ආණ්ඩුව විසින් කොවිඩ් වෛරසය සමාජගත වී ඇති බව සඟවමින් මෙම තත්ත්වය පාලනය කිරීම අත්හැර දමා කටයුතු කරන බවක් පෙනෙන්නට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (13) දිනමිණට පැවසුවේය.
කොවිඩ් පළමු රැල්ල ඇතිවූ අවස්ථාවෙහි සැලකිය යුතු යමක් ඒ වෙනුවෙන් සිදුකළද දෙවැනි රැල්ල මැඩපැවැත්වීමට විධිමත් මැදිහත්වීමක් රජයෙන් නොගැනීම කනගාටුවක කරුණක් බවත් අද වන විට දෛනිකව හඳුනාගන්නා රෝගීන් ක්‍රමයෙන් වැඩිවීම සුළුවෙන් තැකිය නොහැකි බවත් හෙතෙම පැවසීය.
මේ වන විට රජයේ කාර්යාලවල බොහෝ සේවකයන්ට වෛරසය ආසාධනය වී තිබුණද එය සඟවමින් සිටින බව පැවසූ ඒ මහතා බොහෝ කාර්යාලවල පීසීආර් පරීක්ෂණ විධිමත් ලෙස නොකිරීම හේතුවෙන් එහි ව්‍යාප්තිය වැඩි වී ඇති බවත් කීවේය.
ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳවද රජයෙන් කිසිදු වගකීම්සහගත ප්‍රකාශයක් නොකරන බවත් එන්නත ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම රජය මේ මොහොතෙහි අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත්තක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
නදී මාණික්කගේ
0 Comments