Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැඳුම්කරය ගැන තිබූ උනන්දුවෙන් බිඳක් තිබුණා නම් රාජපක්ෂලාගේ වංචා-දූෂණ එළියට එනවා

62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු සත්‍යග්‍රහයේ දී ඇමැති මංගල සමරවීර කියයි

බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දක්වන උනන්දුවෙන් සියයට දහයක් රාජපක්ෂවරුන්ගේ දූෂණ සම්බන්ධයෙන් හොයන්න තිබුණානම් ඒ අයගේ මහාපරිමාණ හොරකම්, මිනීමැරුම් හෙළිකරගත හැකිව තිබූ බවත් තම මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ ටෙලිෆෝන් කෝල් ගැන සොයන අය, තාජුඩීන් මරා දැමූ රාත්‍රියේ ශිරන්ති රාජපක්ෂට එම ස්ථානයේ සිට කෝල් කීයක් ආවද කියන එක රටෙන් හංගන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

බැඳුම්කර කොමිසම ඉදිරියේ නීතිපතිවරයා විසින් අගමැතිවරයා ප්‍රශ්න කිරීමට ලක් කිරීම යහපාලනයේ හා යම පාලනයේ වෙනස ජනතාවට තේරුම් ගැනිමට කදිම අවස්ථාවක් බව ද ඒ මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ "හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු, හැටදෙලක්ෂය සීරුවෙන් මැයෙන්" පසුගිය 24 දින සවස මාතර ඓතිහාසික බෝධිරාජයා අබියස දී ධර්මපාල වටරවුමේදි පැවැති සත්‍යග්‍රහයෙන් අනතුරුව පැවැති ජනහමුවේ දී එක්ව සිටි පිරිස අමතමිණි. එහි දී වැඩිදුරටත් කතාකළ සමරවීර මහතා එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

එවක පැවැති පාලනය යටතේ නීතිපතිවරුන්ට අත්වූ ඉරණම කුමක්දැයි ජනතාවට මනා වැටහීමක් තිබෙනවා. පසුගිය සදුදා දින (20) මෙරට යහපාලනයේ සුවිශේෂී දිනයක්. මේ රටේ අගමැතිවරයා තමන්ගේ කැමැත්තෙන් ගිහින් බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන්නා. රටේ නීතිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කළා. මේ තමයි යහපාලනය හා පෙර පැවැති යම පාලනය අතර වෙනස.

එදා හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා මැදමුලන වලව්වේ වලං හෝදන තැන දාල තිබුනෙ. ඔහුව මැදමුලනෙ වේටර්කමට අරන් තිබුනෙ. ඒවගේම අපට මතකයි තමන්ට අවශ්‍ය පරිදි තීන්දු තීන්දු ලබාදෙන්න අකමැති වුන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියටකරපු දේ. මහ රෑ පාර්ලිමේන්තුව හොර උසාවියක් බවට පත්කරල ඇයව ගෙදර යැවුවා. ඔන්න එදා මෙදාතුර වෙනස.

දැන් ජනතාවට හෙමින් තිබෙනවා නීතියට ඉහළින් කුවුරුවත් නැති බව. නමුත් හැමදෙනාටම සැකයක් එනවා මේ තරම් හොදට ක්‍රියාතිමක වෙන නීතියක් තාමත් රාජපක්ෂවරුන්ගේ වරදිවලට ක්‍රියාත්මක නොවන්නේ ඇයි කියා.

බැදුම්කර කොමිසමේ මේ උනන්දුව වගේ එකක් රාජපක්ෂවරුන්ගේ දූෂණ ගැන නැත්තේ ඇයි කියල මටත් හිතෙනවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් ඔවුන්ට ගැටලු තිබෙනවා. සමහර දේවල් ක්‍රියාත්මක කරන්න.

සමහර පරීක්ෂණවලට විස්තර හොයන්න රටවල් දහයකට දොළහකට යන්නවෙන අවස්ථා තිබෙනවා. ලිබියාවේ ගඩාපි මියගිහින් වසර කීපයක් ගතවුනත් තාමත් ඔහුගේ දූෂණවලින් හොයාගෙන තිබෙන්නේ සියයට හතරක් පහක් පමණයි. මේ වගේ දේවල්වලට කාලයක් ගතවෙනවා.

පසුගිය දවස්වල අපි දැක්ක බැදුම්කර සිද්ධියට අදාළ දුරකථන ඇමතුම් ගැන වාර්තාවක් ගැන කතාකරනවා. මේ විදියට තාජුඩීන් මරපු වෙලාවෙ ශිරන්ති රාජපක්ෂට ආපු දුර ඇමතුම් ආවද කියලත් දැනගන්න තිබුනානම් හැම දෙනාටම ඒක දැනගන්න තිබුනා.

ආචාර්ය දඹර අමිල හිමි - මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු ඒකාබද්ද කල්ලිය දැන් සාකච්චාවන්ට එන්න කොන්දේසි දානවා. ඒ කොන්දේසි අතරෙ තියෙන්නෙ මොනවද මට අගමැතිකම දෙන්න ඕන. එක්කෝ පක්ෂෙ සභාපතිකම දෙන්න ඕන. එක්කො විපක්ෂ නායකකම දෙන්න ඕන. රටේ මහජනතාව වෙනුවෙන් කොන්දේසිද මේ ඉල්ලන්නෙ නෑ. තමන්ට බලයට එන්න කෙටි මාවත, ෂෝට්කට්එක පාදගැනීම තමයි එයාගේ මේ දාම්පෙත එලන්නෙ. තවමත් පුනරුත්ථාපනය වෙලා නෑ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි කියනවා ඔබ කිසිසේත්ම පීඩනයට ලක්විය යුතු නෑ. මහින්ද රාජපක්ෂ කොන්දේසිදානකොට ඔබ බය නැතිව අහන්න ජනාධිපතිතුමනි කැමතිද තාජුඩීන් ඝාතනය ගැන හරියට කොමිසමක් දමා පරීක්ෂාකරන්න. කැමතිද අර හෙජින් ගනු-දෙනුවෙන් වෙච්ච විනාශය පිළිබද තොරතුරු හොයන්න. කැමතිද එක්නැලිගොඩ පිළිබද තොරතුරු හොයන්න. ඒකට කැමතිනම්, පුණරුත්තාපනය වෙලානම් හරියට දණගහල ලගට වරෙන් කියල කියන්න හයිය තියෙන්න ඕන.

ගාමිණී වියන්ගොඩ මහතා - අපි ජනාධිපතිතුමාට කියන්නේ ඔවුන්ට පළවෙනි වගකීම තියෙන්නේ ඔහුව පත්කරපු මේ හැටදෙලක්ෂය අපේක්ෂාකරපු ඒ අභිලාෂයන් සාක්ෂාත් කිරීමයි. නමුත් අවාසනාවකට ජනාධිපතිතුමා බලයටපත්වෙලා දවස් දෙකක් යනකොට තමන් විසින්ම පරාජය කරන ලද අර පනස් අට ලක්ෂයේ බලවේගයේ නායකයා බවට නිළ වශයෙන් මේ ජනාධිපතිතුමා පත්වුනා. දැන් මෙතන ඉදන් යන්නේ සමුපූර්ණ එකිනෙක පැටලීගිය ගැටගැහී ගිය නූල් බෝලයක් ලෙස තමයි ඊට පස්සෙ දේශපාලනය ගමන් කරන්නේ.

අර ලබාදීපු ජනමතය එක්තරා විදියකින් පනස් අට ලක්ෂය විසින් අභිබවා යාමක් වෙනවා ඒ පනස් අට ලක්ෂයේ නායකයා බවට ජනාධිපතිතුමා පත්වීමත් සමග. අද අපිට මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් දක්නට තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා පත්වෙනකොට ඔහු භාරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන හුදු නාමය පමණක් නොවෙයි. ඒ නාමයට පුටුපස්සෙන් තිබුන මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරන ලද වැඩවසම්වාදී පසුගාමී තිරස්චීන දේශපාලන සංස්කෘතියක් තිබුණා. අද මේ ආණ්ඩුවට ඇවිල ඉන්න එදා අර තිරස්තීනත්වය නියෝජනය කරපු අය අදවන විට කිසිම විදියකින් පුණුරුත්තාපනය වෙලා නැතිබවක් අපට පේනවා.

සමන් රත්නප්‍රිය මහතා - අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක මූලිකකරගෙන තමයි අපි අද මේ සත්‍යග්‍රහ ව්‍යාපාරය සහ මේ ජන වේදිකාව නිර්මානය කළේ. ඇයි අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. අපිට සිංහල, දෙමළ. මුස්ලිම් විදියට මිනීමරාගත්ත දේශයක් වෙනුවට ශ්‍රී ලාංකික ජාතියක් විදියට හිතන රටක් ඕනවෙලා තියෙනවා. අපි 71 මිනී මරා ගත්තා. 88, 89 ඕනවාටත් වඩා මිනී මරා ගත්තා. දසක තුනක යුද්ධයකට අපි මැදිහත්වෙලා හිටියා. ලක්ෂ ගණන් මියදුණා මේ කාරණාව නිසා. තවදුරටත් අපිට එහෙම රටක් ඕනද කියන ප්‍රශ්නයක් තිබෙනවා. අපිට එහෙම රටක් ඕන නෑ. ශ්‍රී ලාංකික මහ පොළවේ තව දුරටත් ලේ හලන්න ඕන නෑ කියලයි අපි කියන්නේ.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහත්වරු ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ගන්දර සමූහ, මාතර සමූහ, වැලිගම සමූහ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();