මහනුවර රෝහලේ දී පැය හයක සැත්කමක්
බඳින තුවක්කුවක් පත්තු වී එහි ඉදිරිපස යකඩ බටය ගැලවී ගොස් හිස් කබල පසාරු කරගෙන යෑමෙන් බරපතළ තුවාල ලත් බිබිල ඉඟිනියාගල ප්‍රදේශයේ දෙදරු මවකට මහනුවර ශික්ෂණ රෝහලේදී පැය හයක ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු ඇගේ හිසේ ඇනී තිබූ යකඩ බටය සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරු කණ්ඩායමක් සමත්ව තිබේ.
මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කරනු ලැබ තිබෙන අතර ශල්‍යකර්මයට ලක්වූ කාන්තාව මේ වන විට රෝහලේ ස්නායූ ශල්‍යය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. බිබිල ඉඟිනියාගල ප්‍රදේශයේ පදිංචි ඉනෝකා දමයන්ති නැමැති තිස්තුන් හැවිරිදි දෙදරු මව පෙරේදා (24) නිවස පවිත්‍ර කරමින් සිටියදී නිවසේ ඇද යට තිබූ බඳින තුවක්කුව පත්තුවී තිබෙන අතර එහි ඉදිරි පස බටය වේගයෙන් පැමිණ ඇගේ නළල පසාරු කරගෙන අඟල් හතරක් පමණ කිඳා බැස ඇත.
බරපතළ තත්ත්වයෙන් බිබිල රෝහලට ඇතුළත් කරන ලද ඇයට එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබේ.
මහනුවර ශික්ෂණ රෝහලේදී ඇගේ හිසේ ඇනී තිබූ යකඩ බටය ඉවත් කිරීමේ සැත්කම පස්වරු 3.00 ට පමණ ආරම්භ වී තිබෙන අතර පැය හයක පමණ සැත්කමකින් පසු එය සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබේ.

0 Comments