Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 13කට පෙර ශිෂ්‍යත්වෙන් 200 ගත් චාගි බාසුරු අද ඉන්නා තැන මෙන්න!

දෙදහස් විස්සේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් විය. කොවිඩ් ව්‍යසනය හමුවේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පැවැති ඉන් ජයග්‍රාහකයන් දහස් ගණනක් හා අතිවිශිෂ්ටයන් දස දෙනකු දැයට දායාද කෙරිණි. ඒ ලකුණු 200 උපරිමය ලබාගත් සිසු සිසුවියන් දසදෙනකු බිහිකරලමිනි.

ශිෂ්‍යත්ව ජයග්‍රහණ පිළිබඳව රටම කතා කරන මේ මොහොතේ පහේ ශිෂ්‍යත්ව විභාගයේදී සිසු දරුවකු 200 උපරිමය ලබාගත් මුල්ම අවස්ථාව නිතැතින්ම සිහියට නැඟෙයි. ඒ මීට වසර 13කට ඉහත 2007දීය. එහිදී ලකුණු 200ම ලබා ගැනීමට හොරණ ක/තක්‍ෂිලා කනිෂ්ඨ විද්‍යාලයීය සිසුවෙක් සමත් විය. මෙවර සිසු සිසුවියන් දසදෙනකු විසින් බිඳ හෙළනු ලැබ ඇත්තේ වසර 13ක් පැවැති ඒ වාර්තාවයි. ශිෂ්‍යත්වයෙන් එදා ලකුණු 200 වාර්තාව තැබූ සිසුවා සොයා පසුගියදා අපි හොරණට ගියෙමු.

ඔහු චාගි බාසුරු වීරකෝන් යෞවනයාය.

ඔහු අද කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යානය විශේෂවේදී තෙවැනි වසරේ සිසුවෙකි. අධ්‍යාපන කටයුතු හොඳින් සිදුකළ ඔහු ජීවිතයේ සාර්ථකත්වයට පියනඟමින් සිටියි. විශිෂ්ට ජයග්‍රහණයකට පසු සෙමෙන් සෙමෙන් ඔහු පියමං කළ ආකාරය කුඩා දරු – දැරියනට ආදර්ශ සපයයි.

බාසුරු වෙසෙන්නේ හොරණ, කඳන, තොටුපොළ පාරේ සිය මවුපියන්ගේ නිවෙසේය. ඔහුගේ පියා වන සංජීව වීරකෝන් මහතා මෙන්ම මව වන නදීරා අබේරත්න මහත්මියද අපට හමුවිය. පියා පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු වන අතර මව ගුරු මහත්මියකි. බාසුරුට නැඟණියක් සිටියි. ඇය විදූ වීරකෝන්ය. චාගි අප පිළිගත්තේ සතුටිනි.

මගේ වාර්තාව අවුරුදු 13කට පස්සෙ හරි කඩපු එක ගැන මම සතුටුයි.  ඒ වාර්තාව කැඩුවේ එක්කෙනෙක් නෙවෙයි. දස දෙනෙක්. මම ඒ නංගිලා, මල්ලිලාට සුබ පතනවා. හොඳින් ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනාවා.

අවුරුදු 13කට පෙර ලකුණු 200 හිමි කරගත් ඒ ඓතිහාසික මොහොත ඔහු සිහිපත් කළේ මෙලෙසය.

“මම ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 ගන්න හිතලා තිබුණෙ නැහැ. මට ඕනෑ වුණේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා තක්‍ෂිලාවට (තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයට) යන්නයි. අම්මයි, තාත්තයි මාව උනන්දු කළෙත් ඒකටයි. මම පන්ති ගියේ නැහැ. තක්‍ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේදී වැඩ ටික හොඳින්ම කළා. ඒ වගේම මම ප්‍රශ්න පත්‍රයට පුළුවන් තරම් හොඳින් ලිව්වා. ප්‍රතිඵල ඇවිත් ලකුණු 200ක් ලැබිලා තියෙනවා කිව්වාම ලොකු සතුටක් දැනුණා. මම හොඳින් වැඩ කරපු නිසා නේද හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ කියලත් හිතුණා. අම්මා ගුරුවරියක් හින්දා කොහොමත් ගෙදර අධ්‍යාපන වටපිටාවක් තමයි තිබුණේ.”

ඔහු තම කුඩා අවධිය කරා අප කැඳවාගෙන ගියේය. පාසලේදී දෙන වැඩ මහන්සි නොබලා හොඳින් කළ හැටි සිහිපත් කළේය. ඒ තබා තම මවුපියන් තමා පන්ති ගාණේ නොයැවූ බවද කීවේය.

චාගිට ශිෂ්‍යත්වයේ විශිෂ්ට ජය වාසනාව ගෙන ආවේය. ඔහුට බොහෝ ත්‍යාග හා අනුග්‍රහයන් ලැබිණි. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදෙන ලද අනුග්‍රහයක් යටතේ ඔහුට ජපානයේ සංචාරයකටද අවස්ථාව උදාවිය. ඒ ගැන ඔහු කතා කළේ සතුටිනි.

ශිෂ්‍යත්වයෙන් පස්සේ කොළඹ ඉස්කෝලෙකට යන්න පුළුවන්කම තිබුණා නේද? මම ඇසීමි.

“ඇයි කොළඹ යන්නේ. හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය තරම් හොඳ ඉස්කෝලයක් තියාගෙන? මට ඕනෑ වුණේ තක්‍ෂිලාවට යන්න. අපේ ඉස්කෝලෙ හොඳ නැද්ද? ඔහු මගෙන් ඇසුවේය. එහි ආදි සිසුවකු වන මම ද ඔහුගේ අදහසට එකඟවීමි.

නොයෙක් අය නොයෙක් අදහස් ඉදිරිපත් කළා. ඒත් අම්මයි, තාත්තයි මාව කොළඹ යවන්න හිතුවෙ නෑ. චාගි කීවේය. කොළඹ පාසලකට තම දරුවන් ඇතුළත් කිරීමට දඟලන මවුපියන්ට චාගිගේ මවත් පියාත් සපයා ඇත්තේ කදිම ආදර්ශයකි.

හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ 2008දීය.

මම තක්‍ෂිලාවේදී පිහිනීම කළා. ඒ 2009 අවුරුද්දේ. එතකොට මම 7 වසරේ. මම පිහිනුම් සමාජයේ ආරම්භක සාමාජිකයෙක්. අපි හුඟක් ජයග්‍රහණ අරගෙන තියෙනවා. කලාප, දිස්ත්‍රික් මට්ටම්වලදී අපි ජයග්‍රහණ හුඟක් අරගෙන තියෙනවා. මම දැන් කැම්පස් එකේදීත් පිහිනීම කරනවා.

තක්‍ෂිලාව පිහිටා ඇත්තේ ඔහුගේ නිවෙස කිට්ටුවය. ඒ නිසා ඔහුට කාලවේලාව ඉතිරි කර ගැනීමටද හැකි විය. පාසලේ කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතු සමබරව පවත්වා ගැනීමටද ඉන් හැකි විය.

“ඇත්තටම ලකුණු 200 ඔබට පීඩනයක් වුණේ නැද්ද?

“නෑ. තක්‍ෂිලාවෙදී මට මගේ යාළුවො, ගුරුවරු, විදුහල්පතිතුමා සැලකුවේ සාමාන්‍ය කෙනකුට වගේ. ඒ අය මගෙන් අතිවිශේෂ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. මම අනෙක් යාළුවො එක්ක සෙල්ලම් කළා. විනෝද වුණා. මම කිව්වේ මම හත වසරේ ඉඳන් පිහිනුම් කළා කියලා. ගොඩක් ඒ පැත්තට තමයි නැඹුරු වුණේ. අපි අම්බලන්ගොඩ, මීගමුව ප්‍රදේශවල තරගවලටත් ගියා. මම මුහුදෙ පිහිනුම් තරගවලටත් සහභාගි වෙලා තියෙනවා. චාගි අතීතය සිහිපත් කරමින් තම පාසලට තුති පිදුවේය.

අපේ ඉස්කෝලේ මට සාමාන්‍ය දරුවෙක් විධියට සලකපු එකට ස්තූතිය පළ කරන්න ඕනෑ. ඒ හින්දයි කිසිම පීඩනයක් නැතිව වැඩ ටික කරගන්න මට පුළුවන් වුණේ.

මේ අවස්ථාවේ චාගිගේ පියාද කතාබහට එකතු විය.

අපි චාගිව කොළඹ පාසලකට යවන්න හිතුවෙවත් නෑ. චාගිට එහෙම යන්න ඕනෑකමක් තිබුණෙත් නැහැ. එයාට ඕනෑ වුණේ හොරණ තක්‍ෂිලාවට යන්නයි. අපිට පේන දුරක අපේ ගහකොළ වටපිටාවත් එක්ක ඉන්න අපි චාගිව තක්‍ෂිලාවට යැව්වා. අපි හිතන්නෙ ඒක සාර්ථක වුණා කියලයි.

චාගි 2013දී සා/පෙළ ලිව්වේය. බොහෝ දක්‍ෂතා ඇති සිසුන්ට තෝතැන්නක් වූ හොරණ තක්‍ෂිලාවේ ඒ-9ක් ගත් සිසුන් රාශියක් අතර චාගි බාසුරුද විය.

මම ගණිත අංශයෙන් තමයි අ.පො.ස. උ.පෙළ හැදෑරුවේ. තක්‍ෂිලවේ ගණිත අංශය විශේෂ එකක්. දක්‍ෂ සිසුන් රාශියක් එහි ඉන්නවා. මම මැත්ස් කළේ ‘ඉන්ජිනියර්’ කෙනෙක් වෙන්න නෙවෙයි. මට ඕනෑ වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව කරන්න. 2016 අවුරුද්දේ මම අ.පො.ස.

උ. පෙළින් B-3ක් ගත්තා. ඒ ප්‍රතිඵලය නිසා මාව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තේරුණා.

එහිදී ද චාගි අපූරු තෝරා ගැනීමක් කළේය. ඒ සංඛ්‍යානය විශේෂවේදී උපාධිය හැදෑරීමය. තමා ආස කරන, තමාට කළ හැකි විෂය ක්‍ෂේත්‍රයක කටයුතු කිරීමයි. ඒ

බොහෝ සිසුහු නොයෙක් බලපෑම් නිසා තමන්ට කළ නොහැකි ක්‍ෂේත්‍ර තෝරා ගනිති. ඒ අතින්ද චාගි බාසුරු ආදර්ශවත්ය. එය ‍ෙදාස්තරලා හා ඉන්ජිනේරුවන් පමණක් බිහි කිරීමට වෙර දරන මවුපියන්ටද පාඩමකි. ඉන්ජිනේරුවකු, ‍ෙදාස්තරවරයකු නොව පිරිපුන් මිනිසකු බිහි කිරීමට චාගිගේ මවුපියන් ඔහුට මඟ පෙන්වා තිබිණි.

මට ලොකු ඉලක්ක නැහැ. මට ඕනෑ මගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරලා අනාගතයේදී රටට වැඩක් කරන්නයි.

අලුත් නංගිලා මල්ලිලා තවම ඔබට හම්බ වුණේ නැද්ද?

තාම නැහැ. මම හිතන්නෙ මේ කොවිඩ් ව්‍යසනය හින්දා ඒ විදිහෙ හමුවීමක් නොවෙන්නත් පුළුවනි. ඒ අය හම්බවෙලා කතා බහ කරන්න බොහොම ආසාවෙන් බල බලා ඉන්නවා. එවන් සොඳුරු අවස්ථාවක් හැකි ඉක්මනින් උදාකර දෙන හැටියට අපි අධ්‍යාපන බලධාරීන්ගෙන්  ඉල්ලා සිටිමු.

මෙවර විශිෂ්ටයන් දස දෙනාට වගේම අනිත් නංගිලා මල්ලිලාට මොකක්ද කියන්න තියෙන්නේ?

මහන්සියෙ ප්‍රතිඵල ඒ අයට ලැබිලා තියෙනවා කියලයි කියන්න තියෙන්නේ. කොවිඩ් ව්‍යසනයෙන් සියලු කටයුතු ඇනහිටලා තියෙන වෙලාවක ලකුණු 200න් 200ම ලබාගෙන වාර්තාවක් තියන්න පුළුවන්වීමම හුඟක් වටිනවා. ඒ අභිමානය නිහතමානීව දරාගෙන ඉදිරියට යන්න. ඉදිරියේදී තව විභාග රාශියක් මුණ ගැහෙනවා. ඒවා හොඳින් ජය ගෙන රටට වැඩදායක පුද්ගලයන් වීමට රටට සේවය කිරීමට ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ විභාගයෙන් යම් අඩුපාඩුවක් ඇති වුණ අය ඉදිරි විභාග හොඳින් කරන්න. ඒකට ධෛර්යය ගන්න කියලත් කියන්න ඕනෑ. චාගි කියා සිටියේ නිහතමානීවය.

චාගි ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා!

සටහන – චන්දන සමරවික්‍රම



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/35UVImV
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();