Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩකයකුගේ වසරේ හොඳම කාලය අනුරසිරිගෙන්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

මේ වසරේ ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම කාලය සටහන් කරමින් චීනයේ ඩොන්ගුවාන් හී පැවැති ආසියානු මැරතන් ශූරතාවලියේදී ප්‍රදීප් අනුරසිරි පැය 2: 20. 58කින් 10වැනි ස්ථානයට පත් විය. පෙරේදා පැවැති මෙම ශූරතාවලියේ කාන්තා අංශය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලූකා ගීතානී රාජසේකර පැය 2: 47. 43කින් 11වැනි ස්ථානයට පත් වූවාය.

මෙවර ආසියානු මැරතන් ශූරතාවලියේ පිරිමි අංශයේ රන් පදක්කම ඉන්දියාවේ ගෝපී තොනකාල් දිනාගත් අතර ගතකළ කාලය පැය 2: 15. 48කි. රිදී පදක්කම උස්බෙකිස්තානයේ ඇන්ඩ්‍රි පෙට්රෝව් පැය 2: 15. 5කින් හා ලෝකඩ පදක්කම මොන්ගෝලියාවේ බයම්බ්ලේව් ටස්වේන්ඩ්‍රම් පැය 2: 16. 14කින් දිනා ගත්හ. කාන්තා අංශයේ රන් පදක්කම කොරියාවේ කිම් හේයි පැය 2: 28. 52කින්, රිදී පදක්කම ජපානයේ කෙයිකෝ නගෝමී හා කොරියාවේ ජෝ උන් ඕක් දිනා ගත්හ. අනුරසිරි සහභාගි වූ පළමු අන්තර්ජාතික මැරතන් තරගය මෙය වූ අතර වාර්තා කළ කාලය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වේ. නිලූකා මෙයට පෙර 2015 ආසියානු මැරතන් ශූරතාවලියේදී විනාඩි 2: 40. 07කින් 5වැනි ස්ථානයට පත්වී සිටියද මෙවර පසු බැසීමකට ලක් වූවාය.

එම කාලය අනුව රියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ නිලූකා ගීතානී එවිට මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල් මහතාගේ පුහුණුව යටතේ තරග බිමට පිවිසියාය. එහෙත් පසුව ඇය ඔලිම්පික් උළෙල වෙද්දී සජිත් ජයලාල් මහතාගේ පුහුණුවෙන් ඈත්වී තරග කළ අතර එන්න එන්නම පසු බැසීමට ලක්වූවාය.

නාවික හමුදාවේ ප්‍රදීප් අනුරසිරි දැනට සජිත් ජයලාල් මහතාගේ පුහුණුව යටතේ තරග කරමින් සිටී. ඔහු මීළඟ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට නම් තවත් විනාඩි 2ක කාලයක් අඩුවෙන් මැරතන් තරගයක් නිමා කළ යුතුව ඇත. මේ පිලිබඳ පුහුණුකරු සජිත් ජයලාල් මහතාගෙන් කළ විමසුමකදී පැවැසූවේ මැරතන් ක්‍රීඩක ප්‍රදීප් අනුරසිරිට පුහුණුවීම් සදහා නාවික හමුදාපතිවරයා ලබාදෙන සහයෝගය අගය කළ යුතු බවය.

‘ඉතිහාසයේ දක්ෂ මැරතන් ක්‍රීඩකයන් අතුරින් අට වැනි, 9 වැනි ස්ථානවල ඔහු සිටිනවා. මේ ක්‍රීඩකයා හොදින් බලාගතහොත් ඔලිම්පික් සුදුසුකම් ලැබීමට හැකියාව තිබෙනවා. ඔහු දැනට මලල ක්‍රීඩා සංචිතයේ සිටින ක්‍රීඩකයෙක්. මලල ක්‍රීඩා සංගමය ඔහු වෙනුවෙන් පහසුකම් දෙන්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දැනටමත් ඉල්ලීම් කොට තිබෙනවා.‘ ජයලාල් මහතා පැවැසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();