කොරෝනා වසංගතය පාලනයට සහාය දැක්වීමේ අඛණ්ඩ වෑයමේ කොටසක් ලෙස මෙරට විශේෂ රෝහල් තුනක COVID-19 නිරෝධායන ඒකක අලුත්වැඩියා කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට (MOH) සහාය විය.
ළමුන් සඳහාවන රිජ්වේ ආර්යාව රෝහල, කාන්තාවන් සඳහාවන කාසල් වීදියේ රෝහල සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ නිරෝධායන ඒකක පිහිටුවන ලදී. COVID-19 රෝගීන් නිරෝධායන කිරීම සහ ප්‍රතිකාර කටයුතු වේගවත් කිරීමෙ කොටසක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම රෝහල් හඳුනාගෙන ඇත.
යුනිසෙෆ් ආයතනය තාක්ෂණික විශේෂඥතාවයෙන් සහ ජපාන රජයෙන් රුපියල් මිලියන 5 කට ආසන්න අරමුදල් සම්පාදනය කළේය. නවීකරණ කටයුතු සඳහා ඉදිකිරීම් සහ ශ්‍රමය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයන ලදී.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් යුනිසෙෆ් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිහාම් මහත්මිය මෙසේ පැවසුවාය. “කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකා රජයට අඛණ්ඩව සහයෝගය දැක්වීම අත්‍යවශ්‍යයි. මෙම රෝහල්වල විශේෂ නිරෝධායන හා ප්‍රතිකාර ඒකක පිහිටුවීම සැබවින්ම සහයෝගී ප්රයත්නයක් වන අතර එයට ජපාන රජයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍ය සහය ලබා ගනී. ”
0 Comments