අධිකරණ ඇමැතිනි
අපරාධ විමර්ශනයේදී පැහැදිලි නිවැරැදි ආදර්ශමත් සාක්ෂි සැපයීමට අධිකරණ වෛද්‍යවරුන් විසින් අධිකරණයට ලබාදෙන දායකත්වය අගය කරනවා යැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ තලවතුගොඩ Grand Monarch හෝටලයේදී ආරම්භ වූ ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විද්‍යාලයේ අධිකරණ වෛද්‍යවරුන්ගේ 16 වන වාර්ෂික සැසිවාරයේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවැසුවාය.
හදිසි මරණ සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඒ සඳහා අන්තර්ගත කළ යුතු නීති පිළිබඳව සොයා බැලීම සඳහා 2014 වසරේදී කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව විසින් අධිකරණ වෝහාරික විද්‍යාලය මෙන්ම හදිසි මරණ පරීක්ෂක සංගමයෙන් විමසා තිබෙනවා. හදිසි මරණ සම්බන්ධව නෛතික විධිවිධාන අඩංගු අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 30 වන පරිච්ඡේදය නව ව්‍යවස්ථාව මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නියමිතයි. ඒ මගින් හදිසි මරණ පරීක්ෂණ සිදුකිරීමේ නව විධි විධාන සැලසීම අපේක්ෂාවයි. නව සංශෝධනය මගින් හදිසි මරණ පරීක්ෂණ, මහේස්ත්‍රාත් හදිසි මරණ පරීක්ෂණ, මහේස්ත්‍රාත් හදිසි මරණ පරීක්ෂණ විමර්ශන සහ මහාධිකරණ විනිසුරුවරුන් විසින් හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම ආවරණය කරනවා.
සමූහ ආපදා සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණ මහාධිකරණ විනිසුරුවරුන් විසින් සිදුකරනු ලබන අතර නීතිපතිවරයාගේ මතය වන්නේ හදිසි මරණ පරීක්ෂණ සඳහා කැඳවීම ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරියකු විසින් සිදුකළ යුතු බවයි.
අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ඔබ දක්වන සහයෝගය අගය කරනවා. නව තාක්ෂණයේ දියුණුවත් සමඟ අභියෝග ජයගනිමින් අධිකරණයට පැහැදිලි හා නිවැරැදි තීරණ ලබාදීම මගින් යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරින් වන ඔබ ලබා දෙන සහය වැදගත්. විශේෂයෙන් අපරාධ විමර්ශනයේදී ආදර්ශමත් සාක්ෂි ලබාදීමට අධිකරණ වෛද්‍ය විද්‍යාලය කටයුතු කරන බව සඳහන් කළ යුතුයි.
අධිකරණ වෛද්‍ය නිලධාරින් අපරාධයක් පැහැදිලිව නිවැරැදිව හඳුනා ගැනීම සඳහා කරනු ලබන සේවය අගය කරන අතර ඔවුන්ට උපරිම සහාය ලබා දෙන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විද්‍යාලයේ අධිකරණ වෛද්‍යවරුන්ගේ 16 වන වාර්ෂික සැසිවාරය අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ සහ සෞඛ්‍ය ආරක්ෂණ පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ Grand Monarch හෝටලයේදී ආරම්භ විය. මෙම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසූරිය, ලෝක බැංකුවේ සෞඛ්‍ය විශේෂඥ දීපිකා ආටිගල, ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විද්‍යාලයේ සභාපති ක්ලිෆඩ් පෙරේරා යන මහත්වරුන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින්, අධිකරණ වෛද්‍යවරුන් නිලධාරින්, පොලිස් නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපය-තිලක් පෙරේරා

0 Comments