Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එල්.පී. ගෑස් රැගත් 100 වැනි නෞකාව හම්බන්තොට වරායට

එල්.පී. ගෑස් රැගත් 100 වැනි නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් හම්බන්තොට වරායේ ලාෆ්ස් ගෑස් පර්යන්තයේදී ඊයේ(17) සිදු කෙරුණි.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකර ඇති දේශීය සමාගමක් වන 'ලාෆ්ස් ටර්මිනලස් ලිමිටඩ්' සමාගම ආරම්භ කිරීමෙන් පසු ගෑස් රැගෙන පැමිණි 100 වැනි නෞකාව මෙයයි. ලාෆ්ස් ගෑස් සමාගමට අයත් 'කරේජ්' නමැති නෞකාව ගෑස් මෙට්‍රික් ටොන් 1800ක් රැගෙන හම්බන්තොට වරායේ ලාෆ්ස් ගෑස් පර්යන්තයට පැමිණ තිබේ.

ගෑස් රැගත් 100 වැනි නෞකාව හම්බන්තොට වරායට පැමිණීමෙන් පසු 101 වැනි නෞකාව ද බංගලාදේශයේ සිට හම්බන්තොට වරායේ ගෑස් පර්යන්තයට පැමිණ තිබේ. එලෙස පැමිණියේ 'චැලේන්ජර්' නමැති නෞකාවයි. එම නෞකාව මෙරටින් ගෑස් මෙට්‍රික් ටොන් 3400ක් රැගෙන යළි බංගලාදේශය බලා යෑමට නියමිතය. ලංකාවේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 28ක් සපයනු ලබන්නේ ලාෆ්ස් ගෑස් සමාගම විසිනි. මෙහිදී පැවැති උත්සවය අමතමින් ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා,

''දකුණු ආසියාවේ විශාලතම සහ නවීනතම එල්.පී.ජී. ආනයන අපනයන හා ප්‍රථි අපනයන ස්ථානය මෙම හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර මාස 14ක් ඇතුළත පැමිණි 100 වැනි නැව අපගේ ගෑස් පර්යන්තයට පැමිණීම සැමරීමට ලැබීම සතුටට කරුණක්.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ ඉතාමත් වැදගත් සුවිශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් වුවත් පසුගිය කාලය පුරා ඒ සඳහා ආර්ථිකමය වශයෙන් ආයෝජනය කළේ ඉතා සුළු ප්‍රමාණයයි. දේශීය සමාගමක් විදියට අපි 2016 වසරේදී මේ ස්ථානය තෝරාගෙන මේ කලාපයේ තියෙන විශාලම හා නවිනතම ගෑස් ප්‍රති අපනයන පර්යන්තය නිර්මාණය කළා. එලෙස ආරම්භ වූ මෙම ආයතනය 100 වැනි ගෑස් නැව අපේ පර්යන්තයට අද පැමිණියා. මේ වෙනකොට ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මේ පර්යන්තය තුළින් ආනයනය හා අපනයනය කරලා තිබෙනවා. ඒ තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 76ක වෙළෙඳ කටයුතු සිදු කර තියෙනවා. මේ හරහා මේ වන විට ශ්‍රී ලංකාව එල්.පී. ගෑස් ප්‍රථි අපනයනය කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් සමත් වී තිබෙනවා. ඒ වගේම වෙළෙඳ නැව් මධ්‍යස්ථානයක් බවටත් අද හම්බන්තොට පත් වෙමින් යනවා. විශේෂයෙන්ම ලාෆ්ස් ගෑස් සමාගම සතු නැව් තුළින් මේ කලාපයේ තිබෙන බංගලාදේශය, මියන්මාරය, අප්‍රිකාව හා ඉන්දියාව වැනි රටවලට ප්‍රධාන වශයෙන් ගෑස් අපනයනය කරනවා. ඒවගේම මේ ආයතනය ආරම්භ කිරීම තුළින් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරන්න අප සමත් වුණා වගේම, අපේ රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකික ආර්ථික සංවර්ධනය උදෙසා මෙය ඉතා වැදගත් දෙයක්'' යැයි පැවසිය.

මේ අවස්ථාව සඳහා හම්බන්තොට වරාය සමාගමේ රේ රෙන්, ලාෆ්ස් ගැස් සමාගමේ උප සභාපති, තිලක් ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

නුවන් ජයසේකර

සූරියවැව විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();