Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි අවසන් තීරණයක් නෑ

අධ්‍යාපන-සෞඛ්‍ය-ක්‍රීඩා අමාත්‍යාංශ උපදෙස් අවශ්‍යයි

පාසල් රග්බි සභාපති කියයි

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කිරීමට අධ්‍යාපන, සෞඛ්‍ය සහ ක්‍රීඩා අමාත්‍යාංශ ත්‍රිත්වයේම අනුමැතිය ලැබිය යුතු බව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති, කොළඹ රාජකීය විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

පසුගිය මාර්තු මස පළමු සතියේදී ආරම්භ වූ මේ තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමද්දී තරග 9ක් පවත්වා තිබූ අතර, යළි පාසල් විවෘත කිරීමෙන් පසු තරගාවලිය නැවත ආරම්භ කිරීම සම්බන්ධව සාකච්ඡා කළ යුතුව ඇතැයි පාසල් රග්බි සභාපතිවරයා කියා සිටියේය.

“අපට තවමත් පාසල් ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමට අවසර ලැබී නෑ. පාසල් නැවත විවෘත කිරීම ලබන මාසයේදී පියවර හතරක් යටතේ සිදු කෙරෙනවා. ඉන් පසුව උසස් පෙළ විභාගයට සූදානම් විය යුතුව තිබෙනවා. රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ පමණක් නොව සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍යාංශවලත් නිර්දේශ හා උපදෙස් ලබා ගත යුතුව තිබෙනවා.” දිනමිණ කළ විමසුමකදී අබේරත්න මහතා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමූ අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය ඔක්තෝබර් මස 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවට පසුගියදා පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු පදනමක් නැති බවත්, තරගාවලිය නැවත ආරම්භ කිරීමට පෙර පාසල් විවෘත කළ යුතුව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

“දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාව දිය යුතු බවයි මේ මොහොතේ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් පාසල්වලට දන්වා තිබෙන්නේ. ඒ හැර ක්‍රීඩා ඉසව් පැවැත්වීම සම්බන්ධව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදු වී නෑ. ලබන මස පාසල් විවෘත කිරීමෙන් පසුව පාසල් ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කිරිමට අප බලාපොරොත්තු වෙනවා.” පාසල් රග්බි සභාපති වැඩි දුරටත් සඳහන් කළේය.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ කාල සිමාව ඇතුළත පාසල් රග්බි ක්‍රීඩකයන්ට සිය නිවෙසේ සිට ශාරිරික අභ්‍යාස සිදු කිරීමට උපදෙස් දී ඇති බව කී රග්බි සභාපතිවරයා, තරගාවලිය නැවත ආරම්භ කිරීමට පෙර නිශ්චිත පුහුණු කාලයක් ක්‍රීඩකයන් සඳහා වෙන් කළ යුතු බව ද සඳහන් කළේය.

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක්ම ඉතිරිව ඇති අතර, කාලසීමාවේ ගැටලු මතු විය හැකි බැවින් තරග කාලසටහන සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ලීග් තරගාවලියෙන් පසු පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියද පැවැත්විය යුතුව තිබේ. පාසල් රග්බි තරග කාලසටහනට අනුව අවුරුදු 18න් පහළ, 16න් පහළ සහ 14න් පහළ තරගාවලි කිහිපයක්ද පැවැත්වෙන අතර මෙවර එම තරගාවලි කිහිපයක් අවලංගු කිරීමට සිදු වනු ඇතැයි ද වාර්තා වෙයි.

ෆවුස් මොහොමඩ්

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();