ඇමැති තිලක් මාරපන
ලෝකයේ සෑම රටක් සමඟම මිත්‍ර සබඳතා පවත්වාගෙන යමින් රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දැක්මක් වත්මන් රජයට තිබෙන බව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (25) ප්‍රකාශ කළේය.
යුද ගැටුම් හේතුවෙන් විදේශ රටවලට පලාගිය ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල තුන්වැනි පරම්පරාව අද වන විට ඒ ඒ රටවල ජීවත්වන බව පෙන්වාදුන් ඇමැතිවරයා කිසිදාක ශ්‍රී ලංකාවට පැමිණ නැති ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් පියවර ගන්නා බව ද මෙරටට පැමිණි පසුව සිංහල ජාතිකයන් මෘගයන් නොවන බවට ඔවුනට මනාව තේරුම් යනු ඇති බව ද විශ්වාසය පළ කළේය.
වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (25) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.
වාර්තා හා ලිපිලේඛන පිළිගැන්වීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නවලට අදාළ විෂයබාර ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ. අය-වැය කාරක සභා විවාදයේ අටවැනි දිනයේ විවාදය ආරම්භ විය. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා, විදේශ කටයුතු සහ සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ විවාදයට ගැණිනි.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා (ජ.වි.පෙ)-
ආර්ථිකයට සෘජුවම දායකවන සහ මෙහෙයවන අමාත්‍යාංශවලට වඩා විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතාම වැදගත්. යම්කිසි රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් සඳහා ප
පළාත් පාලන ඇමැතිවරයා විදේශ ගතවී තිබෙනවා නම් විදේශ අමාත්‍යාංශය දැනගත යුතු වෙනවා. දින 7කට ආසන්න කාලයක් රටේ මෙතරම් ප්‍රශ්නයක් තිබිය දී රටින් පිටව තිබෙනවා නම් විදේශ අමාත්‍යාංශය විසින් මේ පාර්ලිමේන්තුවට දැන්විය යුතු වෙනවා. ලෝකයෙන් අපිට එල්ලවන බලපෑම්වලට සෘජුවම මුහුණ දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. යුද අධිකරණය, විදුලි පුටුව සහ ජිනීවා සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපි කතා කළා. ඇතැම් අවස්ථාවල මැතිවරණ ව්‍යාපාරය කරන්න මෙවැනි දෑ සම්බන්ධ කරගනිමින් විවිධ ක්‍රියාකාරකම් කළා.
මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා-
අපේ හමුදාවන්ට එල්ල වී තිබූ යුද අපරාධ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ලොව බලවත් රටවල් ආකර්ෂණය කරගන්නට මේ රජයට හැකිව තිබෙනවා. ඒක මේ රජය විසින් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් වෙනවා. මේ ප්‍රවාහන ප්‍රශ්නය ද ඉතාම වැදගත්. අද රටේ ආර්ථිකයේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක්. වාහන ලක්ෂ 60ට වඩා මේ රටේ තිබෙනවා. අපි නිදහස ලබන විට වාහන තිබුණේ 5000යි. අද තිබෙන වාහනවලින් ලක්ෂ 40ක් පමණ මාර්ගයේ ධාවනය වෙනවා. එයිනුත් සියයට 40ක් පමණ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වෙනවා.
මේ ප්‍රවාහන ක්ෂේත්‍රය ආර්ථිකයට දක්වන දායකත්වය කුමක් ද. ඉන්ධනවලට විශාල වියදමක් අපි දරනවා. රුපියල් බිලියන ගණනින් මුදල් වැය කරනවා. දිනපතා සිදුවන මාර්ග තදබදය හේතුවෙන් දිනකට රුපියල් බිලියනයක් පමණ හානියට පත්වෙනවා. මේ ක්ෂේත්‍රයේ වියදම රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි වෙනවා. වහාම ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් මුල්තැන ලෙස සලකා කටයුතු නොකරන්නේ නම් 2020 පමණ වනවිට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙනවා. පාරිසරික බලපෑම් ද නිසි ආර්ථික ඇගයීමකට ලක්කර නැහැ. අද අපේ රටේ ඉඩම්වලින් සියයට 10ක් මහාමාර්ග වෙනුවෙන් වැයවී තිබෙනවා. ආර්ථික වර්ධනයට වඩා වැඩි වේගයකින් මහාමාර්ග ඉදිවීගෙන යනවා. ඒ අනුව රටේ ඉඩම්වලින් සියයට 20ක් මහාමාර්ගවලට යටවන තත්ත්වයක් තිබෙනවා.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා (දෙ.ජා.ස)-
රටක ප්‍රවාහන පද්ධතිය හොඳින් සිදුවන්නේ නම් ආර්ථික දියුණුවට විශාල ශක්තියක් වෙනවා. රටේ එක් පැත්තක් මහාමාර්ග, දුම්රිය තුළින් පෝෂිත වුණත් අනෙක් පැතිවල එම පහසුකම ප්‍රමාණවත් නැහැ. කිලිනොච්චි ඩිපෝව තවමත් ප්‍රතිසංස්කරණය කිරීමකට ලක්ව නැහැ. ඒ ඩිපෝවේ බස්රථ 14ක් පමණයි ධාවනය කිරීමට හැකි තත්ත්වයේ තිබෙන්නේ. ගම්මාන 300ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ප්‍රධාන සිංහල දේශපාලන පක්ෂ දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැහැ. මෙවැනි පසුබිමක තමන්ගේ අයිතීන් දිනාගන්නට අවස්ථාවක් නැහැ. ලේ හැලීමකින් තොරව තම අයිතීන් දිනාගත් රටක් නැහැ. අපේ අයිතීන් වෙනුවෙන් කතාකරන විට ජාතිවාදීන් කියනවා.
කතානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනය මත පාර්ලිමේන්තුවට පැමිණි පළාත් මහ ඇමැතිවරුන් සියලු දෙනාම නියෝජ්‍ය කතානායකවරයා විසින් පිළිගත්තේය.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස)-
හම්බන්තොට වරාය මේ රටේ ස්වර්ණමය නිර්මාණයක් වෙනවා. මෙහි සේවය කරන 450 දෙනකු පමණ ඉන්නවා. ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ අය නොයෙක් බලාපොරොත්තු ඇතිව මේ ආයතනයට බැඳුණා. මේ රජය මොවුන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරනවා. රටක ජීවනාලිය ආනයන සහ අපනයන වෙනවා. ඒ වෙනුවෙන් නාවික සහ ගුවන් ක්ෂේත්‍රය ඉතාම වැදගත් වෙනවා. වරායට නැව් එන්නේ නැහැ. ගුවන් තොටුපළට ගුවන් යානා එන්නේ නැහැ කියනවා. ණය ගෙවන්න විදියක් නැහැ කියනවා. සද්භාවයෙන් මේ දෙස බලන්න ඕන. එදා සැලසුමකට අනුව අපි සංවර්ධන කටයුතු සිදුකළා.
තිරසාර සංවර්ධන, වනජීවී හා බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකකට පෙර ජනාධිපතිවරණයකට ගියා. ඒ අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයා කීවේ ද මැතිවරණයකට නොයන ලෙසයි. නමුත් යම් යම් හේතූන් මත මැතිවරණයට ගියා. අපි එක්තරා අවස්ථාවක අඳුරු වළාවන්ගෙන් වැසී ගියා. විශාල වශයෙන් තහංචි පැනවෙන අවස්ථාවක අපි සිටියා. අපි එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදෙමින් එක පවුලක් ලෙස කටයුතු කරන්න පියවර ගත්තා. ලෝකයේ තිරසාර සමාජයක් බිහි කරන්න අපේ ජනාධිපතිවරයා අත්සන් කර තිබෙනවා. වෙනත් අවස්ථාවල ශ්‍රී ලංකා නායකයන් වෙනත් රටවල නායකයන් පස්සේ යනවා. නමුත් අද වෙනත් රටවල නායකයන් අපේ නායකයා පසුපස එන තත්ත්වයට පත්ව තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (එ.ජ.නි.ස)-
වත්මන් ආණ්ඩුව නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්තිය අනුගමනය නොකරන බවට හිටපු විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළා. රටේ මිනිසුන්ගේ මානව හිමිකම් සුරකින්න කටයුතු කර තිබෙන බවට ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවර දී ප්‍රකාශයක් කර තිබෙනවා. මේ ආණ්ඩුව එදා සුළුතරයක් සමඟ දිවුරුම් දුන්නා. එයින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරුකමින් ඉවත් කළා. දෙවැනි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ආවා නම් මෙතරම් කොමිසමක් අවශ්‍ය වන්නේ නැහැ. අපිට මන්ත්‍රීවරු 54 දෙනෙක් ඉන්නවා. නමුත් අපිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හඳුනාගැනීමක් ලැබෙන්නේ නැහැ.
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා (එ.ජා.ප)-
පසුගිය කාලයේ අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ මානව හිමිකම් කොමිසමට විවිධ යෝජනා පැමිණියා. හැම අංශයකින්ම අපි අසරණ තත්ත්වයට පත්ව සිටියා. අපිට ජී. එස්. පී බදු සහනය නවත්වා තිබුණා. යම් යම් ක්ෂේත්‍රවල රැකියා අහිමිවන තැනට පැමිණ තිබුණා. නමුත් අද වනවිට අපේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ලෝකයේ සියලු රටවල් සමඟ සුහඳව කටයුතු කරන්නයි. පසුගිය රජය සමයේ අපේ රටට විශාල වශයෙන් බලපෑම් පැමිණියා. ජනතාවගේ එදිනෙදා ජීවන තත්ත්වයට ද විශාල බලපෑම් පැමිණියා. වැරැදි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවැනි තැනකට අපේ රට තල්ලුවුණා. අපේ රජයේ ප්‍රතිපත්තිය ලෙස මේ කටයුතු ඉදිරියට ගෙන යන්නට දායක වූ සැමට අපේ ස්තුතිය පිරිනමනවා.
දිවා විවේකයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව යළි රැස්විය.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී)-
විවිධ රජයන් වරින් වර පත්වෙනවා. නමුත් අපගේ පවතින ප්‍රශ්න වෙනුවෙන් ස්ථිරසාර විසඳුම් සොයා ගැනීමට එකම රජයකටවත් නොහැකිවී තිබෙනවා. ඔලුවේ කැක්කුමට කොට්ටය මාරු කරනවා වගේ තමයි අපි හැමදාම වැඩකර තිබෙන්නේ. යුද්ධය නිසා විපතට පත් වූ, පීඩාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කළ යුතුයි. යුද්ධයෙන් මියගිය අපගේ ජනතාවගේ ඥාතීන් සැමරීම සඳහා අපගේ ජනතාවට අවස්ථාව තිබිය යුතුයි. ඒවාට බාධා කිරීම් සිදුනොවිය යුතුයි. එවැනි ආකාරයට බාදා කිරීම් ඇති වුණොත් ජාත්‍යන්තර වශයෙන් පවා අප රට ගැන නරක ප්‍රතිරූපයක් ගොඩනැඟේවි. ඒ වගේම යුද්ධයෙන් මියගිය අපගේ ජනතාව සිහි කිරීම සඳහා වෙනම ස්ථානයක් ඉදිකර වෙන් කිරීම වෙනුවෙන් මම යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා අනුමැතිය ලැබුණා. නමුත් එය තවමත් ක්‍රියාත්මක කර නැහැ.
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා (එ.ජා.ප)-
පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම, දුම්රිය මාර්ග දියුණු කිරීම, විදුලි දුම්රිය ආනයනය කිරීම, නව බස්රථ ආනයනය ආදිය කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා. ජනතාවට, කාර්ය මණ්ඩලයට අපහසුවක් නොවන පරිදි පොදු ප්‍රවහන ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. සිසු සැරිය වෙනුවෙන් යොදවන බස්රථ ප්‍රමාණය මදියි. අපේ පළාත්වල ජනතාව මෙන්ම පාසල් දරු දැරියන් වැඩි පිරිස පරිහරණය කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. පාසල් දරුවන් නිසි වෙලාවට පාසලට යායුතුයි. නමුත් මේ දරුවන්ට වෙලාවට පාසලට එන්නට තරම් ප්‍රමාණවත් තරම් බස්රථ නැහැ. මමත් දුම්රියෙන් ගමන් කරපු කෙනෙක්. දුම්රියේ තිබෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දුම්රිය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වැඩි කරන්න.
මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා-
අද වන විට අපට ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් අපේ රටේ සමහර තානාපති කාර්යාල තිබෙනවා අපේ රටේ පුරවැසියන්ට ආත්ම ගෞරවය රැකෙන පරිදි තමන්ට අවශ්‍ය සේවාව ඉටුකර ගැනීමේ නොහැකියාවක් තිබෙනවා. සමහර තානාපති කාර්යාලවලට ගිහින් තම අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් යන්න සිද්ධ වෙන්නේ පාන්දර තුනට විතර. නමුත් වෙලාව තිබෙන්නේ පෙරවරු 11 .00 ට විතර. මේ රස්තියාදුව නවතා දැමිය යුතුයි. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කළ යුතුයි. පොදු ප්‍රවාහනය ශක්තිමත් නොවීම නිසා පෞද්ගලික වාහන සංඛ්‍යාත්මකව වැඩිවී තිබෙනවා. අපිට බොහෝ වෙලාවක් මාර්ගයේ රස්තියාදු වීමට සිදුවෙනවා. ඒ අනුව අපි සියලු දෙනාගෙම මේ ප්‍රශ්නය විසඳීම. ලංගමය අයිති අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මමත් කටයුතු කළා. නමුත් එදා තත්ත්වයට වඩා අද ලංගමය වෙනස්. අද පහසුකම්, බස්රථ තිබෙනවා. ලංගමය පාඩුයි කියා බොහෝ දෙනා කියනවා. ලංගමය පාඩු ලබන්නේ බස්රථ අඩු නිසා නෙවෙයි.
අපගේ ජනගහනයෙන් වැඩි පිරිසකට පෞද්ගලික වාහන තිබෙනවා. නමුත් රජයක් ලෙස අපි සිදුකළ යුත්තේ පෞද්ගලික වාහන තිබුණත් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමයි. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් නොකළොත් අපි මොන සැලසුම් හැදුවත් වැඩක් වන්නේ නැහැ.
පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ)-
අපගේ විදේශ ප්‍රතිපත්තිය ගැන කෙතරම් කතා කළත් සමහර රටවල අපගේ තානාපති කාර්යාල නැහැ. ඒ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් තමයි අනෙක් ශ්‍රී ලාංකිකයන්ට උදවු කරන්නේ. ඒ වගේම බැංකොක්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැහැ. ඒ නිසා මේවා කෙරෙහි අවධානය යොමුකරමින් කටයුතු කරන්න.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දූෂිත ආයතනයක් බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වුණා. ඒ ආයතනයේ සිදුව ඇති දූෂණ හා වංචා අති විශාලයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සිදුව ඇති දූෂණ හා වංචා සම්බන්ධයෙන් එෆ්.සී.අයි.ඩී එකෙනුත් පරීක්ෂණ සිදු කෙරෙනවා. දුම්රිය මාර්ග සාදා අවසන් වනවිට සංඥා පද්ධතිය අවසන් කළ යුතු වෙනවා. දැනට තිබෙන සංඥා පද්ධතිය ඉතාම අබලන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ලිපියකින් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. මේ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 40ක් ඇමැති මණ්ඩලය විසින් වෙන්කර තිබෙනවා. පසු කලෙක මෙය ඩොලර් මිලියන 18 දක්වා පහත වැටී තිබෙනවා. මේ දුම්රිය මාර්ග වැඩ අවසන් වනවිට සංඥා ඉදිකිරීම ද අවසන් කළයුතු වෙනවා.
පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ)-
පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතු වෙනවා. ලංගම හෝ දුම්රිය පමණක් නොවේ. පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කරගත යුතු වෙනවා.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එ.ජා.ප)-
මගී ජනතාවගේ ඇඟට දැනෙන වෙනසක් ඇති කරන්න වත්මන් ආණ්ඩුව පියවර ගනිමින් සිටිනවා. වසරට 650, 000ක් පමණ රියැදුරු බලපත්‍ර නිකුත් කරනවා. විශාල ලෙස වාහන සංඛ්‍යාවක් වසරකට මාර්ගයට එකතු වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලියාපදිංචි කටයුතු වෙනුවෙන් කොළඹටම පැමිණිය යුතු වෙනවා. නමුත් එය විධිමත් ලෙස ක්‍රියාත්මක කරන්න දිස්ත්‍රික් මට්ටමින් හෝ ව්‍යාප්ත කිරීම වැදගත්. රියැදුරු බලපත්‍ර ගැනීම සඳහා මුදල් ගෙවීමට පැමිණි පසුව විශාල පෝලිම් දකිනවා. මෙය ක්‍රෙඩිට් කාඩ් මඟින් හෝ ගෙවන්නට හැකිනම් වටිනවා. අද වනවිට රිය අනතුරුවලින් මිය යන ප්‍රමාණය පාලනය කර ගැනීමට නොහැකිවී තිබෙනවා. රටේ ශ්‍රම බළකාය මේ අනතුරු හේතුවෙන් මිය යනවා.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා (එ.ජ.නි.ස)-
අපේ රටේ ආර්ථිකයට ප්‍රවාහන පද්ධතිය විශාල ශක්තියක් වෙනවා. පසුගිය ආණ්ඩුවලට හා ඇමැතිවරයාට චෝදනා කරනවා වගේම මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ගන්නා තීන්දු තීරණ හේතුවෙන් ඉදිරියට යන්නේ නැහැ. ප්‍රවාහන ජාතික ප්‍රතිපත්තියක් සාදන ලෙස අපි යෝජනා කළා. ආණ්ඩුව හෝ ඇමැතිවරයා වෙනස් වුවත් මේ රටේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් තුළින් අනාගතයට ඒ ක්‍රියාදාමයන් ගෙනයන්න හැකිවෙයි. බස්රථ මෙන්ම දුම්රිය සේවාව පුළුල් කිරීමට හැකිනම් එයත් වැදගත් වෙනවා. පරිසර හිතකාමී ලෙස අඩු වියදමකින් මේ කාර්යය කරන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම දේශපාලන කුහකකමක් ලෙස අපි දකිනවා.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා මුලසුනට පැමිණියේය.
මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීනේෂන් මහතා (දෙ.ජා.ස)-
අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය තවදුරටත් සංවර්ධනය කළයුතු වෙනවා. ඇතැම් ඩිපෝවල කාර්යක්ෂමතාව ඉතාම පහළ මට්ටමක තිබෙනවා. මේ දක්වා ලබා තිබූ ලාභ තත්ත්වයන් අද වන විට අවම වෙමින් තිබෙනවා. අපේ රටේ ආයෝජනය කරන්න විදේශ රටවල ආයෝජකයන් කැමැත්තෙන් ඉන්නවා. 3000ක් පමණ සේවය කළ මඩකළපුව කඩදාසි කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා තිබෙනවා. කොරියාවේ ආයෝජකයෙක් මෙහි ආයෝජනය සඳහා කැමැත්තෙන් පසුවෙනවා.
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා-
අද වන විට විවිධ කාරණා මත ඇතැමුන් පටු ජාතිවාදය පාවිච්චි කොට ඉදිරියට යනවා. තවදුරටත් වීරයන් වීමේ සංකල්ප දකිනවා. පාර්ලිමේන්තුවේ එකමුතු බව කතා කරනවිට එහි කෙලවරකින් අල්ලාගෙන උතුරේ දේශපාලනඥයන් ජාතික කොඩිය මේකට අල්ලා ගන්නවා. අපි අන්තවාදය පරාජය කළ යුතු වෙනවා. ජාතික කොඩිය ඔසවන්න බැහැයි කීම ඉතාම නින්දිත ක්‍රියාදාමයක් වෙනවා. ජාතික කොඩිය ගැන හොඳ ඉතිහාසයක් තිබෙනවා. මේ ගැන උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයාට කියා දිය යුතු වෙනවා. යටත්විජිතවාදයෙන් මිදෙන විට බ්‍රිතාන්‍ය කොඩිය බිම දමා අපේ කොඩිය එසෙවුවා. ඇතැමුන් අපේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ පසු ප්‍රභාකරන් වැනි වීරයෙක් වෙන්න හදනවා.
අපි එදා ජාතික කොඩිය හදන්න වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. 1948 වසරේ දී ඩී. එස්. සේනානායක මහතා විසින් මේ කමිටුව පත්කර තිබෙනවා. මේ සියලු දෙනා එක්ව ජාතික කොඩිය හදා තිබෙනවා. විවිධ අය විරුද්ධ වුණා. විවිධ පින්තූර දාන්න දී තිබෙනවා. විවිධ කුලවලටත් එදා කොඩි තිබුණා. නමුත් මේ කමිටුව නිවැරැදිව තමන්ගේ ක්‍රියාව ඉටුකර තිබෙනවා. ඒ නිසා එදා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව නියෝජනය වන පරිදි වර්ණ යොදමින් මේ කොඩිය නිර්මාණය කර තිබෙනවා. සිංහයාගේ අතේ ඇති කඩුවෙන් කියන්නේ ශ්‍රී ලාංකීය ජාතියේ අභිමානයයි. නමුත් මෙය ඇතැමුන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට වෙනත් විදියට පාවිච්චි කරනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එ.ජා.ප)-
අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. එදා සියලු ජාතීන්ගේ එකඟත්වය මත ජාතික කොඩිය නිර්මාණය කර තිබෙනවා. උතුරේ අන්තවාදීන් වගේම දකුණේ අන්තවාදීන් ද මේ ජාතික කොඩියට විරුද්ධව වැඩ කරනවාද කියලා අපිට හිතෙනවා. මොකද අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ගේනකොට පිරිසක් කොඩියක් ගෙනාවා තවම ඒ නඩුව විභාග වෙනවා. බාල මානසිකත්වයේ ඉදලා ලෝකය දකින්න බෑ.
මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස)-
ජාත්‍යන්තරව බරපතළ තර්ජනයක් ශ්‍රී ලංකාවට එල්ලවී තිබෙනවා. ඒක එහෙම නෑ කියන්න කාටවත් බෑ. කල්ගත්තා කියන්න පුළුවන්. නමුත් කනගාටුයි මේ සභාව ඒ ගැන කතා කරන්න වෙන් කරන කාලය ගැන සිතුවම. අපි ත්‍රස්තවාදය හෙළා දැකිය යුතුයි. නෙස්බි සාමිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වන්න මම කැමතියි. ඔහු පැවැසුවා ශ්‍රී ලංකා රජය කළ යුද්ධය ත්‍රස්තවාදයට එරෙහිව කළ එකක් කියලා. පසුගිය දා ජිනීවා සමුළුව තිබුණා නමුත් ශ්‍රී ලංකා රජය නෙස්බි සාමිවරයාගේ ප්‍රකාශය ගැන පැවැසුවේ නෑ. අපේ විදේශ අමාත්‍යාංශ නිහඬයි.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා (එ.ජා.ප)-
ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩුව අවම කරන්න වත්මන් රජය කටයුතු කරලා තියෙනවා. නමුත් පසුගිය කාලේ මේ ආයතනය දේශපාලනීකරණය වී තිබුණා. අද අපේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කිසිදු දේශපාලන පක්ෂයකට ලංගමයේ බස් රථ අයථා ලෙස භාවිත කරන්න ඉඩදීලා නෑ.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (එ.ජ.නි.ස)-
අද විවිධ තැන්වල වැඩියෙන් වැඩ කරන්නේ කාන්තාවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ 18, 000ක් ඉන්නවා. එයින් 450ක් කාන්තාවන් හිටියා කියලා විශාල ප්‍රශ්නයක් නෙවෙයි. කාන්තාවන් ඕනම තැනෙක වැඩ කරනවා. හෑල්ලුවට ලක් කරන්න එපා. මේ රටේ ජනගහනයෙන් වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. ප්‍රාදේශීය සභාවල තරග කරන්න සියයට 30ක් දානවා නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට ගැටලුවක් නැහැ. අද වන විට උතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු නවතා තිබෙනවා. ඩොලර් මිලියන 400ක මුදලක් මේ වෙනුවෙන් වෙන්කර තිබෙනවා. මහව සිට වවුනියාව දුම්රිය මාර්ගය හදන්නේ නැත්තේ ඇයි. මහව සිට වවුනියාවට වේගසීමා 101ක් තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා-
වත්මන් රජය ශ්‍රී ලංකාව හුදෙකලා වූ අවස්ථාවේ එය බේරා ගැනීම වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා. සාම්ප්‍රදායික මිතුරන් සමඟ මිතුදම වර්ධනය කර ගන්නට කටයුතු කළා. අපේ රට සහ ඉන්දියාව අතර සබඳතාව විවිධාකාරයෙන් වැදගත් වෙනවා. ඉතිහාසයේ සිට එම සබඳතා පැවතුණා. නමුත් යම් යම් හැලහැප්පිලි තිබුණා. ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වෙනුවෙන් ඉන්දීය අගමැති නිරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒවැනි ක්‍රියාවන් හරහා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සබඳතා ඉහළ මට්ටමේ තිබෙනවා. මේ සබඳතාවන් ඉදිරියට කරගෙන යන්නේ දෙරට අතර තිබෙන විශ්වාසය නිසයි. ඉන්දියාවේ විවිධ පළාත්වලින් පැමිණ ශ්‍රී ලංකාවේ ජීවත්වන පිරිස් ඉන්නවා.
මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එ.ජ.නි.ස)-
අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය සම්බන්ධයෙන් සෑහීමට පත්වෙන්න බැහැ. ඒ සහ බී ශ්‍රේණියේ මාර්ග මෙන්ම ග්‍රාමීය මාර්ග විශාල වශයෙන් සංවර්ධනයවී තිබෙනවා. ඒ වගේම අධිවේගී මාර්ග ඉදිකර තිබෙනවා. ඒ වුණත් ප්‍රවාහන පද්ධතිය මීට වඩා දියුණු මට්ටමට පැමිණිය යුතු වෙනවා. කොළඹ නගරයට දිනපතා විශාල පිරිසක් මෙන්ම විශාල වාහන ප්‍රමාණයක් පැමිණෙනවා. මෙය රටේ ආර්ථිකයට, පරිසරයට, වැඩකරන ශ්‍රමයට බලපානවා. ඒ හේතුවෙන් මේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කර ගන්නට හැකිනම් ආර්ථික අතින් තවත් ඉදිරියට යන්න පුළුවන්.
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා (එ.ජ.නි.ස)-
ඉතිහාසයේ පළමු වරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ලොතරැයිය සම්බන්ධ කළා. වත්මන් විදේශ ඇමැතිවරයා කෙරෙහි ලොකු විශ්වාසයක් තිබෙනවා. අපේ රට ලෝකය ඉදිරියේ ගෞරවනීය තැනකට ගෙනඑයි කියා විශ්වාස කරනවා. කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් තිබෙනවා නම් මාර්ග තදබලය අඩු වෙනවා. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය අඩාල වනවිට ජනතාව තම පෞද්ගලික වාහන යොදා ගන්නවා. මේ තුළින් මාර්ගයේ වැඩි වේලාවක් ගත කරන්න සිදුවෙනවා. එය ආර්ථික වශයෙන් විශාල පිරිවැයක් දරන්න වෙනවා. නීල හරිත අයවැයක් සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා කතා කළා. ඒ තුළ පරිසර දූෂණය අවම කිරීමට මූලිකත්වය දී තිබෙනවා. 2017 දී රුපියල් මිලියන 57, 000ක් පමණ වෙන් කළත් මෙවර රුපියල් මිලියන 42, 000යි ප්‍රවාහන අමාත්‍යාංශයට වෙන්කර තිබෙන්නේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-
ඉදිරියේ දී ප්‍රවාහන සේවය වඩාත් ජනතාවට සමීප කරන්න කටයුතු කරනවා. අපේ රටේ ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් කතා කරන විට අපේ රටේ මගී ප්‍රවාහනයෙන් සියයට 80ක් බස් රථවලින් කෙරෙනවා. දුම්රියෙන් සියයට 5යි. තමාගේම වාහනයකින් යන්න උත්සාහ කරනවා. ඒ නිසා පොදු ප්‍රවාහන සේවය සඳහා මගී ජනතාව ආකර්ෂණය කර ගැනීම විශාල අභියෝගයක්. මේ වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකර තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන ගාස්තු ද ඉහළ යනවා. අපි මේ වසරේ දී කැලණිවැලි දුම්රිය මාර්ගය සමීක්ෂණය කොට අනවසර පදිංචිකරුවන් ඉවත්කර ද්විත්ව මාර්ගයක් බවට පත්කරනවා. ඒ වගේම මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව දැන් ඉදිකරගෙන යනවා. නව දුම්රිය පාලම් 4ක් ඉදිකරගෙන යනවා.
අනාරක්ෂිත දුම්රිය හරස් ගේට්ටු වෙනුවෙන් 200ක් සවි කරන්න පියවර ගෙන තිබෙනවා. ඉන්දියානු ණය යේජනා ක්‍රමය යටතේ දුම්රිය එන්ජින් 10ක්, තෙල්ටැංකි 30ක් ගන්න ඇණවුම් බාර දී තිබෙනවා. තව ටික කලක දී මේ සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවට හිමිවෙනවා. අපි දුම්රිය මැදිරි 160ක් ගන්න වැඩ කරගෙන යනවා. උඩරට දුම්රිය මාර්ගය සඳහා එන්ජින් 9ක් ගන්නට ද පියවර ගෙන තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගය ද ශක්තිමත් කරන්නට ඒ තුළ හැකි වෙනවා. කුරුණෑගල- පොල්ගහවෙල ද්විත්ව මාර්ගයක් කරන්න කටයුතු යොදා තිබෙනවා. අපිට වඩාත් හොඳ දුම්රිය සේවාවක් ලබාදීම වෙනුවෙන් පියවර ගන්නවා. කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මේ වන විට ශක්‍යතා අධ්‍යයනය අවසන්කර තිබෙනවා. ව්‍යාපෘතිය 2020 දී ක්‍රියාත්මක වෙනවා.
විදුලි දුම්රිය, නව සංඥා පද්ධතියක් ඇති කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම දුම්රිය ස්ථානයකටම ඉලෙක්ට්‍රොනික් ටිකට් පත් ගන්නා යන්ත්‍ර සවි කරන්න අපේක්ෂා කරනවා. මාර්ගයේ අවශ්‍යතාව අනුව අපි ව්‍යාපෘති සිදුකරනවා. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දැන් ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. බිලියන 12ට වැඩි මුදල් ප්‍රමාණයක් ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් අර්ථසාධක අරමුදල්, ණය ආදිය ගෙවීමට ලබාදුන්නා. තවත් විශාල මුදලක් පසුගිය වසරේ දී ලබා දී තිබෙනවා. ඒවායින් බස්රථ අලුත්වැඩියා කර තිබෙනවා. ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහන සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 8, 000ට වැඩි මුදලක් ලබා දී තිබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලය ආදර්ශවත් ආයතනයක් බවට පත්ව තිබෙනවා. ලංකා ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ කිසිඳු අක්‍රමිකතාවක් සිදු වූ බවට පැමිණිලි ලැබී නැහැ.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණියේය.
පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එ.ජා.ප)-
අපේ විදේශ සේවය පර්යේෂණ දැනුමක් අලුතින් සිතිය යුතු වෙනවා. ෆොරින්ල් අෆයාර්ස් ජර්නල් කියවනවා නම් අපේ විදේශ සේවයේ නිලධාරීන්ගේ දැනුම තවත් ඉහළ යයි. මේ ජර්නල් එකේ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි 167ක් තිබුණා. ඒ තුළ අපේ කිසිවකු ලියූ ලිපි නැහැ. සිංහලෙන් කතා කරන විට අපේ විදේශ සේවයේ ඇතැමුන් කතා කරන්නට කැමැතිත් නැහැ. විදේශ සේවයට ගිය පසු රට වෙනුවෙන් සේවය කරන්න ඕන කියන එක අමතක වෙනවා. ඒ අය ඇතැම් විට මිනිසුන් සමඟ කතා කරන්නට හෝ කැමැත්තක් දක්වන්නේ නැහැ.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය (එ.ජ.නි.ස)-
අපේ අලුත් විදෙස් ඇමැතිවරයා බොහොම බුද්ධිමත් මෝරපු පුද්ගලයෙක්. අපි එතුමට සුබ පතනවා. අපේ රටට නිදහස ලැබුණට පසුව විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. බටහිරවාදී ප්‍රතිපත්තියක් තබුණා. බණ්ඩාරනායක කාලේ නොබැදි ප්‍රතිපත්තියක් තිබුණා. අද වනවිට අධිරාජ්‍යවාදයක් තිබෙනවා. ඒ නිසා ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියත් සමඟ සමගාමීව යා යුතුයි කියලා මම හිතනවා.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා-
ප්‍රවාහනයට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 48ක් වෙන්කරලා තියෙනවා. අපි රජය බාරගන්න විට ලංකා ගමනා ගමන මණ්ඩලය පාඩු ලබන තත්ත්වයේ තිබුණේ. නමුත් අද වනවිට ලාභ ලබන තත්ත්වයට පත්වෙලා තියෙනවා පසුගිය කාලේ රුපියල් කෝටි 500ක පමණ වු පාඩුව අද වනවිට රුපියල් කෝටි 200ක ලාභ ලබන තත්ත්වයට පත්වෙලා තියෙනවා. සේවක අර්ථ සාධක අරමුදල් භාරකාර අරමුදල් ඇතුළු පාරිතෝෂිත සියයට 90ක්, 80ක් ගෙවා අවසන් කරලා තියෙනවා. විශේෂයෙන් කිව යුතුයි අද වනවිට ඇතැම් ඩිපෝ ස්ථිර තැන්පතු ද ආරම්භ කරලා තියෙනවා. උතුරේ කෝටි 20ක ස්ථිර තැන්පතු අරඹලා තියෙනවා. දුම්රිය මාර්ග ද 2020 වනවිට සංවර්ධනය කර අවසන් කරනවා. පසුගිය වසර වනවිට තිබූ කෝටි 700ක පාඩුව අවම කරන්න මේ වසර වනවිට හැකිව තිබෙනවා. මොටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් විශාල ලාභයක් අපි රජයට ලබා දෙනවා. උතුරු දුම්රිය මාර්ගය, සංවර්ධනය කරනවා. දකුණේ අළුත්ගම සිට ගාල්ල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය නොබෝ දිනකින් විවෘත කරනවා.
විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා-
වැදගත් යෝජනා අද ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. නපෝලි නමැති ස්ථානයේ කොන්සියුලර් කාර්යාලයක් ආරම්භ කරන්න කියා ඉල්ලීමක් කළා. අපි ඒ සම්බන්ධයෙන් සලකා බලනවා. හොංකොං හි ශ්‍රී ලාංකිකයන්ට බැංකු පහසුකම් නොමැති බවට ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ද සොයා බලනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදේශිකයන් පැමිණීම වැදගත්. විදේශ රටවල සිටින අපේ දෙමළ ජනතාව අතර දැන් ඉන්නේ තුන්වැනි පරම්පරාවයි. ඒ අය කිසිදා ශ්‍රී ලංකාවට ඇවිත් නැහැ. මේ රටේ පැවැති කෝලාහල හේතුවෙන් රටින් පිටව ගිය අයයි. ඒ අය ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න යම්කිසි වෑයමක් දරන්න ඕන. එවිට ඔවුන්ට තේරෙයි සිංහලයන් කියන්නේ මෘගයන් නොවන බව.
නෙස්බි සාමිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරනවා. ඒ කරුණුවලින් ප්‍රයෝජන ගන්න අපි දන්නවා. නිසිකලට අපි එහි වාසිය ගන්නවා. යුද අපරාධ සම්බන්ධයෙන් තිබෙන චෝදනා ගැන විපක්ෂය කතා කරනවා. අපිට විරුද්ධව ක්‍රියාකරන මානව හිමිකම් සංවිධාන තමයි මේවා ගැන කතා කරන්නේ. අපි දන්නවා කරන්නේ කුමක්ද කියලා. බොරුවට කෑ ගසන්න එපා. අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීමට අවශ්‍ය නැහැ. මේ සම්බන්ධයෙන් වැරැදි ප්‍රකාශයක් කළොත් ජාත්‍යන්තර තුළ වැරැදි චිත්‍රයක් ඇති වන්න පුළුවන්. රණවිරුවන්ට විරුද්ධව වැඩ කරන්න අපි පියවර ගන්නේ නැහැ. අපි යුක්තිය ඉෂ්ට කරන්න කටයුතු කරනවා. අපි ඒ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළ ඉදිරියේ දී සකස් කරනවා.
වැය ශීර්ෂ සම්මත විය.
පාර්ලිමේන්තුව අද (27) පෙරවරු
9.30ට යළි රැස්වේ.
ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ මහින්ද අලුත්ගෙදර

0 Comments