අමෙරිකාවේ මිනපොලිස් නුවර පොලිස් අත්අඩංගුවේ සිටිය දී කළු ජාතිකයකු මියයාම නිසා රටපුරා ඇති වී තිබෙන නොසන්සුන්තා සහ ප්රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇතත් නොසන්සුන් පිරිස් ඇඳිරි නීතිය නොතකා වීදිවලට බැස කඩ සාප්පු මංකොල්ල කමින්, වාහන ගිනි තබමින්, ගොඩනැඟිලිවලට පහර දෙමින් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිරිස විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිස් කණ්ඩායම් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කර ඇති අතර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ (46) මරණය සම්බන්ධයෙන් තමන් ද කම්පාවට පත් වන නමුත් මැරයන්ට ආධිපත්‍යය පැතිරවීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත
ෆ්ලොයිඩ්ගේ මරණය සිදු කිරීම ගැන චෝදනාව එල්ල වන්නේ සුදු ජාතික 44 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියකු වන ඩෙරික් චෝවින් නැමැති අයකුටය. ඔහු ෆ්ලොයිඩ්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේ බිම දමා විනාඩි කිහිපයක් දණහිසෙන් ගෙල පාගාගෙන සිටි බවත්, තමාට හුස්ම ගැනීමට අපහසු යැයි ෆ්ලොයිඩ් කිහිප වරක්ම කෙඳිරි ගෑ බවත් පැවැසේ. මේ අවස්ථාවේ සිටි තවත් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ද වැඩ තහනම් කර ඇත. ෆ්ලොයිඩ්ගේ මරණය කළු ජාතිකයින්ට එරෙහිව අමෙරිකානු පොලිස් ඝාතන සංකේතවත් කරන බවත් මීට කලින් ෆර්ගසන්වල මයිකල් බ්‍රවුන්ගේ මරණය, නිව්යෝර්ක් නුවර එරික් ගානර්ගේ යන කළු ජාතිකයින්ගේ මරණ සමඟ සන්සන්දනය කරමින් බ්ලැක් ලයිව්ස් මැටර් නම් සංවිධානයේ විශේෂ අවධානයට ද යොමු වී තිබේ.
මිනපොලිස්වල පමණක් නොව අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල කළු ජාතිකයින්ට සිදුවන වෙනස් කොට සැලකීම් සහ සමාජාර්ථික අසමානතා මෙවැනි ක්‍රියාවලින් ඉස්මතු වන බව පෙනෙන්නට ඇත.
ලොස් ඇන්ජලීස් නුවර ප්රචණ්ඩ ක්‍රියා දරුණුවටම පැතිරී ඇති අතර කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රාන්තයේ හදිසි තත්ත්වයන්හිදී කැඳවිය හැකි ජාතික ආරක්ෂක හමුදාව කැඳවා ඇත.
මුළු නගරයට ම ප.ව. 8.00 සිට පෙ.ව. 5.30 දක්වා ඇඳිරි නීතිය පනවා ඇත. කඩ සාප්පු විශාල ගණනක් මංකොල්ලකෑමට ලක් වී ඇති අතර එරට ප්‍රසිද්ධ මෙල්රෝස්, ෆෙයාර්ෆැක්ස් යනාදී සුපිරි වෙළෙඳසල් ද මෙසේ මංකොල්ලකෑමට ලක් වී තිබේ. චිකාගෝ නගරාධිපතිනී ලෝරි ලයිට්ෆුට් පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා ඇති අතර අමෙරිකාවේ නගර 30ක පමණ මේ ආකාරයෙන් කලබලකාරී උද්ඝෝෂණ පැවැතී තිබේ. මේ සිද්ධිය 1992 කෝලහාලවලින් අනතුරුව තමන් මුහුණ දුන් බරපතලම සිද්ධිය යැයි ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙට්ටි කියයි.
පොලීසිය රබර් උණ්ඩ යොදාගෙන වෙඩි තැබීම් සිදුකර ඇති අතර බැටන් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් මර්දනයට පියවර ගෙන ඇත. කලබල සම්බන්ධයෙන් සිය ගණනක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධි කරුණාරත්න
0 Comments