කෘෂිකර්මාන්තය පදනම් කරගත් කර්මාන්තවල දී මැලේසියාව සමඟ වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැංයැං තායි මහතා පවසයි.
විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ විදේශ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ, කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ සිය රටවල දිගින් දිගටම සිදුවෙමින් පවතින විශාල ආර්ථික හානිය අතරතුර දී අඛණ්ඩව රැඳී සිටීමට සියලු රටවල් උත්සාහ දරන බවත් වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශංසා කරන බවත්ය.
පශ්චාත් කොවිඩ්-19 යුගයේ දී මෙම බෝවන රෝග තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්වීම සඳහා අග්නිදිග ආසියානු ආර්ථිකයන්ට පහසුකම් සලසනු ඇතැයි අපේක්ෂිත, ආසියාන් කේන්ද්‍රීයත්වය සහ මෑතක දී අස්සන් තැබූ කලාපීය පුළුල් ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සඳහා මැලේසියාව අඛණ්ඩව සහාය දෙන බවද මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
දෙරට අතර වෙළෙඳ හා ආරක්ෂක කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි ද මෙම හමුවේ දී අවධානය යොමු විය.
ආරක්ෂාව සම්බන්ධ ක්ෂේත්රවල දී මැලේසියාව විසින් ලබා දී ඇති සහයෝගීතාව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා තවදුරටත් පැසසුමට ලක් කළ අතර දෙදෙනාම එම සමීප සහයෝගය අනුමත කළහ. මැලේසියාව තුළ කිසිදු ආකාරයක ත්රස්තවාදයක් හෝ අන්තවාදයක් සඳහා සමාව ලබා නොදෙන අතර, එය අවම කිරීම සඳහා සෑම පියවරක්ම ගන්නා බවද කලාපය තුළ සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවද මහ කොමසාරිස් ටැන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවකු ලෙස මැලේසියාව ඉස්මතුවීමත් සමඟ, පසුගිය වසර කිහිපය තුළ දී ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර වෙළඳාම ඉහළ යමින් පවතින අතර මේ වනවිට, ශ්‍රී ලංකාවේ සමස්ත ආනයනයෙන් සියයට 4.6ක් සපයන මැලේසියාව, 2019 දී ශ්‍රී ලංකාව සඳහා 4 වැනි සැපයුම්කරු විය. 2019 දී ශ්‍රී ලංකාවේ 39 වැනි අපනයන ස්ථානය වූයේ මැලේසියාවයි. මැලේසියාව 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ 6 වැනි ආයෝජන හවුල්කරුවා විය.
මහින්ද අලුත්ගෙදර
0 Comments