ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවටත් නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලෝකයෙන් වසන් කළ බවටත් චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් අමෙරිකාව ඉවත් කරගත්තේය.
‘‘චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය පාලනය කරනවා’’ යැයි ඉන් ඉවත් වන බව නිවේදනය කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිරයේදී පෙරේදා (30) පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනෙකුත් සංවිධානවලට හා අරමුදල්වලට සපයන බව ද හෙතෙම කීය.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවේදනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි යුරෝපා සංගමය ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදය මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ලොව රටවල් 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිවගෙන යන සටනට බාධා එල්ල විය හැකි යැයි ද යුරෝපා සංගමය පෙන්වා දෙයි.
දින 30ක් ඇතුළත සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ආධාර සියල්ල නවතා දමන බවටත් අවශ්‍ය නම් එම සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය මාසයේදී අනතුරු ඇඟවීමක් කර තිබිණි.
0 Comments