Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මනෝරත්නගේ විචාර භූමිකාව

 

ආචාර්ය ජයලත් මනෝරත්නට ආචාර්ය උපාධි දෙකක් සතුය, පළමුවැන්න ඔහු තම ප්‍රථම උපධිය ලැබූ පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙනි. ඔහු විසින් ශ්‍රී ලාංකේය සමාජයට සම්ප්‍රදානය කරන ලද කලාත්මක හා නිර්මාණාත්මක කාර්ය භාරය අගයමින් පුදන ලද සාහිත්‍යසූරී ගෞරව උපාධිය ඉන් පළමුවැන්නයි. (D.Litt) දෙවැන්න ඔහු විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයට ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රීය නිබන්ධය, සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය වෙනුවෙන් ඔහු ලබා ගත් දර්ශනසූරී  ( Ph.D)උපාධියයි.

මනෝට පිරිනැමුණු හා මනෝ විසින්  දීර්ඝ පරයේෂණ ව්‍යායාමයකින් පසු  ලබාගත් උපාධි පිළිබඳ එකවර මා මතකයට නැගුණේ අහම්බෙන් මෙන් මීට වසර හතළිස් හයකට පමණ පෙර දවසක මගේ දෙවන කාව්‍ය සංග්‍රහය වූ 'පාර වසා ඇත' (1974) කෘතිය කියවා ලිපියක් මගින් මා වෙත එවන ලද විචාරය මා අතට පත් වූ බැවිනි. අප දන්නා මනෝරත්නගේ රංගන, ගායන, නිරූපණ කුසලතා අතර, සාහිත්‍ය විචාරකයාගේ භූමිකාවෙහි ආරම්භක ලකුණු ද, එකී ලිපියෙහි ඇතුළත්ව තිබිණැයි අද දවසේ මට හැඟුණු බැවිනි.

මිතුරකුගේ නිර්මාණ කාර්යයක් පිළිබඳ වුව, ඔහු එදා පැවසූ කරුණු කාරණා දෙස උපේක්ෂාවෙන් ආවර්ජනය කරන කල, අපගේ මිතුරු සමාගමය තුළ පැවති එකිනෙකා පිළිබඳ අවබෝධය, මිත්‍රත්වය අමතක කොට නිර්මාණයෙහි අඩුපාඩු දැක්වීම, එම අඩුපාඩු මිත්‍රශීලීව භාරගැනීම වැනි ගුණාංග අප සතුව පැවතුණා නොවේදැයි කල්පනා වේ. 1971 දී මනෝ සුනිල් සමග 'දොළොස් මහේ පහන' සමූහ කවි පොත පළ කිරීමෙන් අනතුරුව, මගේ පළමු කාව්‍ය සංග්‍රහය 'කැටපත් පවුර' 1972 දී පළ විය. 'පාර වසා ඇත' දෙවන කවි එකතුවයි. එදවස අප නුගේගොඩ හයිලෙවල් පාරේ 221 කුලී නිවෙසෙහි සිටි අතර, මනෝ හා ඔහුගේ සරසවි හා නාට්‍ය සගයා වූ දිගා (නිශ්ශංක දිද්දෙණිය) ගේ බෝඩිම තිබුණේ නුගේගොඩ ජම්බුගස්මුල්ල පාරේය.

මනෝ ඒ දිනවල වරාය කොමිෂන් සභාවේ රැකියාව කළ අතර, මා රැකියාව කළේ ජාතික ලුණු සංස්ථාවේය. ඔවුන්ට අපේ නිවෙස ඔවුන්ගේ නිවෙසක් බවට පත් වූයේත්, බෝඩිම මගේ ද බෝඩිමක් බවට පත් වූයේත් අප තිදෙනාම සම්බන්ධ වී සිටි නාට්‍ය කිහිපයකම කටයුතු කළ බැවිනි. මනමේ, සිංහබාහු, මහාසාර, රතු හැට්ටකාරී ඉන් ප්‍රධාන වේ. මේ ලිපියේ පසුබිම එසේය. මනෝගේ අත් අකුරින් තීරු හයක් පුරා ලියූ සටහන මා ළඟ සුරැකිව තිබුණේ කෙසේදැයි නොදන්නා මුත් අද දින එය කියවන කල ශෝකය මුසු සතුටක් දැනෙන බව සටහන් කළ යුතුය. ලිපිය එලෙසින්ම පහත ඉදිරිපත් කරන්නේ එදවස තවත් සොඳුරු මතකයකට ඔබ ද කැඳවමිනි.

උද්ධෘතය

දයාබර බුද්ධිට

1974 සැප්.11 දා උදේ

ඒ තරම් සැර අව්වක් තිබුණු උදෑසනක් නෙවි අද. වැහි මන්දාරම. අහස ටිකක් කළුවෙලා. උදේ පාන්දරින්ම කන්තෝරු දුවන ගමන් බුද්ධිලගෙ ගෙට ගොඩ වුණේ මොකක්දෝ පණිවිඩයකට.

පාර වසා ඇත

මොහොතකින් මගෙ දෑතට.

අද ජීවිතේ තවත් සුභ - වැදගත් දවසක් කියල මට හිතුණෙ ඒ වෙලාවෙදියි. පරිත්‍යාගයට බුද්ධිට පිං.

ඒත් මේක අපි හැමෝගෙම ජයග්‍රහණයක් කියල මට හිතෙනව. අපි හිතවත් කොල්ලො කෙල්ලො ටික යන්නේ එකම ගමනක්. ගමන් කරන මාර්ග වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි පතන අවසානය එකම විදියයි. හැමෝම එතැනදි එකතු වෙනව. ඒ යන ගමනෙදි 'පාර වසා ඇතත්' බුද්ධි කීව වගේ ඒ කඩුළු වැට ඉබේම සුනුවිසුනු වෙලා අපට ඉඩ පාදාවි.

බුද්ධිගේ 'පාර වසා ඇත' කියෙව්වෙ උතුරා යන සතුටකින්. මමම මහන්සි වෙලා නෙළා ගත්තු ඵලයක් වගේ. ඒ සතුට විස්තර කරන්න මම පෝසත් නෑ. පාළු රැයක අහස දිහා බලන කොට නෙත ගැටෙන ලස්සන හඳ තීරුවක් වගේ. බුද්ධිගෙ කැටපත් පවුර මට ලැබුණෙ නුවරඑළියෙ ඉන්දෙද්දි. මට මතකයි එය කියැවූ දිනත් ඔබට ලිපියක් එවුවා. දැන් පාර වසා ඇත.

මුල් වටය මම කියෙව්වෙ 113 බස් එකේදි. කොතරම් තදින් හා සතුටින් මගේ හිත, ඒ කවි බැඳ ගත්තද කියල ඔබට කියන්නට ඕනෑ නෑ. නුගේගොඩත්, කොටුවත් අතර මම වෙනදා දකින සෙනඟ, බස් නවතුම්, පෝස්ටර්ස්, රථවාහන, ගෙවල් දොරවල් කිසිම දෙයක් අද ඒ මොහොතෙ දි දැක්කෙ නැති බවත්, කොහේදෝ අපූරු ලෝකයක මා පාවුනු බවත් පමණක් ඔබට කියන්නම්.

දෙවන වටය කියෙව්වෙ කාර්යාලයේදි.

ඒ ඉවරවුණු ගමන්මයි මේ ලියන්න ගත්තෙ.

එකපාරටම හිතට ආපු අදහස් පහු වෙන කොට වෙනස් වෙයි කියල බය හිතෙන නිසයි දාහක් ෆයිල්ස් ඈතට වීසි කරල 'පාර වසා ඇත' ගැන පමණක් මේ හිත හිතා ලියන්නෙ. ඉස්සර වෙලාම කිවයුතු කරුණ, කැටපත් පවුරට වඩා දීර්ඝ පියවරක් පාර වසා ඇත මගින් ඔබ තබා ඇති බවයි. දීර්ඝ කියන වචනයෙන් ඔබට මොනව හිතේවිදැයි මට හිතන්ට බෑ. ඒත් කැටපත් පවුරට වඩා සිය දහස් ගුණයකින් මසිත බැඳ ගත් කවි සංකල්පනා මේ පොතේ අඩංගු වී තිබෙන බව කියන්ට ඕනෑ. කැටපත් පවුර ඔබේ ධෛයර්යවන්ත එක් පියවරක් වුණත්   දොළොස් මහේ පහන තරම් සාර්ථක වුණේ නෑ. ඒ හිතෙන්නෙ මටයි. කොහොමටත් කැටපත් පවුර තරු පායපු රැයක් වගේ. පාර වසා ඇත හඳ පායපු රැයක් වගේ. මං දන්නෙ නෑ ඊට වඩා.

සිතුවිලි රසවත්ව කවියක විදියට දෙන්න පුළුවන් ලස්සන භාෂා රටාව කවදත් පුරුදු විදියට මේකෙත් තියෙනව. හැම කවියක්ම එකින් එක කම්මැළි නැතුව ආසාවෙන් කියවන්න පුළුවන්. හොඳ පින්තූරයක් පැය දෙකක් ප්‍රේක්ෂකයා බැඳ තබාගන්නව වගේ. කවි පොතක පිටු හුඟක් අඩු වුණත් කම්මැළි නැතුව ඒ ටිකවත් කියවගෙන යන්න ඒව හොඳ රසවත් භාෂාවකින් සරසන්න ඕනෑ. ඒ වගේම විවිධත්වයක් තියෙන්නත් ඕනෑ. විෂය වෙනස් වෙන්නත් ඕනෑ. එක පුද්ගලයෙක් ලියන කවි සමහරවිට එකම විදියෙ අත්දැකීම් නිසා එකම රටාවක් ආරක් ගන්න පුළුවන්. ඒත් පාර වසා ඇත ඊට වඩා ගැඹුරු විදියට හිතල විවිධ රස ඉස්මතුවෙන විදියට කවිපේළි යොදාගෙන තියෙනව.

ඉස්සොරෝම මට පෙනෙන අසාර්ථකම දෙය ප්‍රේමයට ආදරයට තැනක් දීමට දැරූ වෑයමයි. වරදවා හිතන්න එපා, අපි කොච්චර අත් දුටුවත් කාල්පනික ලෝකයේ සැරිසැරුවත් ආදරය ගැන ප්‍රේමය ගැන අපි ලියන දේ ටික කලකින්ම අපිට එපා වෙනව. අද අපි ආදරය ගැන ලියන දේ ගැන හෙට අපි ලජ්ජා හිතනව. ඉතිං ආදර කවි ගැන බුද්ධදාස ගලප්පත්ති වැනි කවියෙක්, තරුණයෙක්, ආදරවන්තයෙක් හුඟක් පරිස්සමින් ලියන්න ඕනෑ. මිනිස්සු ඔබෙන් බලාපොරොත්තු වෙන දේ ඔබ තේරුම් ගන්න ඕනෑ. ආදරය ගැන, විවිධ අර්ථකථන දීම ගැන නොවෙයි මම මේ කියන්නෙ.

මා අගයකරන, සිත්ගත්, සාර්ථකම උසස්තම රසවත්ම නිර්මාණය 'පාර නොවසන්න' කවි පෙළයි. ඔබේ පමණක් නොව අප හැම දෙනාගේම මුළු ජීවිතයටම ජීර්ණ වුණු උත්තරීතර විමුක්තිය සොයාගෙන යන ගමනෙදි, සිත් තුළ නැංවෙන දෝංකාරය ඔබේ ඒ කවි පෙළින් ධ්වනිත වෙනවා. කවදා හෝ මේ අනතුරු ඇඟවීම අපි කළ යුතුයි. අපි නැති වුණත් අපේ තැන ගන්න උතුම් විප්ලවවාදීන් මේ කාර්යය සාර්ථකව ඉටු කරනු ඇත. ඔවුන්ගේ හඬත් ඔබේ කවි පෙලින් ඉස්මතු වී ඇත. සමකාලීන තරුණ විප්ලවවාදී විඥාණය ඔබේ මේ කවි පෙළේ හුඟක් සාර්ථකව සංක්ෂිප්තව රසවත්ව අඩංගු වෙලා තියෙනව

'සහෝදරයකුගෙන් අසමි' මම තේරූ දෙවන උසස්තම නිර්මාණයයි. වර්තමාන දූෂිත අසාධාරණ අත්තනෝමතික පාලනය අපට අණ කරන ඊනියා සංවර්ධනය, ඔබේ උපහාසාත්මක හා ශෝචනීය කවි සිතුවිලිවලට හසු වුණු අයුරු ප්‍රශංසනීයයි. තරුණ පෙළ ගැන උපන් දයාව ඔබ විඳි අයුරින්ම පාඨකයා ද විඳගන්නා බව සක් සුදක් සේ පැහැදිලියි.

තුන්වන තේරීම 'දියණියකගේ ආයාචනයයි.' සුලබ සිද්ධියක් දුලබ අත්දැකීමකට හසුකරවා, කාව්‍යාත්මකව ඉදිරිපත් කිරීම සාර්ථකයි. කාව්‍ය මාධ්‍යයෙන් මෙවන් පුවතක් සාර්ථකව පළමුවරට මා දුටුවේ ඔබේ පොතෙන්. 'කුසුමලතා' කවිපෙළ ආසාවෙන් කියවාගෙන ගියත් අවසාන වුණේ හිතේ තෙරපෙන බරකින්. ඊට හේතුව සමකාලීන දවන ප්‍රශ්නයක් මනා ලෙස කවි සිතුවිල්ලකට හරවා අවසානය අනපේක්ෂිත අයුරකින් ප්‍රශ්නයෙන් පලා යෑමට තැත් කිරීමයි. 'කවියා සමාජ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුමය.'යි නීතියක් නැතත් මෙවැනි හද සසල කරවන පුවතක අවසානය පාඨකයාගේත් හද සසල කරවීම ඇත්තටම වරදක්.

මේ අවස්ථාව ගැන වඩා විස්තර වශයෙන් කියනව නම්  'පුතුනි සමා වුව මැන' කවි පෙළ එක්ක කුසුමලතා සංසන්දනය කරන්න ඕනෑ. ඒ අතින් පුතුනි.... කවි පෙළ සාර්ථකයි ඉහළින්ම. ඊට හේතුව එහි දැක්වෙන මව, එම තත්වයට පත් වූ අයුරු ගැනත් දැන් ඒ ජීවිතය ගත කිරීමේ හේතු ගැනත් හොඳින් විග්‍රහ වෙන එකයි. එහි දැක්වෙන්නේ ඒ හේතුවත් හේතුව නිසා උද්ගත වූ තත්වයත් පමණයි. ඒත් කුසුමලතාහි අවසානයේ දී කවියා නඟන ප්‍රශ්නය එම කවි පෙළට හානි වී තිබෙනවා.

කවියාගේ සොඳුරියට, අශෝකමාලාගෙන් ලියුමක්, පාපොච්චාරණය, සරසවිය පුනරුත්ථාපනය, පෙම්වත ආදී කවි ඉතාම උසස් ගණයේ ඒවා විදියටයි මම සලකන්නෙ. පෙම්වත කවි පෙළ ඉතා හොඳ දහසක් සාර්ථකව කවියට නැඟූ අවස්තාවක්. ඒත් එහි අවසානයටත් මම කැමති නෑ. ඊට වඩා සමාජ යථාර්ථී පිළිතුරක් දෙන්නෙ නැත්තේ ඇයි? 'තොටියාගේ ගීතය' අලුත්ම අත්දැකීමක්. මාතෘකාවක් නැති කවිය, රවිශන්කර්, රත්නපුර නගර ශාලාවේ දී ආදී කවි මා සිත් ගත් අනෙක් රචනා.

දැන් නම් වෙලාව 11.30 යි. උදේ වරුවෙම අද කාර්යාලයේ වැඩ මේක තමයි. ඒත් කවදාවත් නැති තෘප්තියකින් ගත කළ උදෑසනක්. කවදත් බුද්ධිගේ වැඩවලට අවංකව අත හිත දෙන නිසයි ඒ කාලය උදාර විදියට ගත කළේ. මා හොඳ නරක ලිව්වේ මට හිතෙන විදියටයි. රස විඳීම එකින් එක්කෙනාට වෙනස් වෙනව නේ? කොහොමටත් 'හරිම ටොප් පොත' කියල සයිලන්ස් නොවී, ඇහැට හිතට හසුවෙන වැරදිත් මම කීවෙ, බුද්ධිටත් බුද්ධිගේ කවිවලටත් තියෙන ආදරය නිසයි.

කොයි හැටි වුණත් පාර වසා ඇත ධෛර්යවන්ත උසස් නිමැවුමක්. කාලය අනුව බලන කොටත් ඒක දැඩි පියවරක්. බුද්ධිගෙ සාහිත්‍ය කලා කටයුතු දිනෙන් දිනම වැඩි දියුවෙන්නට පැතුම් මනෝගෙන්.

ආයිත් හවසක හමුවෙලා මේ ගැන කතා කරමු, බීර බිබී (වැරදුණා ගල් ... බිබී)

සොමියෙ

හඳ එළියෙ

එතකොට තව අදහස් එළි වෙයි.

ඔබේ පොතේ නම

පාර වසා ඇත

වුණත්

ඔබේ ඉදිරි ගමනට

පාර වසා නැත.

මනෝ 74.09.11

(උද්ධෘතය අවසන්)

 

 

බුද්ධදාස ගලප්පත්ති

bgalaps@gmail.com

 



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();