Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාදු ගඟේ මාළු දූපතකින් වෛද්‍ය පීඨයට ගිය දුප්පත් දියණිය!

නිදහස් ශ්‍රී  ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා වූයේ බළපිටි පුත්‍ර ශ්‍රී මත් ලලිත අභය රාජපක්ෂ මහතාය. බළපිටිය හාරඹ වලව්වේ උපත ලද එතුමා එංගලන්තයේදී නීති උපාධිය ලැබ පෙරළා ගමට පැමිණි අවස්ථාවේදී ගමට දැනෙන යමක් කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනී තිබිණි.

හාරඹ වලව්ව පිහිටි ප්‍රදේශයේ විහාරස්ථානය වූයේ මහා කප්පින මුදලින්දාරාමයයි. මෙම විහාරස්ථානය බළපිටිය කප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමා විසින් ඉදිකරන ලද්දකි. ලලිත රාජපක්ෂ මහතා මහා කප්පින මුදලින්දාරාමයට ගොස් විහාරාධිපති වැලිතර ඥානරතන හිමියන් බැහැදැක ගමට මතක හිටින සේවාවක් කිරීමට අවශ්‍ය බව දන්වා සිටියහ. ගම වෙනුවෙන් ඥානරතන හිමියන්ගේ ඉල්ලීම වූයේ පාසලක් ඉදිකරන ලෙසයි.

ශ්‍රී මත් ලලිත අභය රාජපක්ෂ මහතා තමන්ට අයත්ව තිබූ භූමි භාගයක සිය ධනය හා ශ්‍රමය වැය කර ඉදිකරන ලද පාසල වූයේ වර්තමානයේ බළපිටිය රේවත ජාතික පාසල නමින් හඳුන්වන රේවත විද්‍යාලයයි. 1933 ජූලි 31 දින සුබ නැකතින් මෙම විද්‍යාලය ආරම්භ කෙරිණි. රේවත විදුහල ආරම්භ කොට මේ වනවිට වසර 87ක් සම්පූර්ණ වී හමාරය. මෙම විදුහලෙන් වෛද්‍ය පීඨයට සිසුන් කිහිපදෙනකු ඇතුළත්

වීමට වාසනාව ලැබූවත් කිසිදු අවස්ථාවක සිසුවියකට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණේ නැත. එම වාසනාවද ළඟා කර ගනිමින් මෙවර සිසුවියක් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබන්නේ නොමැකෙන වාර්තාවක්ද තබමිනි.

වසර 87ක කාලය තුළ බොහෝ සිසුන් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වරම් දිනාගෙන තිබුණද ගත වූ වසර 13ක කාලය තුළ කිසිදු සිසුවකු රේවත විදුහලෙන් වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට වාසනාව නොලද අතර එයද බිඳ හෙළමින් මෙවර වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට වාසනාව ලද ශිෂ්‍යාව වූයේ බළපිටිය ගල්මන්ගොඩ පදිංචි ලද්දුසිංහබදු දන්තරා දිනිති (21) ශිෂ්‍යාවයි.

බළපිටියේ ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක් වන්නේ බළපිටිය මාදු ගඟ තෙත් කලාපයයි. මාදු ගඟේ දැනට ඉදිරිව තිබෙන දූපත් 30න් එක් දූපතක් වන්නේ ගල්මන්දූවයි. දූපතේ පදිංචි පවුල් සංඛ්‍යාව 50කි. එයින් වැඩි දෙනකුගේ ජීවන වෘත්තීය වන්නේ මිරිදිය ධීවර කර්මාන්තයයි. මාදුගං තීරයේ පදිංචි ධීවර පවුලක උපන් දන්තරා දිනිති සිසුවිය උපතින්ම සහජ දක්ෂතා පෙන්නුම් කරන ලද අයෙකි. පාසලේ 06 ශේ්‍රණියේ සිට 12 වැනි ශේ්‍රණිය දක්වාම පන්තියේ පළමු වැනියා වූයේ දන්තරා සිසුවියයි. ඉදිරිපත් වූ ක්‍රීඩා අංශයේ නොවන සෑම තරගයකම ජයග්‍රාහකයා ඇය විය. ඒ මඟින් ඇය වසර ගණනාවක්ම රේවත විදුහලට ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් මහත් කීර්තියක් ලබාදී තිබේ. ඇය පාසල් කාලය තුළදී ලබාගත් සහතික සම්මාන ප්‍රමාණයද 80කට අධිකය. බළපිටිය රේවත ජාතික පාසලේ මෑත කාලයේ කීර්තිමත්ම ශිෂ්‍යාව වූ දන්තරාගේ පියා වන්නේ ගල්මන්ගොඩ පදිංචි ධීවර කාර්මිකයකු වන ලද්දුසිංහබදු නිමල් (62) ය.

බළපිටිය, බ්‍රාහ්මණවත්තේ උපත ලද නන්දනී ඕබඩගේ (59) දන්තරාගේ මවය. සිය දියණියගේ දක්ෂතාවන් පිළිබඳව මහත් ආඩම්බරයෙන් අදහස් දැක්වූ ඇය මෙසේ කීවාය.

“මේ අපිට ඉන්න එකම දරුවයි. වෙන දරුවෝ නැහැ. මුල ඉඳලම රේවත ජාතික පාසලටයි ගියේ. දියණියට සිංහල, ඉංගී්‍රසි මෙන්ම දෙමළ භාෂාවෙනුත් නිවේදන කටයුතු කරන්න සහජ හැකියාවක් තිබෙනවා. භාෂා තුනෙන්ම සාහිත්‍ය රචනා තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ බොහෝ තරගවලින් පළමු, දෙවැනි ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. 6 වැනි ශේ්‍රණියේ සිටම පාසලේ පන්තියේ පළමු

වැනියා වුණේ මගේ දියණියයි. දියණිය ක්‍රීඩාවලට යොමු වුණේ ඉතා අඩුවෙන්. උසස් පෙළ කරන කාලයේ නම් නෙට්බෝල්, වොලිබෝල් වගේ කණ්ඩායම් තරගවලට යොමු වුණා. ක්‍රීඩා හැර පාසලේ වෙනත් සෑම තරගයකටම මගේ දරුවා ඉදිරිපත් වෙනවා. කොට්ඨාස කලාප, පළාත් හා ජාතික මට්ටමින් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.

දියණිය පොතට පතට විශාල උනන්දුවක් දක්වනවා. ගෙදර අල්මාරි දෙකක්ම පුරවල තිබෙන්නේ පොත්පත්වලින්. බළපිටිය, වදදූව සිරි පවරින්දාරාම විහාරස්ථානයේ දහම් පාසලටයි ගියේ. දහම් පාසල් අවසානය විභාගයත් සමත් වුණා. ගෙදර වැඩපළවලටත් මට උදවු කරනවා. පාසලේ එක වැඩක්වත් අතපසු කරන්නේ නැහැ. දියණිය කවි, ගීත ලියන්නත් දක්ෂයි. කවි රැසක් ලියා තිබෙනවා. එක්තරා අවස්ථාවක පාසලෙන් මුද්‍රණය කළ වෙසක් පතකට අරන් තිබුණේ මගේ දියණිය විසින් රචනා කරන ලද කවියකුයි. ගමේ දරුවන්ට පාඩම් කියල දෙනවා. ජීව විද්‍යා විෂය ධාරාව තමයි කියල දෙන්නේ. එයා තාත්තට තමයි හරිම ආදරේ.” යැයිද නන්දනී ඕබඩගේ මහත්මිය කීවාය.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ලද්දුසිංහබදු දන්තරා දිනිති (21) දියණිය අප සමඟ කතා කළාය.

මම මෙවර අපොස (උපෙළ) විභාගයට ජීව විද්‍යා අංශයෙන් විභාග අංක 7859821 යටතේ ඉදිරිපත් වුණේ. ඉසෙඩ් අගය 1,8055ක් තිබෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවා. වෛද්‍යවරියක් වෙලා ගමට සේවය කිරීමයි, එකම බලාපොරොත්තුව.

මම, ගම දාලා, ගම අමතක කරලා යන කෙනෙක් නොවෙයි. කුඩා කාලයේ සිටම ගියේ ගමේ පාසලටයි. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ, අපොස (සාපෙළ) විභාගයෙන් පස්සේ ගමේ නොවන නගරයේ පාසල්වලට යන්න හැකියාව තිබුණත් එහෙම වුවමනාවක් මට තිබුණේ නැහැ. ඒ නිසා මොන තනතුර ලැබුණත් මොන තරම් ඉහළට ගියත් ගම දාලා යන චේතනාවක් මට නැහැ.

මගේ සියලු ජයග්‍රහණවලට මට අවකාශ ලැබුණේ මගේ මවුපියන් නිසයි. බොහොම අමාරුවෙන් දුක්විඳලයි, අම්මා තාත්තා මාව පෝෂණය කළේ. මගේ අවශ්‍යතා සපුරන්න අම්මා තාත්තා ජීවත් වුණේ බොහෝ අඩුපාඩුකම් මැද්දේ, ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීමත් මගේ අරමුණක් වෙනවා. ඊළඟට මගේ පාසල, රේවත ජාතික පාසල, මගේ ජීවිතය වගෙයි. මගේ විදුහල් මෑණියන්ට මම සදා ණය ගැතියි. ගුරු මණ්ඩලය වගේම හිටපු විදුහල්පති ඩී. සිරිනන්ද මහත්මියත් වත්මන් විදුහල්පතිනි තමරා කුමාරි මහත්මියත් ආදරයෙන් මතක් කරනවා.

මගේ ගම ඉහළට ඔසවා තැබීමත් මගේ තවත් අරමුණක්. අපේ ගම දූපතක්. පවුල් 50යි. ජීවත් වෙන්නේ. අපි වගේම වැඩි පවුල් ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මිරිදිය ධීවර කර්මාන්තයෙන්. ගමේ මාර්ග පද්ධතියක්වත් නැහැ. අපේ ගෙදරට වුණත් ත්‍රිරෝද රථයක් එන්න පුළුවන් මාර්ගයක්වත් නැහැ. කොහොම වුණත් මිනිස්සු ජීවත් වෙන්නේ අවුරුදු 70ක් 75ක් විතර. මම වෛද්‍යවරියක් වන විට මටත් අවුරුදු 26ක් 27ක් විතර වේවි. ඉතිරි අවුරුදු 50 තුළ ගමට සේවයක් කිරීමයි. මගේ එකම අරමුණ”

බළපිටිය – දම්සිරි ලියනගේ,

අහුන්ගල්ල – ඒ. සිවනෙත්ති



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/36YK7SR
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();