රාජිත, චම්පික, අර්ජුන හා අනුර කුමාරට ගෝඨාභය ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න ලොකු උවමනාවක් තිබුණා
සේනාධිපති කොමිසමට කියයි
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු පිරිසට නීතිපති දෙපාර්තමේන්තුව අධි චෝදනා 7,573ක් යටතේ නඩුවක් ගොනු කරමින් යළි එය චෝදනා 18ක් දක්වා අඩු කිරීම කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කොමිසම හමුවේ ප්‍රශ්න කර සිටියේය.
ඉන් ගම්‍ය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ බරපතළ නොහැකියාව ද ද්වේශ සහගතභාවය ද යන්න විනිසුරුවරයා කොමිසම හමුවේ විමසා සිටියේය. ආරක්ෂක අමාත්‍යාංශය බාර ඇමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් ලබා දෙන ලද නියෝග නාවික හමුදාව පිළි නොපැදීම බරපතළ වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා, එම කාලයේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වී ඇති සෙයක් පෙනෙන්නට තිබෙන බව ද ප්‍රකාශ කළේය.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ දී එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, ජනපති හැටියට සලකා ක්‍රියා කර තිබෙන බව ප්‍රකාශ කළ කොමිසමේ සභාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද සම්පූර්ණ අනුමැතිය හිමිව තිබූ පාවෙන අවි ගබඩාව නාවික හමුදාව විසින් නීතියට පටහැනි ආකාරයෙන් ක්‍රියා කර අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද පැවසීය.
කොමිසමේ සභාපති විනිසුරුවරයා මේ බව කියා සිටියේ පෙරේදා (03) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉකුත් යහපාලන රජය සමයේ තමාට සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ සාක්ෂි විමසීමක දී ය. සේනාධිපති මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සේනාධිපති මහතාගෙන් ප්‍රශ්න විමසා සිටි අතර ලිපි ලේඛන සීඩී තැටි විශාල ප්‍රමාණයක් සභාගත කිරීම ද එහිදී සිදු කළේය.
එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා කැඳවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තමන් ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට උපදෙස් දෙන ලද ආකාරය සේනාධිපති මහතා කොමිසම හමුවේ අනාවරණය කළේය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයක් අඩංගු සීඩී තැටියක් සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විවිධ මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශවලට අදාළව සීඩී තැටි කොමිසම හමුවේ ක්‍රියාත්මක කරමින් ඔහු ඒ බව තහවුරු කළේය.
එහිදී අනුර කුමාර දිසානායක මහතා එම සාකච්ඡාවේ සිටියේද යන්න සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
(අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්...)
සාක්ෂිකරු- එසේය ස්වාමීනී, අනුර කුමාර දිසානායක මහතා එම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.
විනිසුරුවරයා- ඔහු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිලයක් දැරුවාද?
සාක්ෂිකරු- නැත ස්වාමීනී
විනිසුරුවරයා- හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ධූරය දැරුවාද?
සාක්ෂිකරු- නැත ස්වාමීනි. රනිල් වික්‍රමසිංහ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්වා උපදෙස් ලබා දී තිබුණා. ඒ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයක් මඟින් තහවුරු වෙනවා.
(අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාව ක්‍රියාත්මක කරයි.)
විනිසුරුවරයා- නීතිපති දෙපාර්තමේන්තුවට එම සාකච්ඡාවට සහභාගී වීමේ අවශ්‍යතාවක් තිබුණේද?
සාක්ෂිකරු- එවකට රනිල් වික්‍රමසිංහ මහතා තමයි දේශපාලන වශයෙන් නඩු දැමීමට උපදෙස් ලබා දී තිබුණේ.
විනිසුරුවරයා - මේ බව නීතිපතිවරයා දැනුවත්ව තිබුණේද?
සාක්ෂිකරු- නැත ස්වාමීනී, එවකට සුහද ගම්ලත් මහතා උපදෙස් ලබා දී තිබුණා පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තමාගේ උපදෙස් නොමැතිව නඩු පැවරීමක් නොකරන ලෙසට. ඒ වගේම එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙම පාවෙන අවි ගබඩාව නීත්‍යනුකූලව සිදු කරන්නක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණා. යහපාලන රජයේ ඇමැතිවරුන් ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, නීතිපතිවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට දැඩි බලපෑම් එල්ල කරමින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වුණා.
(ඊට අදාළ වීඩියෝ පට කොමිසම හමුවේ ප්‍රදර්ශනය කළේය.)
සාක්ෂිකරු- එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ යුවන්ජන් විජේතිලක මහතාට පවා නොදන්වා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර විසින් ලබා දෙන ලද උපදෙස් පරිදි රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර ලවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වුණා. එම කටයුත්ත එවකට සිටි සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කළ සුහද ගම්ලත් මහතා විසින් වළකනු ලැබුවා.
විනිසුරුවරයා- ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වූ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව, නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන පදනමින් ද යන්න බරපතළ තත්ත්වයක්. නාවික හමුදාව කටයුතු කර තිබෙන්නේ මුහුදු කොල්ලකරුවන් කටයුතු කරන ආකාරයට.
නීතිඥවරයා- පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යාමට නීත්‍යනුකූල අවසර හිමිව තිබුණාද?
සාක්ෂිකරු - ඇවන්ගාඩ් නෞකාවේ අවි ගාලු වරායේ අවි අංගනයක් වෙත මාරු කිරීම සඳහා අයදුම්පතක් යොමු කළා. ඊට අවසර ලැබුණු බවට ලිපියක් මඟින් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ඇවන්ගාඩ් නෞකාවේ ගබඩා කර තිබූ අවි 817 ම රත්නා ලංකා ආරක්ෂක සමාගමේ අවසරය ලබා ගෙන තිබුණා. නාවික හමුදාපතිවරයාට, අධ්යක්ෂ ජනරාල්වරයාට සහ අනෙකුත් නිලධාරීන්ට එම අවි ගාල්ලේ පිහිටි අවි ගබඩාවේ ගබඩා කිරීමට පහසුකම් සලස්වන්න කියලා උපදෙස් ලබා දී තිබෙනවා.
විනිසුරුවරයා - මෙම අවසරයන් තිබියදී ද නාවික හමුදාව 2015 වසරේ ඔක්තෝබර් 06 වෙනිදා නෞකාව අත්අඩංගුවට ගත්තේ?
සාක්ෂිකරු - මෙම අවසරය තිබිය දී නාවික හමුදාපතිවරයා අත්තනෝමතිකව මෙම නෞකාව නාවික හමුදා බාරයට ගත්තා. නෞකාවේ තිබූ සෑම අවියකටම ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලැබී තිබුණා. එවකට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙම නෞකාවේ කටයුතු නීත්‍යනුකූල බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබූ පසුබිමක තමයි නාවික හමුදාපතිවරයා මෙම වැටලීම සිදු කළේ. එවකට නාවික හමුදාපතිවරයා එවකට ආරක්ෂක ලේකම් වරයාගේ ද උපදෙස් නොතකමින් අත්තනෝමතික ලෙස නෞකාව අත්අඩංගුවට ගැනීම පුදුමයට කරුණක්.
විනිසුරුවරයා - නාවික හමුදාව නෞකාව අත්අඩංගුවට ගෙන කුමක්ද සිදු කළේ?
සාක්ෂිකරු- නාවික හමුදා නිලධාරීන් දින හතරක් මුළුල්ලේ පොලිසියටත් නොදන්වා නෞකාව ඔවුන් බාරයේ රඳවා තබාගෙන කිසියම් හෝ වරදක් සොයන්න උත්සාහ කළා. කෙසේ වුවත් ඔවුනට නෞකාව තුළ එවැනි කිසිදු වරදක් සොයා ගැනීමට නොහැකි වුණා.
විනිසුරුවරයා- ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් නොතකා එවකට නාවික හමුදාපතිවරයා කළ මෙම ක්‍රියාව රජයට කළ නිග්‍රහයක්. නාවික හමුදාපතිවරයා සිදු කළ මෙම ක්‍රියාව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සහ රාජ්‍ය උපදෙස්වලට පිටින් ක්‍රියා කිරීම භයානක තත්ත්වයක් බවයි පෙනී යන්නේ.
නීතිඥවරයා- මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කළාද?
සාක්ෂිකරු- ඔව් ස්වාමීනී, පොදු දේපළ පනත යටතේ නඩුවක් ගොනු කළා. එසේ නඩුවක් ගොනු කිරීම ගැටලු සහගතයි.
නීතිඥවරයා- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණේද?
ඔව් ස්වාමීනි.
විනිසුරුවරයා- ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා කුමන ප්‍රකාශයක් සිදු කළේද?
සාක්ෂිකරු- නැවේ තිබූ අවිවල අවි අංක මකා දමා ඇති බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එවැනි කිසිදු අවියක අවි අංකයක් මකා දමා නොතිබූ බවටත් ලිපියක් මඟින් සහතික කරනු ලැබ තිබූණා. එම නිසා එම ප්‍රකාශය ද්වේශ සහගත ප්‍රකාශයක්. රාජිත සේනාරත්න මහතා විද්‍යුත් නාලිකාවක විකාශය වූ වැඩසටහනකට පැමිණ රජයේ රස පරීක්ෂකවරයාව විවේචනය කළා. ගිනි අවිවල සඳහන් අංකය මකලා කියලා කිව්වා. ගිනි අවියක කොටස් පහක ගිනි අවියේ අංකය යොදා තිබෙනවා. ආණ්ඩුවේ රස පරීක්ෂණ වාර්තාවල සඳහන්ව තිබෙන ආකාරයට ගිනි අවිවල කිසිදු අවි අංකයක් වෙනස් කර තිබුණේ නැහැ. ඇවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් පස් දෙනකුට චෝදනා 7,500 ක් පමණ ගොනු කර තිබුණා.
විනිසුරුවරයා- ඉන් පෙනී යන්නේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ නොහැකියාව හෝ ද්වේශ සහගතව චෝදනා එල්ල කිරීම බවයි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති තෙවැනි වරටත් පෙරේදා (03) සාක්ෂි ලබා දුන් අතර වැඩිදුර සාක්ෂි විමසීම ලබන 08 වැනිදා තෙක් කල් තබන ලදි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමජිකයන් ලෙස හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසේකර, රජයේ අධි නීතිඥ රන්දිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු කොමිසම හමුවේ පෙනී සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කොමිසම හමුවේ පෙනී සිටියේය.
සාක්ෂිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, නීතිඥ අමීර් මහරුෆ් සහ නීතිඥ ෂෙවොන් තිසේරා යන නිලධාරීහු කොමිසම හමුවේ පෙනී සිටියහ.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යළි ලබන 08 වෙනිදා රැස්වීමට නියමිතය.
0 Comments