ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 405ක ඉලක්කයක් හඹා යාමට සිදුවූ ශ්‍රී ලංකා පිලට ඊයේ නාග්පූර් නුවරදි අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව හමුවේ ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය. මේ පරාජයත් සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් පෙරමුණ ගැනීමට ඉන්දීය පිල සමත්විය. තරගය නිමාවට පත්වූයේ තවත් දිනයක්ම ඉතිරිව තිබියදීය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 205ට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 610ක් රැස් කරමින් ඉනිම අත්හිටුවූ ඉන්දීය පිල ලබාදුන් ඉනිමක පරාජයෙන් බේරීමේ ඉලක්කය හඹා යාමට ඊයේ තරගයේ සිවුවැනි දිනයේ දී කඩුලු 9ක් ඇතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල දිවා ආහාරයෙන් මොහොතකට පසුව ලකුණු 166කට දැවී ගියේය. ඉන්දීය පිලේ සුපිරි දඟ පන්දු යවන්නා රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දු හමුවේ අසරණ වෙමිනි.
ඉතාමත් දුර්වල හා අපරික්ෂාකාරී ලෙස පිත්ත හැසිරවූ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සිය දඟපන්දුවෙන් මෙල්ල කළ අශ්වින් ඊයේ සිය ටෙස්ට් දිවියේ කඩුලු 300 සම්පූර්ණ කිරීමට සමත්වූයේ වාර්තාවක් ද පිහිටුවමිනි. සිය 54 වැනි තරගයට ක්‍රීඩා කළ අශ්වින් අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 300ක් දවාලූ පන්දු යවන්නා බවට පත්විය. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී ඔස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී කඩුලු 300 සම්පූර්ණ කළේ ඔහුගේ 56 වැනි ටෙස්ට් තරගයේදීය. මීට පෙර දෙවැනි තැන පසුවූ මුත්තයියා මුරලිදරන් එම සීමාවට අවතීර්ණ වූයේ තරග 58කට ක්‍රීඩා කරමිනි. ශ්‍රී ලංකා පළමු ඉනිමේදි ලකුණු 67කට කඩුලු 4ක් දවාලූ අශ්වින් ඊයේ ලකුණු 63කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත්විය.
ශ්‍රී ලංකා පිල ලැබූ මේ පරාජය වසර 35ක ටෙස්ට් ඉතිහාසයේ වඩාත් දරුණුතම පරාජය විය. ඊට පෙර 2001දී කේප්ටවුන් නුවරදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා පිල ඉනිමකින් සහ ලකුණු 229කින් පරාජයට පත්වී තිබිණි.
ශ්‍රී ලංකා පිල දරුණු පරාජයකට ලක් කරමින් ඉන්දීය පිල ඔවුන්ගේ ටෙස්ට් තරග ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය සම කිරීමට සමත්විය. ඊට පෙර 2007දී ඩකා නුවර පැවැති ටෙස්ට් තරගය ද ඉනිමකින් සහ ලකුණු 239කින් ජයගැනීමට ඉන්දීය පිල සමත්වී තිබිණි.
එක් කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටිමින් ඊයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ කඩුලු 7ක්ම දිවා ආහාරයට පෙර බිඳ වැටුණු අතර දිවා ආහාරයෙන් පසුව ඉතිරි කඩුලු දෙක දවාලීමට ඉන්දිය පිලට වැය වූයේ ඕවර 8 කුත් පන්දු 3ක් පමණි.
ඉන්දීය ජයග්‍රහණය පමා කළ ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් රැස් කිරීමට සමත්වූ අතර අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසි සුරංග ලක්මාල් සමග එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 58ක සම්බන්ධතාවක් ද ගොඩනැගුවේය. දෙපිල අතර තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන මස 2 වැනිදා නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිතය.

0 Comments