Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුල්ලට වාමාංශික දේශපාලන සලකුණ හඳුන්වා දුන්නේ නීතීඥ මාෂල් පෙරේරා

බදුල්ලට වාමාංශික දේශපාලන සලකුණ හඳුන්වා දුන්නේ නීතීඥ මාෂල් පෙරේරා මහතා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) ප්‍රකාශ කළේ ය.

වාමාංශික දේශපාලනය වෙනුවෙන් මාෂල් පෙරේරා මහතා සිදු කළ සේවව නිමකළ නොහැකි බව ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.

හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ අවමගුල් උත්සවයට සහභාගීවෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

බදුල්ල විල්සන් පාර්ක් ක්‍රීඩංගණයේ දී හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ අවමගුල් උළෙල පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේ ය.

ඩිලාන් පෙරේරා මහතාගේ පියා අද අප අතර නැහැ. නමුත් ඔහුගේ නම හැමදාමත් අපි අතර තිබෙනවා. මාර්ෂල් පෙරේරා මැතිතුමා නීතිඥවරයෙක් විදියට රත්නපුරෙන් ගමන ආරම්භ කරලා බදුල්ලට ඇවිත්,බදුල්ල ජනතාවත් එක්ක එකට වැටිලා ජීවත්වුණු කෙනෙක්. කළුතර ඉපදුණත් ඔහු අවසානයේ නැවතුනේ බදුල්ලේ. මම එතුමාව සෑහෙන කාලයක ඉඳන් අඳුරනවා. මම එක වෙලාවක එතුමාව තානාපතිවරයෙක් ලෙස පත් කරන්න ආරාධනා කළා. ඔහු කිව්වේ 'නැහැ මම බදුල්ල ජනතාවත් එක්ක ජීවත් වෙන්නම්”කියන එකයි. අදටත් මට ඒක මතකයි.

එතුමාට ආණ්ඩුකාරකම ලැබුණු අවස්ථාවේ දී මම පරාජය වෙලා තංගල්ලේ හිටියේ. එතුමා තංගල්ලට ඇවිල්ලා මට මෙහෙම ආරාධනාවක් තියෙනවා කියලා කිව්වා. මම කිව්වා ඉතා ඉක්මනින් භාර ගන්න කියලා. ඒ වගේ හිතවත්කමක් අපි අතර තිබුණා.

වාමාංශික දේශපාලනය බදුල්ලට හඳුන්වා දුන්නේ එතුමා කියලා කිව්වොත් ඒක නිවැරදියි. වාමාංශික දේශපාලනය මඟින් එතුමා කරපු සේවය අගය කළ යුතුයි. විජේවීර වෙනුවෙන් නීතිඥයෙක් වශයෙන් පෙනී ඉඳලා එදා ඔහු හිරබත් කාපු හැටි අපිට මතකයි. එවැනි පුද්ගලයෙක් එතුමා.

එතුමාගේ ආදරණීය බිරිඳ මා ඉගෙනගත් තර්ස්ටන් විද්‍යාලයේ ඉගැන්නුවා. එදා තිබුණු මහා වැඩ වර්ජනය වෙලාවේ ඒ වැඩ වර්ජනයට සම්බන්ධවීම නිසා එයින් ඇය සේවයෙන් ඉවත් වෙලා ගියා. මාර්ෂල් පෙරේරා මැතිතුමාගේ ආභාෂය ඒ පවුලේ දරුවන්ටත්, පවුලේ උදවියටත් තිබුණා කියන එකයි අපි විශ්වාස කරන්නේ. එතුමා පළාත් තුනක ආණ්ඩුකාරවරයෙක් වශයෙන් හිටියා. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ඉන්න කාලේ , අප ගේ ළඟින් යන හැම වෙලාවකම අපේ ගෙදර ඇවිල්ලා කතා කරල යන්න පුරුදුවෙලා හිටියා. එවැනි සම්බන්ධතාවයක් අපි අතර තිබුණා කියන එක අමතක කරන්න බැහැ. පවුලේ සියලූ දෙනාටත් දරු දෙදෙනාටත් නෑදෑ හිත මිතුරන්ටත් අපේ ශෝකය කණගාටුව ප්‍රකාශ කරනවා.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();