Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2030 වන විට විදුලිය අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් සපයා ගන්න සැලසුම් සකස් කරන්න

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රය මඟීන් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පෙරේදා (14) පැවති සාකච්ඡාවේ දී ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය.

අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ටෙන්ඩර් පරිපාටියෙන් තෝරා ගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළයුතු බව ජනාධිපතිවරයා කීවේය.

ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු බවත් අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළයුතු යැයි ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.

යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14කදි ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ආණ්ඩුව ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබෙන බවත් ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000 ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

සූර්ය බලශක්ති ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ට පමණක් දීමත්, ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවි සමිති වෙත ප්‍රදානය කිරීමත් සුදුසු බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කෙළේය.

පාසල්, කර්මාන්තශාලා සහ රජයේ ගොඩනැඟිලිවල වහලමත සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාව සහ ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත දීමට ඇති හැකියාවත් කෙරෙහි අවධානයට යොමු විය.

මන්නාරම, පුනරින් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සුළං බලාගාර ඉදිකිරීමෙන් ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක් එකතු කර ගැනීම ඉලක්කයකි.

සුළං හෝ සූර්ය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යවසායකයින්ට තිබෙන බාධා ඉවත් කර ආණ්ඩුව සියලු දිරි ගැන්වීම් කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාණය කෙළේය.

දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටී.

මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% කි. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත.

ඇමැති ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්කර යන මහත්වරුන්, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්, රේඛීය ආයතන ප්‍රධානිහූ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();