Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කබඩි මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරීමට සභාපති හෙට වංචා විමර්ශන ඒකකය ඉදිරියට

නීතිපති උපදෙස් මත වංචාවට සම්බන්ධ නිලධාරීන් 2කට තහනමක්

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරීමට එම සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා බොරැල්ලේ පිහිටි විශේෂ වංචා විමර්ශන ඒකකයට හෙට පෙරවරුවේ කැඳවා ඇත. කබඩි සම්මේලනයට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදලක් නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමට බැර කිරීම හා ඉන්දියාවේ පැවැති 12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී ජයග්‍රහණයන් වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම උදෙසා සම්මේලනයට ලබාදුන් රුපියල් 450,000ක මුදල අදාළ පුහුණුකරුවන්ට නොගෙවීම සම්බන්ධව කබඩි සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙලෙස කැඳවා ඇත.

මේ සම්බන්ධව කබඩි සභාපතිවරයාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී සඳහන් කළේ කබඩි මූල්‍ය වංචාව හෙළි කර ගැනීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවය.

“ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සමග කබඩි සම්මේලනයේ කටයුතු පිළිබඳ සාකච්ඡා කළා. ඇමැතිතුමා මේ මූල්‍ය වංචාව සම්බන්ධව කරුණු දැනගත් වහාම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන්නා. ඒ අනුව දැන් පරීක්ෂණය යළි සිදු වෙනවා. මෙයට මාස කිහිපයකට උඩදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙන් පැය 6ක් ප්‍රශ්න කළා. එහිදී අවශ්‍ය සහයෝගය දුන්නා” පතිරණ මහතා පැවැසීය. මේ සම්බන්ධව දින තුනකට පෙර කබඩි ලේකම් ආර්. සහීවන් මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි ඒ මහතා පැවැසීය.

මේ සම්බන්ධව පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී හෙළි වූ කරුණු අනුව කබඩි ලේකම්වරයකුට හා උප ලේකම්වරයකුට ජාතික ක්‍රීඩා සංගමයක හෝ ක්‍රීඩා කමිටුවක සාමාජිකයකු වීමට, ජාතික ක්‍රීඩා සංගමයට අනුබද්ධ ක්‍රීඩා සංගමයක සාමාජිකයකු වීමට හෝ නාමිකයකු වීමට හෝ ජාතික සංගමයක කිසිදු නිලතලයක් දැරීමට නොහැකි වන පරිදි ජීවිතාන්තය දක්වා තහනමක් ක්‍රීඩා අමාත්‍යාංශය පනවා තිබිණි.

පසුව තහනමට ලක් වූ නිලධාරීන් දෙදෙනා හිටපු ක්‍රීඩා ඇමැතිවරයකුට අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර එය සලකා බලා‍ තහනම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබිණි. එහෙත් මෙලෙස තහනම ඉවත් කිරීම නීති විරෝධී බවට නීතිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දීමෙන් පසු යළිත් වංචාවට සම්බන්ධ යැයි පවසන නිලධාරීන් දෙදෙනාගේ තහනම ක්‍රියාත්මක විණි.

කබඩි සම්මේලනයට ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදලින් වියදම් කිහිපයක් කපා ඉතිරිව ඇත්තේ රුපියල් 754, 908ක මුදලක් බවත් එයින් අදාළ නිලධාරීන්ට රුපියල් 510,000ක මුදලක් ගෙවා ඇති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී චෝදනා ලත් කබඩි ලේකම්වරයා හා උප ලේකම්වරයා පවසා තිබිණි. එහෙත් අදාළ මුදල් සංගමයේ ගිණුමට ලැබී නොමැති හෙයින් එම මුදල, වහාම බැරකළ යුතු බව හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතාගේ අස්සනින් කබඩි සම්මේලනයට ලිඛිතව දැනුම්දී ඇත. පරීක්ෂණය පැවැත්වෙද්දී මාසයකට අධික කාලයක් එම මුදල් පෞද්ගලික ගිණුමේ රඳවා තබා ගැනීමෙන් ලබන පොලී මුදල් ගණනය කොට සංගමයේ ගිණුමට බැර කරන ලෙස ද හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දුන්නේය.

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී ජයග්‍රහණයන් වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම උදෙසා සම්මේලනයට ලබාදුන් රුපියල් 450,000ක මුදල අදාළ පුහුණුකරුවන්ට නොගෙවා ඇති බැවින් එය ගෙවීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන් අතර මුදල් ගෙවීමට අසමත් වුවහොත් වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කරන බවද ල්ඛිතව දැනුම්දීමට හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවර ගෙන තිබිණි.

කබඩි සම්මේලනයට ලැබී ඇති මුදල් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම හේතුවෙන් එය මුදල් අවභාවිතාවක් ලෙස සලකා ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුකූලව මුදල් අවභාවිතා වූ සංගමයේ ලේකම්වරයා හා උප ලේකම්වරයාට දඬුවම් නියම කිරීමට පියවර ගත්තේය. එමෙන්ම ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා වහාම ක්‍රියාත්මක වන පරිදි කබඩි සම්මේලනයේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කොට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය. පසුව එම ගැසට් නිවේදනය අහෝසි කොට කබඩි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත් අතර එහිදී සභාපති ලෙස අනුර පතිරණ මහතා ඇතුළු පිරිසක් තේරී පත්වූහ.

ප්‍රින්ස් ගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();