Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධුරයට පත්වෙද්දීම සම්මුතිවාදී ආණ්ඩුවක් සෑදීමට දුන් පොරොන්දුව ඉටු කළා

ප්‍රධාන පක්ෂ දෙකම ඒ අභියෝගය බාරගත් බව ජනපති කියයි

තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු හදන ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක් බව ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් කළ බවත් අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන් එක්ව එම අභියෝගාත්මක දේශපාලන අරමුණ ඉෂ්ඨ කිරීමේ කටයුත්ත සිදුකරන බවත් අගමැතිවරයා ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙක් හමු වූ විට පවසන්නේ ද රට වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්ව ආණ්ඩුවක් කිරීම අප කළ ප්‍රධානම වගකීමක් ඉෂ්ට කිරීමක් බව යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පසුගිය දා (24) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

වයඹ ජනතාවගේ උපහාරය ජනාධිපතිවරයා වෙත පිරිනමමින් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහතා විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය.

නිකවැරටිය ප්‍රදේශයට පැමිණ අද උදේ සිට මේ ප්‍රදේශයේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතුවලට සම්බන්ධවී අවසානයේ දී පවත්වන මේ ජන හමුවට සහභාගිවීමට ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා. මේ කටයුතු සාර්ථකව ඉටු කිරීම පිළිබඳ මීට නායකත්වය දෙන ඉන්දික බණ්ඩාරනායක මහතාත් අනෙකුත් මැති ඇමැතිවරු පළාත් සභාවේ, පාර්ලිමේන්තුවේ, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු, සභාපතිවරු සුපුන් රාජපක්ෂ මහතා ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පැමිණි සියලු දෙනාටත් මගේ ස්තූතිය පිරිනමනවා.

අද තමුන්නාන්සේලා අපි එක්වී සිටින මේ ජන හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන හමුවක්. පක්ෂයේ ලේකම්වරයා විදියට අවුරුදු 13ක් වැඩ කළ මම පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීමත් සමඟ 2015 ජනවාරි 08 වැනි දා පැවැත් වූ මැතිවරණයේ දී මේ රටේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව තවත් සහෝදර පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විවිධ දේශපාලන සමාජ බලවේග රාශියක් තමයි මාව ජනාධිපතිවරයා විදියට පත්කර ගත්තේ. එසේ පත් කරගෙන සති දෙකක් යෑමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ම තමා මට ආරාධනා කළේ පක්ෂයේ සභාපති ධුරය ගන්න කියා. පක්ෂ නායකත්වය භාර ගන්න කියා. මම ඉතාම සතුටින් ඒ ආරාධනය භාර ගත්තා.

ජනාධිපති ධුරයට පත්වී සති දෙකක් විතර යන තුරු දේශපාලන පක්ෂයක් නැතුව මම හිටියා. මගේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය සහ දර්ශනයයි. පොදු අපේක්ෂකයා විදියට තෝරා ගැනීමෙන් පසු පොදු අපේක්ෂකයා විදියට රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරය වගකීම ඉෂ්ට කිරීම. ඒ මැතිවරණ ප්‍රකාශනයේ ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කිරීම. පක්ෂයේ සභාපති ධුරය මට භාරදීමෙන් පසුව මම පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසට මට එන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රාශියක් සිටින වෙලාවක මට කිවුවා, පක්ෂයේ වැඩි පිරිසක් කියනවා පක්ෂය ඔබට භාර දෙන්න කියා.

මම කැමතියි ඔබට භාර දෙන්න. ඔබ කැමති නම් පක්ෂය භාර ගන්න කියා එතුමා මට කිවුවා. මම ඉතාම සතුටින් පක්ෂය භාර ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මම භාර ගන්න වෙලාවේ මාව බලයට පත් කරන්න ජනාධිපතිවරයා විදියට ප්‍රධාන දේශපාලන පක්ෂය විදියට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය හෝ ඊට සහභාගි වූ කිසි කෙනෙක් මට විරුද්ධත්වය පළ කළේ නැහැ. එයට හේතුවක් තිබෙනවා.

ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රකාශනය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සන්ධානගත වූ සියලු දේශපාලන පක්ෂ නායකයන්, සංවිධාන ඇතුළු ඒ සියලු දෙනා එම ප්‍රකාශනයට ඇතුළත් කළා මම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මේ රටේ හදන ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එක් වූ ආණ්ඩුවක් හදන්නේ කියා මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු සියලු දෙනාම ඉතාම සතුටට පත්වුණා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගත්විට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්වීමේ ඒ අභියෝගාත්මක දේශපාලන අරමුණ ඉෂ්ට කර ගැනීමට පුළුවන්වීම පිළිබඳ. අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙක් හමු වූ විට කියන්නේ, රට වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එකතු කරලා ආණ්ඩුවක් කරන එක අපි කරපු ප්‍රධානම වගකීමක් ඉෂ්ට කිරීමක් බවයි. මම ජනාධිපති ධුරයට පත්වන විට පාර්ලිමේන්තුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයට බුලත් කොළයට ඡන්ද 142ක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 127ක් සිටියා. ඒ සියලු දෙනාගේම සහයෝගය පොදු අපේක්ෂකයා විදියට රටට දුන්න මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ඉෂ්ට කරන්න මට ලබා ගන්න හැකියාව ලැබුණා. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 47ක් තිබිය දී රනිල් වික්‍රමසිංහ මහත්මයාව මම අගමැති කෙරුවාට පස්සේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127ක් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරු 19 වැනි සංශෝධනයට ඡන්දය භාවිත කළා. ඒ තුළයි මගේ බලතල යම් ප්‍රමාණයක් අඩු කෙරුවේ. මම කිවුවේ මගේ බලතල සියල්ල පාර්ලිමේන්තුවට ගන්න කියා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කිවුවා, එහෙම ගන්න බැහැ. ගන්නවානම් ජනමත විචාරණයකට යන්න ඕන කියා. අද ලෝකය හමුවේ කතා කරන අද රට හමුවේ කතා කරන ස්වාධීන කොමිෂන් සභා, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියල්ල 19 වැනි සංශෝධනයෙන් ශක්තිමත් කරන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127ක් 19 වැනි සංශෝධනයට ඡන්දය පාවිච්චි කරපු නිසායි.

මේ රටේ අවුරුදු 65 ට වැඩි කාලයක් ගහමරා ගත් දේශපාලනය අවසන් කරලා ගම්වල තිබුණු පක්ෂ භේදය අවසන් කරලා රට වෙනුවෙන් සියලු දෙනා එකතුවෙලා රට ගොඩනඟමු කියන වැඩපිළිවෙළකට අපි එකතු වුණේ. නිකවැරටිය ආසනයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලාට හොඳ අත්දැකීමක් තිබෙනවා 1999 වයඹ පළාත් සභා මැතිවරණයේ. 1999 වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්දය දවසේ මේ වයඹ පළාතේ සිදු වූ සිදුවීම් තමුන්නාන්සේලාට මතක තිබෙනවා. ඉන්පසු 2001 එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරලා ඒ ඇති වූ සිදුවීම් තමුන්නාන්සේලාගේ මතකයේ තිබෙනවා. ජීවිත විනාශ වුණා. ස්ත්‍රී දුෂණ සිදු වුණා.

ගෙවල් ගිනි තිබ්බා. අතපය කඩා ගත්තා. රස්සාවලින් දොට්ට දැම්මා. ගේ දොර විනාශ වුණා. පවුල් පිටින් විනාශ වුණා. මේ දේශපාලන පක්ෂ දෙකේ අර්බුදය නිසා. වෛරයෙන් තොරව දේශපාලනය කිරීම සඳහාත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලනය කිරීම සඳහාත් අද අපි යම් ප්‍රමාණයකට රට ගෙනැල්ලා තිබෙනවා. ඉතා පැහැදිලිව මම කියන්නට ඕනෑ මේ පළාත් පාලන මැතිවරණ කල් දැමීමක් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කරනවා. නමුත් බොහෝම පැහැදිලිව මම කියනවා මේ රටේ ජනතාවටත්, ඒවගේම මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු සියලු දෙනාටත්, වහාම පළාත් පාලන මැතිවරණයකට යාමයි අපිට අවශ්‍ය කරලා තිබෙන්නේ. ඒ සඳහා අපි සියලු කැපකිරීම් කරලා තිබෙනවා. අද රට තුළ පවතින ආර්ථික තත්ත්වය දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේම මේ රටේ අද තුනෙන් දෙකක ප්‍රදේශයක් අවුරුදු දෙකකට ආසන්න නියඟයකට ලක් වෙලා තිබෙනවා. මේ නියඟය නිසා දැඩි ආර්ථික අමාරුකම් තිබෙනවා. අද පවුල් ලක්ෂ ගණනකට බඩගින්නේ ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. නියඟය නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂ දෙකකට වියළි ආහාර සලාක දෙනවා. මම රජයට යෝජනා කරලා අද මාසයකට රුපියල් බිලියන 6 කට වැඩිය නියඟයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට වියළි ආහාර සලාකය දෙන්න වැය කරනවා. පවුල් ලක්ෂ 08 කට නියඟය නිසා වියළි ආහාර සලාක දෙනවා. ස්වභාවධර්මයාගේ නොයෙකුත් විපර්යාසයන් අපට විතරක් නොවෙයි. ලෝකයේ අනික් රටවල්වලටත් මේ තත්ත්වය තිබෙනවා. තමුන්නාන්සේලා මාධ්‍ය තුළින් දකින්න අහන්න ඇති පසුගිය දවස්වල අමෙරිකාවේ තත්ත්වය කොහොමද කියලා.

මොනතරම් විනාශයක් වුණාද? චීනයේ මොනතරම් විනාශයක් වුණාද? මේ කලාපය තුළ ලෝකයේ රටවල්වල මොනතරම් විනාශයක් වෙනවද කාලගුණික දේශගුණික විපර්යාස නිසා. අද මුළු ලෝකයම ඒ අභියෝගයට මුහුණ දීලා තිබෙනවා. අපිට ස්වභාවධර්මයා සමඟ සටන් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. අද අපි සියලු දෙනා සටන් කළ යුත්තේ බෙදිලා කැඩිලා වෙන්වෙලා ඉන්න නෙවෙයි. මේ ස්වභාවධර්මයාගේ අභියෝගය තුළ දුප්පත්කම නැති කරන්න දුගී බවින් නිදහස් වෙන්න රට සංවර්ධනය කරන්න. එකම රටක් විදියට ඉස්සරහට අරගෙන යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය සමගිය ඉතාමත් වැදගත් වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට සංවිධානය විය යුත්තේ මැතිවරණ ජයග්‍රහණ කරන්න විතරක් නෙවෙයි. යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා. මේ රටේ සියලු අංශ පිරිහුණේ දේශපාලන සංස්කෘතිය පිරිහීම නිසා. දේශපාලනඥයන්ගේ පිරිහීම නිසා. දේශපාලනඥයන් වැරැදි කරන කොට නිලධාරීන් වැරැදි කරන්න පටන් ගත්තා. නිලධාරීන් වැරැදි කරන කොට ගමේ සමිති සමාගම්වල අය වැරැදි කරන්න පටන් ගත්තා. මගේ නිල කාලය තුළ කවුරුන් කෙසේ කොහොම කිවුවත් ප්‍රමුඛ වශයෙන් මම කැප වුණේ මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නයි. වංචාව, හොරකම, දුෂණය, නාස්තිය පිටු දැකලා හොඳ රටක් හදන්නයි. මේ රටේ දුප්පත් ජනතාවට හොඳ ජීවිතයක් ගත කරන තත්ත්වයක් ඇති කරලා දෙන්නයි. හොඳ ආර්ථිකයක් හදන්නයි. දුගී බවින් නිදහස් කරන්නයි. රට සංවර්ධනය කරන්නයි. ඒ කටයුතුවලටයි මම කැපවෙලා ඉන්නේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා විදියට මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට දේශපාලන පක්ෂවල කටයුතු කරන සියලු නායකයන්ට ඒ සියලුදෙනාට මම කියනවා දේශපාලන අර්බුදවලින් තොරව රට ගැන හිතලා රටේ දුප්පත් ජනතාව ගැන හිතලා රටේ සමගිය ගැන හිතලා උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන හිතලා උතුරු නැ‍ඟෙනහිර දේශපාලන අර්බුදය ගැන හිතලා සෑම කෙනෙක්ම රට වෙනුවෙන් එක්සත්ව සහෝදරත්වයෙන් එකතු වෙලා වැඩ කළ යුතු කාලයක් ඇති වෙලා තිබෙන්නේ කියලා. අපිට අනාගත දේශපාලන අනාවැකි කීම නෙවෙයි තිබෙන්නේ. අපට තිබෙන්නේ 2020 වෙන්නේ මොකද්ද කියන කාරණයට වැඩිය අද දවසේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රමුඛත්වයක් දෙන්න. රටේ තමුන්නාන්සේලාට අද තිබෙන අසීරුකම් අමාරුකම්වලින් ගොඩ එන්න.

ඉන්දික බණ්ඩාරනායක ඇමැතිවරයාගේ කතාවෙදී කිවුවා තමුන්නාන්සේලාගේ ආසනයේ තිබෙන ආඩුපාඩු, ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ. අපි සෑහෙන වැඩ කොටසක් කරලා තිබෙනවා. ඒ වගේම ඉතිරි වැඩ කොටස් ඉදිරියට ඉෂ්ට කරනවා. මේ වනවිටත් විශාල වශයෙන් සල්ලි වෙන් කරලා ඒ කටයුතු කරගෙන යනවා. පාරවල් හදන එක. පාලම් හදන එක. පාසල්වල අඩුපාඩු රෝහල්වල අඩුපාඩු. මම කෘෂිකර්ම ඇමැතිවරයා විදියට ඉන්න කාලේ තමුන්නාන්සේලාට මතක ඇති 2007 වප්මගුල පැවැත්වූවේ නිකවැරටිය වෙල්යායේ. සෞඛ්‍ය ඇමැති විදියට ඉන්න කාලේ නිකවැරටිය රෝහලේ සංවර්ධන කටයුතු සඳහා මම විශාල වැඩකොටසක් කෙරුවා.

මේ තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන වැඩ කිරීමේ මූලික වගකීම සියලු දෙනා ඉෂ්ට කළ යුතු වෙනවා. දේශපාලන පක්ෂ ශක්තිමත් වෙලා දේශපාලන පක්ෂ සංවිධානය වෙලා විනයක් ඇතිව සීලාචාරකමක් ඇතිව පැහැදිලි ලෙසම ජනතාවට වගකියන විදියට සියලු දේශපාලනඥයන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. රටක් සංවර්ධනය කරා යාමේ දී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්නේ දේශපාලන පක්ෂ ශක්තිමත් වූ විටයි. ඒ තුළ ඇති වන මතවාදය සැමවිටම සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් රට වෙනුවෙන් විසඳා ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය වෙනවා.

බොහෝ වෙලාවට අපිට ඇහෙනවා නොයෙකුත් චෝදනා එල්ල කරනවා. නොයෙකුත් විවේචන කරනවා. විශේෂයෙන්ම මට චෝදනා කරන, මාව විවේචනය කරන සියලු දෙනාට මම එක දෙයක් කියනවා. බොහෝම පැහැදිලිවම. කොළේ ඉරාගෙන ඇ‍ඟේ හලා ගන්න එපා. කොළේ ඉරාගෙන ඇ‍ඟේ හලා ගෙන ලොන්ඩරි හතක දැම්මත් සුද්ද කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක බොහෝම පැහැදිලිව තේරුම් ගන්න ඕනෑ. ඒ නිසා රට ගැන හිතන්න. රටේ දුප්පත් ජනතාව ගැන හිතන්න. රටේ ප්‍රශ්න ගැන හිතන්න. එහෙම නැතිව දේශපාලන බලය පිළිබඳ එක එක පුද්ගලික ඕනෑ එපාකම් එක්ක පෞද්ගලික න්‍යාය පත්‍රවලට පෙනී සිටින ආකාරයේ දේවල් නෙවෙයි අද අවශ්‍ය වෙන්නේ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන වගකීමෙන් වැඩ කරන ඔළුවක් මොළයක් ඇතිව වැඩ කරන පිරිසක් මේ රටට අවශ්‍ය වෙන්නේ.

ආවේගශීලීව තමන් කතා කරන දේ කුමක්ද කියලා දන්නේ නැතිව. තමන්ගේ වගකීම් හරිහැටි හඳුනන්නේ නැතිව මහජනතාව භාරදුන්න වගකීම නිසි ලෙස තේරුම් ගන්නේ නැතිව බොළඳ විදියට වැඩ කරන්නේ නැතිව ළාමක විදියට වැඩ කරන්නේ නැතිව දේශපාලන ළදරුවන් වෙන්න එපා කවුරුවත්. මුහුකුරා ගිය දේශපාලන බුද්ධිය සහ පරිණතභාවයක් තිබෙන දේශපාලනඥයන් පිරිසක් මේ වගකීම්වල නායකත්වය අරගෙන මේ රට ඉස්සරහට ගෙන යාම ඉතාමත් අවශ්‍යයයි. අද යුද්ධය පිළිබඳ තමුන්නාන්සේලා දන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ යුද්ධය අවසන් වුණා. රටේ සාමය ඇති වුණා. ඒ සඳහා අපි සියලුදෙනා කැප වුණා. මම එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර පහකට ලක් වුණ කෙනෙක්. ඒ සියල්ලත් එක්ක 2015 ජනවාරි මාසේ මම රට භාර ගත්තේ රට වෙනුවෙන් යුද්ධය අවසන් වුණාට පසුව රට තුළ ඇති වුණු තත්ත්වය නිවැරැදි කරන්නත්, ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන්නත් අවශ්‍ය නිසයි. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව තුළ සමඟියක් ගොඩනඟන්නේ නැතිව මේ රට ඉස්සරහට ගෙනි යන්න පුළුවන්කමක් නැහැ. අපි සැමදෙනාම ඒක පැහැදිලිව තේරුම් ගන්නට ඕනෑ. උතුරේ ප්‍රශ්නය කුමක්ද? නැ‍ඟෙනහිර ප්‍රශ්නය කුමක්ද? දකුණේ ප්‍රශ්නය කුමක්ද? වයඹ ප්‍රශ්නය කුමක්ද? ජනතාවගේ ජීවිතවල තිබෙන ප්‍රශ්න මොනවද? දුප්පත්කමින් පීඩිතව ඉන්න ජනතාවගේ ප්‍රශ්නවලට අප විසින් දිය යුතු විසඳුම් මොනවාද? මේවා පිළිබඳ අපි සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ.

සිහි කල්පනාවෙන් වැඩ කිරීමේ දී දේශපාලන, ප්‍රඥාව තියෙන්න අවශ්‍යයි. ඒ සඳහා ඥානය තියෙන්න අවශ්‍යයි. ඒ සඳහා දේශපාලන පරිණතභාවය තියෙන්න අවශ්‍යයි. ඕනෑම කෙනකුට වෙන් වෙන්න බොහොම පහසුයි. ඕනෑම කෙනකුට කැඩෙන්න වෙන්වෙන්න පහසුයි. එකතු වීම ඉතාමත් අමාරුයි. නමුත් මුළු මහත් මානව සමාජය මුළු ඉතිහාසය පුරා ලබලා තිබෙන සියලු ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සාමූහිකත්වයෙන් වැඩ කිරීමෙන්, සහෝදරත්වයෙන් වැඩ කිරීමෙන්, පොදු විදිහට වැඩ කිරීමෙන්. පෞද්ගලිකත්වයෙන් පටු චේතනා තුළ වැඩ කිරීමෙන් නොවෙයි.

ඒ නිසා මම කියනවා ආණ්ඩුව තුළ වෙන්න පුළුවන්, විපක්ෂයේ වෙන්න පුළුවන් දේශපාලන ළද බොළදභාවයෙන් කටයුතු කරන අයට මම පැහැදිලිව කියනවා ඒ සියලූ පක්ෂවල සිටින සෑම කෙනෙක්ම දේශපාලන බුද්ධියක් තියෙන, පරිනත භාවයක් තියෙන අය තමන්නේ වගකීම ඉෂ්ට කරන්න ඕනෑ රට වෙනුවෙන් අප විසින් කළ යුත්තේ කුමක්ද කියලා.

දේශපාලන අර්බුද හදා ගන්න පුළුවන්, ගැටුම් හදා ගන්න පුළුවන්, දේශපාලන ප්‍රශ්න හදා ගන්න පුළුවන් අවසානයේ කරදරයට පත් වෙන්නේ කවුද? මේ රටේ අසරණ භාවයට පත් වෙන්නේ මේ රටේ ජනතාව. පීඩාවට පත් වෙන්නේ මේ රටේ ජනතාවට. දුප්පත්කම වැඩි වෙන්නේ මේ රටේ ජනතාව. ඔය කෑගහන එක මිනිසකුටවත් එවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.

ඒ නිසා අපි හැම විටම රට ගැන හිතන්න අවශ්‍යයි. ජනතාව ගැන හිතන්න ඕනෑ. ජනතාව අපිට භාර දුන්න වගකීම් ගැන අපි හිතන්න අවශ්‍යයි.

අපි සෑමවිටම ඉන්නේ ජනතාවත් එක්ක. මම දුෂණයට, වංචාවට ඒ සියල්ලට විරුද්ධ කෙනෙක්. අක්‍රමිකතාවට විරුද්ධ කෙනෙක්. දූෂණයට, වංචාවට විරුද්ධව වැඩ කරන විට තීන්දු තීරණ ගන්න කොට ඒවාට විරුද්ධව මට කවුරු හරි ඇඟිල්ල දික් කරනවානම් මම මේ සියලු දේවල් මේ තනතුරු සියල්ල දාලා ජනතාවත් එක්ක ඒකරාශී වෙලා මේ සටන මෙහෙය වන්න මම ලෑස්තියි කියලා බොහොම පැහැදිලිව කියනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ඒ පාලන කාලය තුළ කරපු වැරැදි ගණනාවක් තියෙනවා. ඒ නිසා තමයි 2015 මැතිවරණයෙන් පක්ෂයත් අපේක්ෂකයත් පරාජයට පත්වුණේ. අද ආණ්ඩුවක් විදියට වැඩ කරන විට එක්සත් ජාතික පක්ෂය එක්ක, එක්සත් ජාතික පක්ෂය තුළත් වැඩ කරන පිරිස් ඒ වැරැදි ඊටත් එහා කරනවා නම් මේ සියල්ල ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි දැන ගන්න අවශ්‍යයි පක්ෂය කුමක්ද කියන එක නොවෙයි නිවැරැදි දේ කුමක්ද කියන එකයි. ජනතාව සමඟ නිදහස් සාමකාමී දේශපාලන ව්‍යාපාරයක් තුළ සමාජ සාධාරණත්වය තුළ යුක්ති සහගත සමාජයක් ගොඩ නැ‍ඟීම තුළ පිරිසිදු දේශපාලන අවංක ව්‍යාපාරයක් සඳහා අපි සියලු දෙනා කැපවිය යුතුයි.

ඒ නිසා රට ගැන හිතන්නේ නැතුව රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව, මේ නියඟයෙන් පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගැන හිතන්නේ නැතුව, වෙන දේශපාලන අර්බුද හදා ගෙන, මේ රටේ අවුලක් හදන්න හදනවානම් ඒක රටට කරන ද්‍රෝහීකමක් ජනතාවට කරන ද්‍රෝහිකමක්. මම මේ සියලු දේවල්වල දී ඉතාමත් සන්සුන්ව, ඉතාමත් ඉවසීමෙන්, උපේක්ෂා සහගතව කටයුතු කරන්නේ. මගේ අවුරුදු 50ක දේශපාලන ජීවිතයේ අත්දැකීම් එක්ක මම වැඩ කරන්නේ. මම පුරුදු වෙන්න දේශපාලනය කරන්න ආව කෙනෙක් නොවෙයි. කාගෙන්වත් ඉගෙන ගෙන දේශපාලනය මේකයි කියලා ආව කෙනෙක් නොවෙයි. මම අවුරුදු 50ක් දේශපාලනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ. මම අවුරුදු තුනක් පොදු අපේක්ෂකයෙක් විදියට සියලු දේශපාලන පක්ෂ එක්ක වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපිට රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම සපුරාලීම සඳහා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට තමුන්නාන්සේලා ගමේ ශාඛාව ශක්තිමත් කරන්න අවශ්‍යයි. තමුන්නාන්සේලා මැතිවරණ කමිටුව ශක්තිමත් කරන්න අවශ්‍යයයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා දැන් සියලු ප්‍රදේශවල අපේක්ෂකයෝ තෝරා ගෙන අවසන් වෙලා තිබෙන්නේ. ඒ අපේක්ෂකයන් එක්ක පක්ෂ සංවිධාන කටයුතු ශක්තිමත් කරන්න අවශ්‍යයි. දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුත් එක්ක ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරන්න අවශ්‍යයි. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරන විට යුඇන්පී ද ශ්‍රීලංකාද ජේවීපී ද කියන ප්‍රශ්නය නොවෙයි එතන බලන්න ඕනෑ. වඩාත් පීඩාවට පත්වෙච්ච ජනතාව කවුද කියලා මිසක් ඔහුගේ පක්ෂය කුමක්ද කියන එක නෙවෙයි. දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මැති ඇමැතිවරු ආණ්ඩුවක් විදියට සංවර්ධන කටයුතු සඳහා කැප වෙන්න අවශ්‍යයි. ඒ තුළයි අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපිට ඉදිරි අනාගතයේ දී කුමන අභියෝග ආවත් කුමන විදියේ ප්‍රශ්න ආවත් ඒ සියල්ල සුබවාදී කොට සලකමින් රටක් විදියට අපි යන ගමනේ අරමුණු ඉෂ්ට කර ගන්න සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන්, මිත්‍රශීලීව කටයුතු කරන්නට ඕන.

මම මුලින් කිවුවේ පැහැදිලි වශයෙන්ම යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය. මීට පෙර තිබූ පළාත් පාලන ආයතනවල ප්‍රාදේශීය සභා, නගර සභා, මොනතරම් දුෂිත තත්ත්වයකට පත්වුණා ද කියා තමුන්නාන්සේලාට මතක ඇති. ඒ හැම කෙනෙක්ම නොවේ. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව වට්ටන්න, පරාජය වෙන්න මුල් වුණේ එවකට තිබුණු පළාත් පාලන ආයතනවල සභාපතිවරු වැඩි පිරිසකගේ හැසිරීම බව තමුන්නාන්සේලාට මතක ඇති. ස්ත්‍රී දුෂණ, මත් කුඩු විකිණීම්, මිනීමැරුම් මොනතරම් සිද්ධ වුණාද පළාත් පාලන ආයතනවල සභාපතිවරු අතරින්. මට නාම ලේඛනය කියන්න පුළුවන්. ඒවා මම ගන්නේ නැහැ. එදා රාජපක්ෂ ආණ්ඩුවේ පිරිහීම මුලින්ම සිද්ධ වුණේ ඒවා නිසා. මම ජනාධිපති ධුරයට පත්වෙන්න හේතු ගණනාවක් තිබුණා මේ රටේ. ඒ හේතු ගණනාව මුල්වෙලා තමයි එවකට තිබුණු ආණ්ඩුව වෙනස් කරලා අලුත් ආණ්ඩුවක් හැදුවේ. මේ හදලා තිබෙන අලුත් ආණ්ඩුව නිවැරැදි මඟක යන්නට ඕන. ඊළඟට එන මැතිවරණවල දී අපි ඒ මැතිවරණ තරග කරන්නට ඕන. ඒවා ජයග්‍රහණය කරන්නට ඕන. ජනතාවට අවශ්‍ය විදියට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ දෙන්නට ඕන. ඒ නිදහස සහතික කරන්නට ඕන. මේ සියල්ල සමඟ මේ රට යහපත් රටක් ලෙස ගොඩනඟන බව තමුන්නාන්සේලාට මතක් කරන්නට ඕන.

ඉන්දික බණ්ඩාරනායක ඇමැතිවරයාගේ නායකත්වය තුළ නිකවැරටිය ආසනයේ සුපුන් රාජපක්ෂ මහත්මයා ඇතුළු සියලු දෙනා එක්ව තමුන්නාන්සේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට සංවිධානය වෙලා සියලු පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන බවට පත් කරන්න අපි සියලු දෙනාම කැපවෙමු කියන ඉල්ලීම සිදුකරනවා.

වයඹ පළාත් ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක, රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ඇමැති ලක්ෂ්මන් වෙඩරුව, ආනන්ද සරත් කුමාර, ආනන්ද ජයලත්, කමල් ඉන්දික, නිලන්ත සුපුන් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සඳරුවන් අමරසිංහ ජනාධිපති මාධ්‍ය ඒකකය 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();