ලබන සැප්තැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන 13 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 (අයිපීඑල්) ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. ඒ කොරෝනා වසංගතය හේතුවෙන් තවමත් එරට දේශ සීමා වසා දමා ඇති අතර, විදෙස් ගමන් සඳහා අවසර ලබාදී නැති වීම හේතුවෙනි. ඒ අනුව ඒ.බී. ඩිවිලියර්ස් ඇතුළු ක්‍රීඩකයන් 10 දෙනකුට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් මේ තරගාවලියට එක්වීමට තවමත් අවසර හිමිව නැත.
එරට තුළ කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවක් සිදුව නැති අතර, මේ හේතුවෙන් ගුවන් ගුවන් මෙහෙයුම් ආරම්භ කළ හැකි දිනයක් තවමත් තීරණය වී නැත. හදිසි අවස්ථා සඳහා පමණක් විදේශ සංචාර සඳහා අවසරදී තිබේ.
මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් විය හැකි නමුත් අයිපීඑල් තරගාවලියට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතය.
මෙලෙස තරගාවලියට එක්වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට නොහැකි වුව හොත් ඉන් වැඩිම පාඩුවක් සිදු වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්වලටය. මේ කණ්ඩායම් දෙකටම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තිදෙනක් බැගින් එක්ව සිටිති.
ඒ.බී. ඩිවිලියර්ස්, ක්‍රිස් මොරිස්, ඩේල් ස්ටේන් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්), ෆෆ් ඩු ප්ලෙසිස්, ඉම්රාන් තාහීර්, ලුන්ගි එන්ගිඩි (චෙන්නායි සුපර් කිංග්ස්), කගිසෝ රබාඩා (දිල්ලි කැපිටල්ස්), ක්වින්ටන් ඩි කොක් (මුම්බායි ඉන්දියන්ස්), හාඩස් විල්ජොයින් (කිංග්ස් පන්ජාබ්) සහ ඩේවිඩ් මිලර් (රාජස්ථාන් රෝයල්ස්) දකුණු අප්‍රිකාවෙන් මෙවර තරගාවලියට එක් වීමට නියමිතය.
අයිපීඑල් තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
0 Comments