Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සම්මේලනයේ ලේකම් ගෙවීම් ප්‍රශ්න ප්‍රතික්ෂේප කරයි

පාපන්දු විනිසුරුවන්ට මුදල් නොගෙවීමේ හේතු මත පසුගිය සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ චැම්පියන් ලීග් හා ප්‍රිමියර් ලීග් පාපන්දු තරග ඇනහිටි බව මුල් පෙළේ ක්‍රීඩා සමාජ කිහිපයක්ම සඳහන් කරයි. මේ තරග වෙනුවෙන් ක්‍රීඩක ගෙවීම් හා පෙර පුහුණුවීම් වෙනුවන් විශාල මුදල් ප්‍රමාණයක් ක්‍රීඩා සමාජවලට වැය වූ බව එම ක්‍රීඩා සමාජ ප්‍රධානීහූ පවසති. නම හෙළි කිරීමට අකමැති පාපන්දු විනිසුරුවකු සඳහන් කළේ ඇතැම් විනිසුරුවන්ට තවමත් නිසි පරිදි මුදල් නොගෙවා ඇති බැවින් ඉදිරියේදී ද තරග වර්ජන සිදුවිය හැකි බවය.

තරගයක් වෙනුවෙන් සෑම ක්‍රීඩා සමාජයක්ම අවම වශයෙන් දින පහකට පෙර සංචිතය සූදානම් කරන හෙයින් ඒ සඳහා විශාල වැයක් දැරීමට සිදුවන අතර මෙලෙස තරග හදිසියේම නොපැවැත්වීම විශාල මුදල් අපතේ යෑමක් බව ක්‍රීඩා සමාජවල චෝදනාවවී ඇත. විදෙස් ක්‍රීඩකයන්ට ගෙවන මුදල් හා දේශීය ක්‍රීඩකයන් වෙනුවෙන් වැයවන මුදල් පාපන්දු සම්මේලනය ලබා නොදෙන හෙයින් තරග සංවිධානයේදී මෙයට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුව ඇති බව පාපන්දු ක්‍රීඩා සමාජවල මතයවී තිබේ.

පසුගිය සති අන්තයේ පැවැත්වීමට නියමිත තරග නොපැවැත්වෙන බව දැනුම්දී ඇත්තේ එයට පෙර දිනයේදී බැවින් දුර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ ඇතැම් කණ්ඩායම් ගමන ආරම්භ කොට තිබූ බව වාර්තා වේ. ඊයේ උතුරු පළාතේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයකට සහභාගීවීම සඳහා ආරක්ෂක සේවා කණ්ඩායමක් පෙරේදා කොළඹ සිට පිටත්වූ අතර නිට්ටඹුව දක්වා පැමිණෙමින් සිටි අවස්ථාවේ දුරකතන ඇමැතුමකින් තරගය කල් දැමීමට සිදුවන බව පාපන්දු සම්මේලනය දැනුම්දී ඇත.

එහෙත් පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. එම්. ජස්වර් මහතා පවසන්නේ පාපන්දු විනිසුරුවන්ට මුදල් නොගෙවීම මත තරග කල් දැමීමට සිදුවූවේ යැයි පැවැසෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය. ඩුබායි හී පැවැති පාපාන්දු විනිසුරුවන්ගේ පරීක්ෂණයක් හේතුවෙන් හොඳම විනිසුරුවන් පසුගිය සති අන්තයේ දේශීය පාපන්දු තරගවලට එක්කර ගැනීමට නොහැකි වීම ප්‍රශ්නයට හේතුවූ බව ඒ මහතා පෙන්වා දෙයි. විනිසුරුවන් එක් අයෙකුට දෙදෙනකුට යම් ප්‍රශ්නයක් තිබූණද, සියලු දෙනාට මුදල් ගෙවීමේ ප්‍රමාද නොතිබූ බව පාපන්දු ලේකම්වරයා පැවැසීය.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් අදියර ක්‍රියාත්මක හෙයින් හොඳම විනිසුරුවන් පමණක් එම තරගවලට යෙදීම පාපන්දු සම්මේලනයේ අපේක්ෂාවවී ඇති බවය. “චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩා සමාජ උඩට පහළට යන අවස්ථාව දැන් උදාවී තිබෙන්නේ. හොඳම විනිසුරුවන් නැතිනම් ඔය ක්‍රීඩා සමාජ විනිසුරු තීරණ ගැන සම්මේලනයට දොස් නගනවා. අප ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි” ජස්වර් මහතා පැවැසීය.

කෙසේ වුවද ලෝක පාපන්දු සම්මේලනය අනුමත පාපන්දු විනිසුරුවන් සිවුදෙනකු යොදවා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ සුපර් සන් හා රිනවුන් අතර තරගය පමණක් පැවැත්වීමට හැකිවූ බව ඒ මහතා පැවැසීය. සී. ආර් පිටියේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ - ගුවන් හමුදා තරගය, වැලිසර නාවික හමුදා පිටියේ නිව්යංග්ස් - නාවික තරගය, අනුරාධපුරයේ යුද - සොලිඩ් තරගය, කළුතරදී බ්ලූ ස්ටාර් - නිගම්බු යූත් තරගය, සිටි ලීග් පිටියේ ජාවා ලේන් - සෝන්ඩර්ස් තරගය, මාතරදී ක්‍රිස්ටල් පැලස් - මාතර තරගය, මාලිගාපිටිය පිටියේ පෙලිකන්ස් - අප් කන්ට්‍රිලයන්ස් තරගය හා මොරගස්මුල්ලේ පැවැත්වීමට නියමිතව තිබූ පොලිස් මොරගස්මුල්ල අතර තරගය මෙලෙස හදිසියේ කල්දැමුණු චැම්පියන්ස් ලීග් තරග වේ.