Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බොක්සිං තරගාවලි තවත් කල්යයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් අඩපණ වූ බොක්සිං වළල්ල යළි සක්‍රීය කිරීමට ලබන අගෝස්තු මස පැවැත්වෙන ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටු රැස්වීම අවසන් වනතුරු බලා සිටිය යුතු බව ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ උපසභාපති හේමන්ත විරසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය මාර්තු මාසයේ සිට අක්‍රිය වී ඇති ජාතික බොක්සිං වළල්ලේ තරගාවලි රැසක් නැවත පැවැත්වීමට සිදුවී ඇති අතර ඒ අතරින් ජාතික බොක්සිං ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ශූරතා සහ ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලි ලබන වසර දක්වා කල් දැමීමට සිදුවනු ඇතැයි ද උපසභාපතිවරයා කීය.

‘දිනමිණ‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් හේමන්ත වීරසිංහ මහතා කියා සිටියේ මේ වසරේ අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු බොක්සිං ශූරතාවලිය අවසන් තීරණය සම්බන්ධව එම සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදි ගැනීමට පසුගියදා පැවැති රැස්වීමේදී සියළු පාර්ශ්ව එකඟ වී ඇති බවය. ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු වන ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති ඩයන් ගෝමස් මහතා ද එක්වූ එම රැස්වීම පසුගිය 20 වැනිදා දුරකතන සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්විය.

ආසියානු බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය පැවැත්විය යුතු බවත්, ඊට පෙර ආධුනික සහ අන්තර්මධ්‍ය බොක්සිං තරගාවලි පැවැත්වීමට ද සිදුවනු ඇතැයි බොක්සිං ආයතනයේ උපසභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය. එම තරගාවලි පැවැත්වෙන දින වකවානුව තීරණය කෙරෙන්නේ ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටු රැස්වීමෙන් පසුවය.

ඒ අනුව මේ වසරේදී දේශීය බොක්සිං වළල්ලේ පැවැත්වීමට හැකියාව ඇත්තේ එම තරගාවලි ත්‍රිත්වය පමණක් බවත්, ජාතික ශූරතාවලි සහ ක්ලීෆර්ඩ් කුසලාන තරගාවලිය ලබන වසර දක්වා කල් දැමිමට සිදුවනු ඇතැයි ඔහු පැවැසීය.

කෙසේ වෙතත් එකිනෙකා ගැටෙන ක්‍රීඩාවක් බැවින් (Contact game) බොක්සිං තරග නැවැත ආරම්භ කිරීම විශාල අභියෝගයක් වනු ඇතැයි ද ඒ මහතා කීවේය.

බොක්සිං වළල්ල නැවත පණගැන්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවිය යුතු අතර සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව සියළු පියවර ගැනීමට සිදුවනු ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවෙසේ සිට තනි තනිව පුහුණුවිම්වල නිරතවීමට මීට පෙර බොක්සිං ආයතනය උපදෙස් ලබා දී තිබිණ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();