Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්ටොක්ස් සහ ආචර් ශ්‍රී ලංකා ගමනට නෑ

ශ්‍රී ලංකාවට යළිත් ලබන වසර ආරම්භයේදී ක්‍රිකට් අසිරිය ගෙන එමින් පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරය සඳහා වන සංචිතය එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචාර් විවේක ගැන්වීමට කටයුතු කර තිබේ. ඒ ඔවුන් ලබන පෙබරවාරි මස ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්කිරීමේ අරමුණිනි. ඒ වෙනුවට ජොනි බෙයාර්ස්ටෝව් සහ මොයින් අලි යළි සංචිතයට එක්කර තිබේ.

බෙයාර්ස්ටෝව් සංචිතයට එක්වන්නේ වසරකට පසුව වීම විශේෂත්වයකි. ඔහු අවසන් වරට පසුගිය වසරේ දෙසැම්බර් මස දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයකට එක් විය.

එමෙන්ම ජනවාරි මස සිය බිරිය පළමු දරුවා ප්‍රසූත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බැවින් රොරී බර්න්ස් මේ කණ්ඩායමෙන් ඉවත්ව ඇති අතර, මේ සංචිතයට පළමු වරට 23 හැවිරිදි ක්‍රීඩක ඩෑන් ලෝරන්ස් කැඳවා තිබේ. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් තරග වරම් හිමිකර ගැනීමට නියමිතය. ගාලු තණතිල්ල දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි සලසන හෙයින් මොයින් අලී සමඟ ජැක් ලීච් සහ ඩොම් බෙස් එක්කර ඇත.

මේ තරගාවලිය සඳහා මින් පෙර එංගලන්ත කණ්ඩායම පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණි අතර, කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ තරගාවලිය අත්හැර දමා ඔවුන් යළිත් එංගලන්තය බලා පිටත්ව ගියහ. එවර සංචිතයට බෙන් ස්ටෝක්ස් ඇතුළත්ව සිටි අතර, එම සංචිතයට එක් නොවූ ජෙම්ස් ඇන්ඩර්සන් මෙවර සංචිතයට එක්කර තිබේ.

එංගලන්ත කණ්ඩායම අවසන් වරට 2018 වසරේදී ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක් වූ අතර, එහිදී 3-0ක් හිමිකර ගැනීමට ඔවුන්ට හැකි විය.

එංගලන්ත පිල ජනවාරි 2 වැනිදා මෙරටට පැමිණෙන අතර, 5 දා සිට 9 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදු කිරීමට නියමිතය.

දෙපිල අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මේ තරග 2ක ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව ජනවාරි 14 සහ 22 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය. තරගාවලිය නිමා කරමින් එංගලන්ත පිල 27 වැනිදා මෙරටින් පිටත්ව යෑමට නියමිත අතර, ඔවුන්ගේ ඉන්දීය සංචාරය පෙබරවාරි 4 වැනිදා ආරම්භ වෙයි.

එංගලන්ත සංචිතය - ජෝ රූට් (නායක), ජොස් බට්ලර්, ඩොම් සිබ්ලේ, මොයින් අලි, සැක් ක්‍රව්ලි, ඔලී ස්ටෝන්, ජෙම්ස් ඇන්ඩර්සන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ෆෝක්ස්, මාක් වුඩ්, ඩොම් බෙස්, ඩෑන් ලෝරන්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජැක් ලීච්.

අතිරේක - ජේම්ස් බ්‍රෙසී, මේසන් ක්‍රේන්, සකීබ් මහමූද්, ක්‍රෙග් ඕවරටන්, මැට් පාර්කින්සන්, ඔලී රොබින්සන්, අමාර් විර්දි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();