ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.ආර්. පිල හමුවේ සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක නිරතවූ යුද හමුදාවේ ක්‍රීඩකයෝ ලකුණු 24-10ක් ලෙස ප්‍රතිවාදීන් අබිබවා අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූහ.
සී.ආර්. පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම සත්කාරක පිලට දැඩි අභියෝගයක් එල්ල කළ යුද හමුදා පිල පළමු භාගයේදී ලකුණු 12-5කින් පෙරමුණ ගත් අතර ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 2ක් සමග ජයග්‍රහණය තහවුරු කරගනිද්දී සී.ආර්.පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 2ක් පමණි.
පළමුවරට ප්‍රවීණ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම්ගේ පුහුණුකාරිත්වය මත මෙවර තරගාවලියට එක්වී සිටින යුද හමුදා පිලේ ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් අෂේන් බණ්ඩාර උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබීමට සමත්වීම කැපී පෙනුණි. මීට අමතරව තවත් උත්සාහක දිනුමක් සුගත් නානායක්කාර විසින් තබනු ලැබීය. උත්සාහක දිනුම් 2ක්ම ගෝල් කණු අතරින් සාර්ථකව රිංගා යැවූ ගයාන් සාලින්ද සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමමින් යුද හමුදා පිලේ ජයග්‍රහණයට මං විවර කළේය.
සෂාන් මොහොමඩ්ගේ උත්සාහක දිනුමකින් ලකුණු 5-0කින් පෙරමුණ ගැනීමට ආරම්භයේදී සී.ආර්.පිල සමත්වූවත් පසුව සුගත් නානායක්කාරගේ අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 5-5කින් සමකර ගත් යුද හමුදා පිල පළමු භාගය නිමාවීමට පෙර අෂේන් බණ්ඩාර තැබූ උත්සාහක දිනුමක් ගයාන් සාලින්ද ගෝලයක් බවට පත් කිරීමෙන් ප්‍රතිවාදීන් දැඩි පීඩනයකට ඇද දැමුවේය.
දෙවැනි භාගයේදී සී.ආර්.පිල ඇද බැඳ තබාගනිමින් උත්සාහක දිනුම් 2ක් තැබීමට අෂේන් බණ්ඩාර සමත්වූ අතර ඉන් එක් උත්සාහක දිනුමක් ගයාන් සාලින්ද ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. දෙවැනි භාගයේදී රීසා රෆායිඩීන් උත්සාහක දිනුමක් තැබිමට සමත්වූවත් යුද හමුදා පිලට පීඩනයක් ගෙනදීමට සී.ආර්.පිල අසමත්විය.
මහනුවරට දැවැන්ත ජයක්
මේ අතර ගුවන් හමුදා කණ්ඩායම සමග පෙරේදා පස්වරුවේ නිත්තවෙලදී තරග වැදුණු මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 55-13ක දැවැන්ත ජයක් අත්පත් කරගත්තේය. තරගය පුරා උත්සාහක දිනුම් 9ක් තැබූ මහනුවර පිලේ ක්‍රීඩකයන් ඉන් 5ක්ම ගෝල බවට පත් කරද්දී ගුවන් හමුදා පිලට රැස කිරීමට හැකිවූයේ දඬුවම් පහර 2ක් සහ පැනල්ටි ට්‍රයි ගෝලයක් පමණි. තරගයේ පළමු භාගය නිමාවනවිට මහනුවර පිල ලකුණු 24-6කින් පෙරමුණ ගත්තේය.
නාවික හමුදා පිලට තියුණු ජයක්
පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 31-24ක තියුණු ජයක් වාර්තා කිරීමට නාවික හමුදා පිල සමත්විය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 24-10කින් පෙරමුණ ගැනීමට නාවික හමුදා පිල සමත්වූවත් දෙවැනි භාගයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවූ පොලිස් පිලේ ක්‍රීඩකයෝ 70 වැනි මිනිත්තුව වනවිට ලකුණු සංඛ්‍යාව 24-24ක් ලෙස සමකරගැනීමට සමත්වූහ. තීරණාත්මක උත්සාහක දිනුමකින් නාවික හමුදා පිලට ජයග්‍රහණය ගෙන දීමට දුලාංජන විජේසිංහ සමත්වෙද්දී තරගය නිමාවීමට ඉතිරිව තිබුණේ මිනිත්තු 5ක් පමණි. නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 2ක් ඇතුළත් වූ අතර පොලිස් කණ්ඩායම ගෝල් 3ක් සහ දඬුවම් පහරක් වාර්තා කළේය.
හැව්ලොක්ස් පිලට ජය
මේ අතර රීසා මුබාරක් දඬුවම් පහර 2ක් සාර්ථක කරගැනීම නිසා සී.එච්. කණ්ඩායම හමුවේ ලකුණු 26-25ක් ලෙස පරාජය පෙනී පෙනී තිබූ තරගය අවසන් මොහොතේ ජයගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 18-7කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්වූවත් දෙවැනි භාගයේදී යෝෂිත රාජපක්ෂ, සසංක ආරියපාල සහ සජිත් සාරංග තැබූ අගනා උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ඉදිරියට ගිය සී.එච්.පිල සැමුවෙල් මධුවන්තගේ සාර්ථක දඬුවම් පහරකින් ලකුණු 26-25ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත්වූයේ තරගය නිමාවීමට මිනිත්තු 13ක් ඉතිරිව තිබියදීය. අනතුරුව හැව්ලොක්ස් පිල තවත් මිනිත්තු 8ක්ම පීඩනයකට ඇද දැමූ සී.එච්. පිල ජයග්‍රහණය පෙනි පෙනී සිටියදී රීසා මුබාරක් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.

0 Comments