Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැබිනට් තීරණ

විදේශ අමාත්‍යාංශයේ අන්තර්ජාතික සහයෝගිතාවට වෙන් වූ ඒකකයක්

ආසියාව කේන්ද්‍ර කරගෙන නැඟී එන ආර්ථික පසුබිම අනුව ‍ගෝලීය ආර්ථික හා දේශපාලන පරිසරය වෙනස් වෙමින් පැවතීමේ සන්දර්භය තුළ ශක්තිමත් ආර්ථික රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් ගැනීම සඳහා සියලු ප්‍රධාන ආර්ථික ආයතනවල කටයුතු සම්බන්ධීකරණය පිණිස ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සඳහාම වෙන්වූ ඒකකයක් විදේශ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විතව අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම පිණිස විදේශ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

වසංගතය හේතුවෙන් පීඩාවට ලක් වූ විදුලි පාරිභෝගිකයන්ට සහන

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වී ඇති විදුලි පාරිභෝගිකයන් සඳහා සහනයක් සලසාදීමට අදාළව විදුලිබල ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සහ එම වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වී ඇති සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පත් සහ ජල බිල්පත් ගෙවීම සඳහා සහන සලසාදීමට අදාළව සංචාරක ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදි.

අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 06ක සහන කාලයක් ලබාදීම සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසාදීම සහ එතෙක් විදුලි සැපයුම විසන්ධි නොකිරීම. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පොළවලට අදාළව 2020 මාර්තු මස 01 දින සිට 2021 පෙබරවාරි මස 28 දින දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සමාන මාසික වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව දීම සහ එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරීම.

වත්මනට ගැළපෙන ලෙස පනත් සංශෝධනය කිරීම

පහත සඳහන් පනත් සංශෝධනය කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා නිර්දේශ ගැනීම පිණිස ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු කරනු ලැබ ඇත. ඒ අනුව එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන එකී පනත් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි.

ආගමික හා විගාමික පනත (දැනට ක්‍රියාත්මකව පවතින 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම). 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත,

2016 අංක 3 දරන සේවකයන්ගේ අවම වේතනය පනත, 1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත, දණ්ඩ නීති සංග්‍රහයේ 53 වැනි වගන්තිය (බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට අදාළ විධිවිධාන).

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය

මූල්‍ය කාර්යසාධක බළකායේ නිර්දේශයන්ට අනුකූලව සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව විසින් අනුමත කළ නීති සමාලෝචන කමිටුව සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් හඳුනාගෙන ඇති අඩු ලුහුඬුකම් ආවරණය වන පරිදි මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට සංශෝධන හඳුන්වාදීම සඳහා 2010 මැයි මස 05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අදාළ සංශෝධන කෙටුම්පත් කිරීමේ කාර්යය ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව 2014/ 2015 වසර තුළ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් සිදු කරන ලද අන්‍යෝන්‍ය ඇගයීමේදී ඊට පෙර හඳුනා ගන්නා ලද සංශෝධනයන්ට අතිරේකව තවදුරටත් කළ යුතු සංශෝධන කිහිපයක් හඳුනා ගනු ලැබ ඇත. නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් විසින් සකස් කරන ලද කෙටුම්පත 2017 මාර්තු මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය කණ්ඩායම විසින්ද පරීක්ෂා කර බලනු ලැබ ඇත. ඒ අනුව හඳුනා ගනු ලැබ ඇති ගැටලු ආමන්ත්‍රණය වන පරිදි පහත සඳහන් පනත් සංශෝධනය කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල් ඇමැති වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

සංඥා භාෂා පනත් කෙටුම්පතක් සැකසීම

සංඥා භාෂාව පිළිගත් භාෂාවක් වශයෙන් පිළිගැනීම සඳහා 2010 සැප්තැම්බර් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවක් සිටින බැවින් ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා නීතිමය කටයුතු සෞඛ්‍ය පහසුකම් විවිධ රාජ්‍ය සේවාවන් සහ පෞද්ගලික සේවාවන් ගැනීමේදී සංඥා භාෂාව පිළිගත් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනීමට විධිවිධාන සැලසීම මඟින් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමක් සිදු වේ. එබැවින් ශ්‍රී ලංකාව තුළ සංඥා භාෂාව පිළිගත් භාෂාවක් වශයෙන් ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව සංඥා භාෂාව විධිමත් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනීමට හැකි වන පරිදි පාර්ලිමේන්තු පනතක් මඟින් අවශ්‍ය විධිවිධාන පැනවීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල් ඇමැති වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වැනි වගන්තියේ ස්ත්‍රී දූෂණය බරපතළ අපරාධයක් වශයෙන් අර්ථ නිරූපණය කර ඇති අතර එම අපරාධය යටතට ගැනෙන නිශ්චිත වරදවල් කවරේද යන්න පිළිබඳ ද දණ්ඩ නීති සංග්‍රහයේ කරුණු ඇතුළත්ව ඇත. එහෙත් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය අදාළව නීතියේ පරස්පරතාවක් පවතින බව පෙනී ගොස් තිබේ. තවද ශ්‍රී ලංකා වෛද්‍ය නීති සංගමය සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඒ අනුව වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන අයුරින් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ 'විදුලි බලය සැපයීමේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්‍ෆ්ට් සහ අනලතිව් දූපත් ආශ්‍රිතව දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා අන්තර්ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. එ් අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව චීනයේ M/s Sinosoar - Etechwin Joint Venture වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

දේශපාලන පළි ගැනීම් ගැන සොයන ජනපති කොමිසමේ තීරණ ක්‍රියාත්මක කිරීම

2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන් රාජ්‍ය සංස්ථාවල සේවකයන් සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලදී. එකී කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් එකී වාර්තාවේ දැක්වෙන තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහාත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();