නාවලපිටිය එජාප බලමණ්ඩල පිහිටුවීමේ රැස්වීමේ දී අගමැති කියයි
ඉදිරි මැතිවරණයේ දී පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුවට ලබා ගැනීමෙන් පසුව මෙතෙක් ජාතික රජය සිදු කළ සංවර්ධන ක්‍රියාවලිය තවත් වේගවත් කිරීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
පළාත් සභා, ප්‍රාදේශිය සභා සංවර්ධන කටයුතුවලදී බාධාවන් ඇති වන තත්ත්වය අවසන් කර ගැනීමට නම් එම ආයතනවලද බලය තහවුරු කර ගත යුතුයැයිද ඉන්පසු යහපාලනය සමඟ සම්බන්ධ වී කටයුතු කළ හැකි ඕනෑම අයකු සමඟ එක් වී ඉදිරියට යාමට හැකියාව ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
අගමැතිවරයා මේ බව පැවසුවේ නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමිණි.
එහිදී අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අප විසින් ප්‍රතිසංවිධානය කිරීමේ ආරම්භක අවස්ථාවයි. බලය ලබාගෙන වසරක් පමණ ගත වනතුරු අපගේ ශඛාසමිති බලමණ්ඩල තිබුනේ නැහැ. අප දැන් ආරම්භ කර තිබෙන්නේ ඒ වැඩසටහනයි. මේ වැඩසටහන මැතිවරණය අවසන් වුවා යැයි කියා නවත්වන්නේ නැහැ. මැතිවරණයෙන් පසුවත් ශක්තිමත් පක්ෂ සංවිධානයක් ගොඩනැඟීම අපේ අරමුණයි.
ආනන්ද අලුත් ගමගේ සංවිධායකතුමා යටතේ නාවලපිටිය විශාල ප්‍රතිසංවිධානයකට ලක්වි තිබෙනවා. මේ ප්‍රදේශය නැවත ඉහළින් ජයග්‍රහණය කිරීම අපේ අරමුණයි. අලුත් අය මෙන්ම පැරණි අයත් එකට එකතු කරගෙන කිසිදු බේදයකින් තොරව අප ඊළඟ මැතිවරණය සඳහා සූදානම් විය යුතුයි. ආනන්ද අලුත්ගමගේ මහතා විශාල සංවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇති බව මෙහි පැමිණි අවස්ථාවේ මට දැක ගන්නට ලැබුණා. තවත් සංවර්ධන වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ඒ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මැතිවරණ වලදි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතුයි.
2015 වසරේදී අප රටේ බලය ජාතික ආණ්ඩුවට ලබා ගත්තා. 2018 වසරේදී අප ගමේ බලයත් අපි යටතට ගත යුතුයි. රටේ පාලනය ජාතික ආණ්ඩුව යටතේ තිබෙනවා. පළාත් සභා මඟින් පළාත් පාලනය කරනවා. ගමේ පාලනය රඳා පවතින්නේ ප්‍රදේශීය සභා සහ නගර සභා යටතේයි. මහින්ද රාජපක්ෂ රජය පරාජය කරන්නට නොහැකි යැයි 2014 වසරේදී බොහෝ අය පැවසුවා.
තවත් ආර්ථික අර්බුදයක් ඇති වී රාජපක්ෂලා මෙය දමා යනතුරු ඉන්නැයි ඇතමුන් කිව්වා. එලෙස බලා සිටිය යුතු නැති බවත් හැකි අවස්ථාවේදි බලය අතට ගෙන කඩා වැටෙන ආර්ථිකය හදා ගන්නට හැකියාව ඇති බවත් මා එහිදී පැවසුවා. සියයට සියයක්ම එකවර ආර්ථික ප්‍රශ්නය විසඳා ගන්නට නොහැකි වුවත් මුලින් සියයට විසිපහක්, පනහක්, හැත්තෑපහක් ආදි වශයෙන් ප්‍රශ්නයට විසඳුම් ලබා ගත හැකි බව මා සඳහන් කළා. ඒ අනුව අප ජනාධිපතිවරණය සඳහා සූදානම් වුණා.
ඒ අනුව යහපාලනය ස්ථාපිත කිරීමට අප එකතු වුණා. අප ඉදිරිපත් කළ අපේක්ෂකයා වු මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළා. ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකි වුණා. ආණ්ඩු බලය ලැබීමේදී අපට හිමි වුණේ රටේ බලය පමණයි. පළාත් සභා අපේ කකුලෙන් අදිනවා. ප්‍රාදේශිය සභාවලින් ප්‍රශ්න ඇති කරනවා. එසේ නම් සාර්ථක පාලන ව්‍යුහයක් ඇති කිරීම සඳහා එම ආයතන දෙකේ බලයත් තහවුරු කළ යුතුයි. ප්‍රදේශිය සභා විසිරුවා හැරිය පසු අප නව ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කර තිබෙනවා. දැන් අප ගමේ ඡන්දය පැවැත්විය යුතුයි. අප භාර ගත්තේ මානව හිමිකම් නොමැතිව ලෝකය විසින් පන්නා දැමු රටක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. එක් පැත්තකින් අපට ලෝකයේ සහාය දිනා ගැනීමට අවශ්‍ය වුණා. දැන් හොඳ තත්ත්වයක් ඇති වී තිබෙනවා. සෑම රටකම සහාය ලැබී තිබෙනවා. මා මෙන්ම ජනාධිපතිතුමාත් රටින් රට ගොස් ඒ සහයෝගය දිනා ගැනීමට අවශ්‍ය වට පිටාව නිර්මාණය කළා. මංගල සමරවීර ඇමතිතුමා ඒ කටයුත්තට දායක වුණා. එහිදි ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරන රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගැනීමට හැකියාව ලැබුණා. පළමුවෙන්ම ඒ කටයුත්ත සාර්ථක කර ගත්තේ නැතිනම් ඉදිරියට යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. එම චෝදනා වලින් බේරුණේ නැතිනම් කිසිඳු විදේශ අධාරයක් සහයක් ලැබෙන්නේ නැහැ. සංචාරකයන් මෙරටට එන්නේ නැහැ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ කොන් වීමට පවා ලක්වෙනවා. අප රට බාරහත්තේ එවන් පසු බිමකින් රට බේරා ගැනීමේ වගකීමද සිතේ තබාගෙනයි.
රටේ අදායම බිඳ වැටී තිබුණා. ණය ගෙවීම සඳහා වත් අදායම ප්‍රමාණවත් වුයේ නැහැ. රාජපක්ෂ රජය ඉන්ධන ආදියෙහි මිල වැඩි කර එයිනුත් හම්බකර ගත්තා. අප බලයට පත් වු පසුව ලෝක වෙළෙඳ පොළ මිලට ඉන්ධන ලබා දීමට කටයුතු කළා. ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩි වු පසුව මෙරට ඉන්ධන මිල වැඩි වෙන ලෙසත් අඩු වන විට අඩුවන ලෙසත් අප ක්‍රමවේදය සකස් කළා. අපගේ ඒ වැඩකටයුත්ත අනුව ලෝක වෙළෙඳ පොලේ මිල අඩුවන විට මෙහි බඩු මිල පවා අඩුවනවා.
අද වන විට අප ජීවන වියදම යම් කිසි මට්ටමකට පාලනය කර තිබෙනවා. නියඟයට මුහුණ දීමට සිදු වූ නිසා ඇතැම් භාණ්ඩවල මිල මදක් වැඩි වී තිබෙනවා. නමුත් එය යම් පාලනයක් ඇති කිරීමට හැකියාව ලැබුණා. රජයේ සේවක මෙන්ම පෞද්ගලික අංශයේ අදායම වැඩි කිරීමට අපට හැකි වුණා.
2016 වර්ෂය අප ගත කළේ ආදායම් සෙවීමටයි. එය අමාරු වැඩක්. ඒ අනුව වැට් බද්ද පවා වැඩි කරන්නට සිදු වුණා. 2017 වන විට රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට අපට හැකි වුණා. එතැනින් මුදල් ලැබුණා. එම මුදල්වලින් තමයි ආනන්ද අලුත්ගමගේ, වඩිවේල් සුරේෂ් සහ ලකී ජයවර්ධන මන්ත්‍රීවරු සංවර්ධන වැඩ කරන්නේ. අපි එනවිට සතයක් තිබුණේ නැහැ. දැන් ගමේ සංවර්ධන වැඩ කරන්න පුළුවන්. මෙහි තාක්ෂණ මධ්‍යස්ථානයක් හදනවා. බස් නැවතුම් පළක් දානවා. තවත් වැඩ කරගෙන යනවා. එසේ කිරීමට ලැබුණේ අපිට මුදල් ලැබුණු නිසායි. මේ මුදල් නොලැබුණා නම් අපට මුකුත් කරන්න බැරිවෙනවා. තව අවුරුදු දෙක තුනක් යනවිට 2019,20,21,22,23 යනතුරු අපට ප්‍රශ්න විසඳා ගන්න තිබෙනවා. 2020 මැතිවරණය දිනා 2026 යනතුරු අපි යා යුතුයි. සියලුම ප්‍රශ්න විසඳා ගත හැක්කේ එවිටයි. අපි දැන් එය ආරම්භ කර තිබෙනවා. පළමු පියවර එයයි.
ඒ එක්කම විශාල සංවර්ධනයක් ආරම්භ කර තිබෙනවා. රෝහල්වලට මුදල් ලබා දී තිබෙනවා. කිරිඇල්ල ඇමතිතුමා ගමේ පාරවල් හදන්න පටන් ගෙන තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මදක් කල්පනා කර බලන්න. ප්‍රාදේශීය සභාවල බලය අපට තිබුණා නම් තව කොච්චර වැඩකටයුතු කිරීමට තිබුණාද? එවිට අපේ කකුලෙන් අදින්න අය නැහැ. ප්‍රාදේශීය සභා,නගර සභාවලට මහ ආණ්ඩුවෙන් සල්ලි ලබා ගෙන වැඩ කටයුතු කළ හැකියි. අපි මෙතෙක් වැඩ කළේ පළාත් පාලන බලය නැතිවයි. ටිකක් හිතන්න ඒවායේ බලය අපිට තිබුණා නම් කොච්චර වැඩ කරන්න තිබුණද? එහි බලය අපි අතට ගන්න ඕනෑ.
අපි මධ්‍යම අධිවේගි මාර්ගය ආරම්භ කළා. තව අවුරුදු දෙකකින් පැය එකහමාරකින් කොළඹ ඉඳන් නුවරට එන්න පුළුවන් වෙනවා. මහනුවර නගරය දියුණු කරනවා. මහනුවර සිට හම්බන්තොට එනකම් විශාල දියුණුවක් ආරම්භ කර තිබෙනවා.
එදා හම්බන්තොට වරාය සුදු අලියෙක්. නැව් ආවේ නැහැ. අපි අද ප්‍රධාන වරායක් බවට පත් කරනවා. කොළඹ තව දියුණු කර මහ නගරයක් බවට පත් කරනවා. මේ ප්‍රදේශවල අලුතින් වෙළඳ කලාප ඇති කරනවා. හම්බන්තොට, කුරුණෑගල, කලුතර අලුතින් කර්මාන්ත ශාලා, අලුතින් හෝටල් පටන් ගන්නවා. මේ සඳහා අප අලුතින් ආයෝජන ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. තව අවුරුදු දෙක තුනක් යන විට තවත් ආයෝජන ගලාගෙන එනවා.තවත් ඉදිරියට ගෙන යනවා. අලුතින් පරිගණක ව්‍යාපාරද එනවා. මේ ප්‍රදේශයේ තිබෙන ගොඩනැගිලි දිහා බලන්න. සංවර්ධනයේ මුල තිබෙන්නේ ගොඩනැගිලි.
තේ මිල අපි පාලනය කළා. දැන් හොඳ මිලක් තිබෙනවා. මෙය ඉදිරියට ගෙන යාමට විශාල වැඩසටහනක් අප ආරම්භ කර තිබෙනවා. ඒවා කරන ගමන් අප නිවාස ඉඳි කරනවා. සජිත් ප්‍රේමදාසගේ නිවාස වැඩපිළිවෙළ, ග්‍රාමීය, නාගරික මධ්‍යම පන්ති නිවාස වැඩසටහන් වගේම නාගරික මධ්‍යම පන්තියේ අයට නිවාස සඳහා ණය ලබා දෙනවා. ඒ වගේ විශාල වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ජල නළ යෝජනා ආරම්භ කරනවා. මේ සියල්ලම කරන්නේ ණය වී ඒවා ගෙවාගන්න බැරිව සිටි රටක්. අපි සංවර්ධන වැඩසියල්ලම පටන් ගෙන තිබෙනවා. අපේ පාක්ෂිකයන්ට අපි පුළුවන් අවස්ථාවල ණය ලබා දෙනවා. දේශපාලන පලිගැනීම්වලට සහන ලබා දීම අප ආරම්ඹ කර තිබෙනවා. සමහරු නඩු දාලා තිබෙනවා. අවුරුද්දක් යන විට ඒ වැඩ අවසන් කරන්න පුළුවන් වේවි. මේ අවුරුද්ද අවසානයේ හෝ ඊළඟ අවුරුද්දේ මුල අපට හුඟක් අවසන් කර ගන්න පුළුවන් වේවි. වන්දි ගෙවන්නත් හැකි වී තිබෙනවා. තනතුරු පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.
2016 දී රැකියා දීමට අමාරු වුණා. අපි එය 2017 පටන් ගත්තා. හැමෝටම රජයේ රැකියා දෙන්න බැහැ. පුද්ගලික අංශයේ රැකියා ලබා දිය යුතුයි. එය පටන් ගත්තා.1977 දීත් අපට රැකියා දෙන්න බැරි වුණා. 78,79,80 දී තමයි රැකියා දෙන්න පුළුවන් වුණේ. ඒ වගේ ටික කාලයක් යනවා. ඒත් අපි රැකියා ලබා දිය යුතුයි. තරුණයන්ට අවස්ථා ලබා දිය යුතුයි.
ඒ සඳහා බලය අප අතේ තබා ගත යුතුයි. ප්‍රාදේශීය සභා බලය ලබා ගතහොත් අපේ බලය වැඩි වෙනවා. ඒ සඳහා අපි බැහැලා වැඩකර ජන්දය දිනා ගත යුතුයි. ඊට පසු පළාත් සභාත් දිනමු. යහපාලනය සමඟ ඉන්න ඕනෑම කෙනෙකු සමඟ අප වැඩ කරන්න ලැහැස්තියි. ඒත් අපි දිනලා අපේ සංඛ්‍යාව පෙන්විය යුතුයි. මේ ජන්දයට ජනාධිපතිවරණයට වැඩ කළා වගේම වැඩ කරමු. බලය තහවුරු කර ගත යුතුයි.
තට්ටු තුනක් තිබෙනවා. උඩම තට්ටුව අල්ලා ගතහොත් යටම තට්ටුව අල්ලා ගැනීම ලෙහෙසියි. රට දියුණු වෙන්න නම් එක්සත් ජාතික පක්ෂය දිනිය යුතුයි. ආයෝජන සියල්ලම එන්නේ අපි බලයේ සිටින බව දැන ගත් විටයි. අමාරු වැඩ කර රට දියුණු කරන ආකාරය අප පෙන්නා තිබෙනවා. හැම කෙනෙක් සමඟම එකට එකතු වී වැඩ කරන්න.
දැන් අපට ඇත්තේ සංවිධානය වී ඉදිරියට යාමයි. මේ අවස්ථාවේ පරණ අලුත් සියල්ලම එකතු වී භේදයක් නැතිව ගියහොත් ආණ්ඩුව යන වේගය වැඩි කර අපේ පාක්ෂිකයන්ට දෙන සහන මීටත් වඩා ලබා දීමට හැකි වෙනවා. අපේ පරණ පාක්ෂිකයන් අප බලා ගත යුතුයි. අපිට වැඩ කරන තරුණ තරුණියන්ට පමණක් නොව හැම තරුණ තරුණියකටම රැකි රක්ෂා, ආදායම් මාර්ග බිහි කළ හැකි රටක් අපි ඇති කළ යුතුයි. ඒ සඳහා 2018 පළාත් පාලන ජන්දය අප ජයග්‍රහණය කරමු.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා- සියලුම ජාතින් ඉතා සංහිඳියාවෙන් නාවලපිටිය ප්‍රදේශයේ ජිවත් වෙනවා. මේ ප්‍රදේශය භීෂණය රජ කළ පළාතක්. නමුත් ඒ භීෂණය නතර කරන්න අපට පුළුවන් වුණා.
අප නාවලපිටියේ සිට කෑගල්ලට යා හැකි කෙටි මාර්ගයක් මේ දිනවල ඉඳි කරමින් යනවා. අපේ රජය යටතේ මේ ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් සිදු කරමින් සිටිනවා. නාවලපිටිය දියුණු නගරයක් බවට පරිවර්ථනය කිරීම අපේ අරමුණයි. නාවලපිටිය අද නව පිබිදීමකින් කටයුතු කරනවා.
මා මේ ආසනයේ 11 වන සංවිධායකවරයායි. ජාතික ධනයට ලේ කඳුළු හෙලන වතු ජනතාවටත් නිවාස ඉඳිකිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. 2020 දී මා මැතිවරණයට ඉදිරිපත් වන්නේ මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට ස්ථිර නිවාස ලබා දීමෙන් පසුව බව කිව යුතුයි.
අප කිසි දිනක මහජන දේපළ අයුතු ආකාරයට පරිහණය කර නැහැ. රහසින් හෝ මගේ අතින් වරදක් වුවහොත් එදිනම ඉල්ලා අස්වීම මගේ ප්‍රතිපත්තියයි. ඉදිරියේදි එන ඕනෑම මැතිවරණයක් නාවලපිටිය ඉතා ඉහළින් ජයග්‍රහණය කරන බව කිව යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා - සිංහළ, දෙමළ, මුස්ලිම් සෑම ජනකොටසකටම එක්සත් ජාතික පක්ෂය අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ එක් වචනයක් විශ්වාස කර 2015 දී නව ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා දෙමළ මුස්ලිම් ජනතාව සිය ජන්දය ලබා දුන්නා. නාවලපිටිය යනු ජාතින් එකතු කරන ආසනයක් බව කිව යුතුයි. වතුකරයේ ජනතාව මුස්ලම් සහ සිංහල ජනතාව සමඟ අත්වැල් බැඳගෙන ඉදිරි මැතිවරණද එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට කටයුතු කරනවා.
ශිරෝමි අබයසිංහ, නාවලපිටිය සමූහ, ගඟඉහළ සමුහ සහ ගම්පොල සමූහ
ඡායාරූප- හිරන්ත ගුණතිලක

0 Comments