණය කරන ලද සාම්ප්‍රදායික නිවාස සහ පරිසර පද්ධති කළමනාකරණය මෙරට දේශපාලනඥයිනට කියාදෙන්නේ කදිම පාඩමකි.
බටහිර චීනයේ චියිං හැයි පළාතේ යැන්සි ගංගාව කහ ගංගාව සහ ලැන් සචන් ගංගා ත්‍රිත්වය ඇරඹෙන පප්රදේශයේ සැන් චිය්යාං යුආන් ජෛ විවිධත්ව පරිසර කලාපය නැරඹීමට හැකිවේ. වසර 10ක් තුළ එම පෙදෙසේ පරිසර පද්ධතිය ගොඩනැඟීම අරඹයා චීන ජාතිකයින් කර ඇති නිර්මාණශීලී දායකත්ව මෙන්ම එහි ජීවත්වූ සාම්ප්‍රදායික ටිබෙට් වැසියන්ගේ ජනජීවිතය වඩාත් යහපත් ආකාරයකට පරිවර්තනය කළ අයුරු නිරීක්ෂණය කළ හැක. මෙයින් ශ්‍රී ලාංකිකයිනට උගත හැකි පාඩම් අපමණය.
ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන තොටමුණ වෙළෙඳ නගරය Port City ෂැංහයි බව ඔබ අසා ඇතැයි සිතමි. බෙයිජින් සිට අධිවේගී දුම්රියෙන් පැයට කිලෝමීටර 360 පමණ වේගයෙන් ගමන් කර පැය 05කින් ෂැංහයි වෙත ළඟාවිය හැක. ගමන් මාර්ගයේ එය ළඟාවන සෑම නැවතුමකටම අදාළ නගරයේ කාලගුණික තොරතුරු මෙන්ම දුම්රිය තුළ උෂ්ණත්වය ද මැදිරියේ ඉහළ දර්ශන තිරයක ප්‍රදර්ශනය කෙරේ. ඔබ පසුකර යන ප්‍රදේශ දෙස විමසිලිමත් වුවහොත් සුවිශාල කුඹුරු යායවල් බඩඉරිඟු යායවල් සූර්ය බල ශඹක්තිය පරිහරණය කරන විශාල නිවාස සංකීර්ණ හා කාර්මික ජනපද සහ නවීන බත්තල් ඇසුරෙන් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආකාරය මෙන්ම නව්‍ය තාක්ෂණය පදනම් කරගෙන එම ගංගාවල් මතින් ඉදිකර ඇති දැවැන්ත පාලම් දැකගත හැකිය.
ෂැංහයි නාගරික පෙදෙසට ඇතුළුවීමට පෙරම දැකගත හැක්කේ අහස්කුස සිඹින ගුවන් විදුලි හා රූපවාහිනී සන්නිවේදන කුළුණයි. සන්නිවේදන උසුලන මීටර 410ක් උසින් යුතු Oriental Pearl Tower නම් වූ සුවිශේෂී මෙම ගොඩනැඟිල්ල පිළිබඳ සුළු අදහසක් හෝ ඔබට ලබාගත හැකි වන්නේ චීන රජය විසින් කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සම්පූර්ණ කළහොත් පමණි. ලොව උසින් 5 වැනි තැන ගන්නා පර්ල් කුළුණේ බිම් මහලේ විශාල පිරිසකට ගැවසිය හැකි විවෘත පෙදෙසට අමතරව වෙළෙඳ ව්‍යාපාරික ආයතන රැසකි. කුළුණේ විශාලත්වය අනුව උස මීටර 78 සිට 98 දක්වාද මීටර 259 සිට 267 දක්වාද මීටර 345 සිට 351 දක්වා පරිමාණ තුනකින් යුතු ගෝලාකාර පරිශ්‍ර තුනකි. මහල් 15ක නිරීක්ෂණාගාර පහසුකම් සලසා ඇත. පළමු ගෝලාකාර පරිශ්‍රයේ විනෝදාස්වාදජනක ගමනකට රෝලර් කොස්ටරයක්, 5D සිනමා පහසුකම් හා විවිධ තරඟකාරී ක්‍රීඩා පහසුකම් ද සලසා තිබේ. දෙවන ගෝල පරිශ්‍රයේ අඟල් 1.5ක ඝනකමැති නිරාපද විනිවිද පෙනෙන වීදුරු භාවිතාකර ලොව එකම හා ප්‍රථමවරට තැනූ අංශක 360 හෙවත් වෘත්තාකාර ලෙසින් තැනූ නිරීක්ෂණාගාරයකි. එසේම මීටර 263 සිට 267 දක්වා ගුවනේ සිට අසිරිමත් අත්දැකීමක් ලබාගත හැකි සුවිශේෂී සිවිල් ඉංජිනේරු නිර්මාණය වන Revolving Restuarent කරකැවෙන භෝජනාගාරයකි. බහුතරයක් ඉහළ නඟිනුයේ මෙම ස්ථානය තෙක් පමණි. Space Capsule ලෙසින් හඳුන්වන ඉහළම ගෝලය තුළ සිට මුළු මහත් ෂැංහයි පුරවරයම නැරඹිය හැක. උස මීටර 351 සිට 410 දක්වා ගුවනට යොමුව ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී සන්නිවේදන කුළුණයි. පළමු ගෝලයේ සිට දෙවැනි ගෝලය දක්වාත් දෙවැනි ගෝලයේ සිට තෙවැනි ගෝලය දක්වාත් ගමන් කිරීමට අධිවේග කැප්සියුල් සෝපාන පහසුකම් සපයා තිබේ. මෙහි බිම් මහලට මෙන්ම එතැන් සිට අනෙකුත් මහල් දක්වා ගමන් කිරීමට ප්‍රවේශපත් මිලදීගත යුතුවේ. ඇතුළත පහසුකම් භුක්ති විඳීමට වෙන වෙනම මුදල් ගෙවිය යුතු වේ. කුළුණු පරිශ්‍රයට ඇතුළුවීමේදී සෑම කෙනෙකුම නිරෝධායනය කරනු ලැබේ.
ෂැංහයිවලින් බටහිර දිශාවේ හෙවත් චීනයේ මධ්‍යයට වන්නට වූ සීචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නගරයට කිලෝමීටර 130ක් නුදුරෙන් එරට ජාතික සම්පතක් වශයෙන් සලකන පැන්ඩාවන් සුරකින සත්වෝද්‍යානය හා සංරක්ෂණ කලාපය පිහිටා ඇත. අධිවේගී බෙයිජින් සිට චෙන්ඩු නගරය වෙත යාමට දුම්රියෙන් ගමන් කරන්නේ නම් පැය 14කුත් විනාඩි 05ක් ගත වේ. ලෝක වන ජිවීභාරයේ සංකේතය බවට පත්වීමට තරම් පැන්ඩා සත්ත්ව විශේෂය වාසනාවන්ත වී ඇත. කළු හා සුදු පැහැ යෝධ පැන්ඩාවන් මෙන්ම කුඩා රතු පැන්ඩාවන්ද නිදහසේ සැරිසරන වනෝද්යානයද සංචාරක ආකර්ෂනය දිනා ඇති පෙදෙසකි. ඒ ආශ්‍රිතව පිහිටි කලාත්මක පදම් කළ උණ ලී භාණ්ඩ නිෂ්පාදන ඉතා මනරම්ය.
එමෙන්ම සීචුවාන්හි බහුතරයක් වූ ජාත්‍යන්තර ව්‍යාපාරික ආයතනයන්හි කොන්සල් කාර්යාල පිහිටා ඇති බහුවිධ වෙළෙඳ පුරවරයක්ද වේ. ජීව වායුව හා ඒ ආශ්‍රිතව විවිධ නිෂ්පාදන ක්‍රියාකාරකම් හා උපයෝගීතාවය ලොවට හඳුන්වාදෙන ආසියා පැසිෆික් ජාත්‍යන්තර ජීවවායු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයද පිහිටා ඇත්තේ ද මෙම නගරයේය. චීනය පුරාම හා එහි පාලනය යටතේ වූ හොංකොන් හා මැකාවෝ දූපත් ආශ්‍රිතව රූපවාහිනී ගුවන්විදුලි හා සිනමා සේවා සියල්ලම එරට රජය යටතේ දැඩි ස්වාරක්ෂක නීති රීති අනුව විසුරුවා හැරේ. එහෙයින්ම එරට ජනතාව මනා හික්මීමකින් යුතුව සන්නිවේදන පහසුකම් භුක්ති විඳීම යහපත් ප්රවණතාවයකි. රටතුළ පිහිටි සෑම නගරයකම දැකිය හැක්කේ දෛනිකව රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය කෙරෙන ආකාරයයි. එසේ වුවද එකී රථවාහන වෙතින් නැඟෙන දුමක් නම් නොමැත. මාර්ගස්ථ තදබදයක් ඇතිවුවද නලා ශබ්ද නොමැත. රියදුරන් තුළ ඇති ස්වයං හික්මීම එවන් බාධක අවමකර ගැනීමට හේතු වී ඇත. බොහොමයක් නගරබදව ස්ථාපිත කර ඇති වර්ණ සංඥා කෙරෙහි දක්වන අවධානය මෙන්ම ආරක්ෂිත කැමරා පද්ධති තුළින් විසිහතර පැය පුරා ක්‍රියාත්මකවන මාර්ග පරීක්ෂාවද එයට අතිරේක හේතු සාධකයකි. සාමාන්‍ය මහජනතාව හට මගී බස් රථ පහසුකම් මෙන්ම සැප පහසු කුලී කාර් සේවාවන්ද සුලබව ක්‍රියාත්මක වේ. සෑම මහල් නිවාස යෝජනා ක්‍රමයක් ආශ්‍රිතව ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍ර මෙන්ම පෙර පාසල් දැකිය හැක. දෛනිකව පස්වරු 5.30න් පසුව වැඩිහිටි පුරවැසියන් මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී තරුණ පිරිස්ද සංගීත රිද්මයානුකූල ව්‍යායාම්හි නිරතවීම් සෞඛ්‍යසම්පන්න බව රැකගැනීම කෙරෙහි චීන වැසියන් දක්වන උනන්දුව විදහාපායි. මෙනයින් සලකාබැලීමේදී බටහිර ලෝකය පුරා ඇති පහසුකම් දේශීයත්වයට ගලපාගෙන කටයුතු කරන චීනය ඉදිරි දසවසර තුළ අති මහත් දියුණුවක් ලබාගනු ඇතැයි සිතිය හැකිය.
එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ
0 Comments