ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සමග ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපති හා වත්මන් උප සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා තරග කිරීමේ සූදානමක් පවතී. රොහාන් ප්‍රනාන්දු මහතා කලක සිටම ඔලිම්පික් සභාපති තනතුරට තරග කරන බව පැවැසූ අතර ක්‍රීඩා සංගම් කිහිපයක සාකච්ඡාවකින් අනතුරුව ස්‍රබුමනියම් මහතාගේ නම දැන් කරලියට පැමිණ ඇත.
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ලබන ජනවාරි 9වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාතික ඔලිම්පික් කමිටුවට පසුගියදා එවූ නියෝග කිහිපයක් හේතුවෙන් නිලවරණය තවත් මාස කිහිපයකින් කල්දැමීට සිදුව තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ මහා සභාවක් කැඳවා අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නියෝග අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔලිම්පික් නිලවරණය පැවැත්වෙන දිනය නැවැත තීර්ණය කළ යුතුව තිබේ.
වසර 20ක් ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් දීර්ඝතම ක්‍රීඩා පරිපාලන නිලධාරියකු වූ වත්මන් මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා එළැඹෙන ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට තරග නොකරන අතර මැක්ස්වෙල්ද සිල්වා මහතා ලේකම් ලෙස තවදුරටත් කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. එහෙත් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පූර්ණ සහය සභාපති තනතුරට තරග කරන සුරේෂ් සුබ්‍රමනියම් මහතාට ලැබී ඇතැයි වාර්තා වේ. එමෙන්ම ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට ද ප්‍රනාන්දු මහතාගේ ආශිර්වාදය හිමව ඇතැයි පැවැසේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාට හිටපු ඔලිම්පික් ලේකම් එච්. යූ ද සිල්වා මහතා ඇතුළු කිහිප දෙනකුගේ සහය හිමිව ඇත. බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස්, අශ්වාරෝහක සංගමයේ සභාපති සුරන්ජිත් ප්‍රේමදාස යන මහත්වරු ඒ මහතාට සහය පලකරන බව සඳහන් කර තිබුණි.
ඔලිම්පික් නිලවරණය අවසන් වරට වසර 2009දී පැවැති අතර 2013 පෙබරවාරි 27 වැනිදා නැවත නිලවරණය කැඳවීමට ගත් උත්සහය ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදය හමුවේ අසාර්ථක විය. ඔලිම්පික් කමිටු නිලවරණයට අදාළ නාම යෝජනා නිලවරණයට දින 45කට කලින් කැඳවිය යුතු අතර, විගණිත මූල්‍ය ප්‍රකාශ සමග මහා සභාව කැඳවා නව නිලධාරී මණ්ඩලය පත්කර ගත යුතු වේ. විගණිත මූල්‍ය ප්‍රකාශ නොමැතිව නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමි නොවණු ඇත. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කොට ඇත්තේ කිසිදු ක්‍රීඩා සංගමයක් ගිණුම් වාර්තා විගණනය නොකොට නිලවරණ පැවැත්වීම නීති විරෝධී බවය. එලෙස ගිණුම් වාර්තා විගණනය නොකොට යම් ක්‍රීඩා සංගමයක් නිලවරණය පැවැත්වුවහොත් නිලධාරීන්ට දඩුවම් පමුණුවන බව ක්‍රීඩා නියෝගවලද ඇතුළත්ව තිබේ.

0 Comments