Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට බ්‍රිතාන්‍යය

වත්මන් දත්ත පෙන්නුම් කරන පරිදි යුරෝපයේ කොරෝනා මරණ වැඩියෙන්ම සිදු වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේය. එසේම යුරෝපයේ මුලින්ම මරණ සංඛ්‍යාව 30,000 පසුකළේ ද බ්‍රිතාන්‍යයයි. මැයි 5 වැනිදා වන විට එරට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 32,313කි.

මේ මරණ සංඛ්‍යාව ගැන අදහස් ප්‍රකාශ කරන රෝහල් උපදේශකයන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංගමයේ සභාපති වෛද්‍ය ක්ලෝඩියා පැඕලිනී ප්‍රකාශ කරන්නේ බ්‍රිතාන්‍යයේ මේ තත්ත්වය නිසා සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රශ්නය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව පෙනෙන බැවින් ඒ සම්බන්ධව මහජන විමසීමක් සිදු කළ යුතු බවයි.

වසංගතය ආරම්භ වූ අවස්ථාවේ ආණ්ඩුව සිදු කළ ක්‍රියාමාර්ග වුවමනා තරම් වේගවත් වී ද? විශේෂයෙන්ම වසා දැමීම් ප්‍රමාණවත් තරම් කලින් සිදු වූයේද? වෛරස් ආසාදන පරීක්ෂා කිරීම සහ සම්බන්ධතා හඳුනා ගැනීම ප්‍රමාණවත් තරම් කඩිනමින් සිදු කළේ ද? යන්න විමසා බලන විට එය ප්‍රමාණවත් තරමින් සිදු නොවූ බව ඇය වැඩිදුරටත් කීවාය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ප්‍රධානී වෛද්‍ය චාන්ද් නාග්පෝල් ප්‍රකාශ කළේ මේ සංඛ්‍යා දත්ත ඉතාම අවදානම් සහගත වන අතර එංගලන්තයට වසංගතය දැනුණේ වෙනත් රටවල් රැසකට පසුව බැවින් එයට පිළියම් යෙදීමට ඕනෑවටත් වඩා කාලය තිබූ බවයි.

අප්‍රේල් 24 වැනිදා වන විට කොරෝනා මරණ අතර සැක කටයුතු මරණ 3,312ක් තිබුණි. ඒවාට බලපෑ හේතු අවිනිශ්චිතය. මේ සඳහා ප්‍රමාද වී රෝහල්ගත කිරීම, ජීවිත අවදානම් තත්ත්වයන් සහ ආර්ථික අපහසුතා, මානසික සෞඛ්‍ය ගැටලු ආදී වෙනත් සාධක බලපෑමට ඉඩ තිබේ.

සෞඛ්‍ය සේවය කවදාවත් නොවූ තරමට විනාශ වී තිබුණි. විශාල වශයෙන් බිඳවැටීමට ලක් වී තිබුණේ සුපුරුදු සෞඛ්‍ය සේවාවන් පමණක් නොවේ, කෙමෝතෙරපි, රේඩියෝ තෙරපි සහ ශල්‍යකර්ම අවලංගු කෙරිණි. එසේම රෝග ලක්ෂණ ඇති අය රෝහල් වෙත යාම සිදු වූයේ ද නැත.

ජනමාධ්‍යවේදීන් විසින් හුවමාරු කර ගන්නා දත්ත ගොනු අනුව වැඩිහිටි නිවාසවල කොරෝනා වයිරස් මරණ, රෝහල්වල මරණ ගණන ඉක්මවා වර්ධනය වී ඇති බව දක්නට ලැබිණි.

කොරෝනා වෛරසය සාපේක්ෂව මෘදු රෝග ලක්ෂණ ඇති තවත් එක්තරා සෙම්ප්‍රතිශ්‍යාවක් නොව මාරාන්තික රෝගයක් යැයි ලොව ක්‍රමයෙන් සාක්ෂාත් කරගත්තේය. එහෙත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ සහ වෛද්‍ය පර්යේෂකයෝ වඩාත් උනන්දුවෙන් මේ ගැන කටයුතු කර චීනයේ තත්ත්වය පවා නිරීක්ෂණය කළත් ඔවුන්ගේ පණිවිඩය ඉහළ මට්ටම වෙතින් හරියට ග්‍රහණය කරගත්තේ නැත.

බොරිස් ජොන්සන්ගේ කොනසර්වේටිව් ආණ්ඩුවට මේ අවුරුද්දේ මුල් භාගයේ වඩා වැදගත් කාරණා රැසක් පැවතිණි. ඔහු සිටියේ ඡන්දය දිනාගත් උණුසුමෙන් උද්දාමයට පත්වීය. ඔහු තම පෙම්වතිය වන කැරී සිමොන්ඩ්ස් සමඟ කැරීබියානු මධු සමයක් ගත කරමින් සිට ආපසු පැමිණියා පමණි. අගමැතිවරයාගේ දේශපාලන කාලගුණය හැම අතින්ම යහපත්ව පැවතිණි.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ උද්වේග කර අවස්ථාවට ඔහු සූදානම් වෙමින් සිටියේය. ඔහු පමණ ඉක්මවා විශ්වාසයෙන් කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ ටෝරි මන්ත්‍රීවරයකු මේ තත්ත්වය අරඹයා කීය. බ්‍රික්සිට් ලෙස නම් කළ යුරෝපා සංගමයෙන් ඉවත්වීම මහත් උනන්දුවෙන් සිදු කෙරිණි. අනිත් කාරණා ගැන අවධානය යොමු කෙරුණේ නැත.

ජොන්සන්, ඔහුගේ විද්‍යා සහ සෞඛ්‍ය උපදේශකවරු ප්‍රශ්නය හමුවේ නිදිවන්ව සිටියෝය. අවසානයේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත ද අගමැතිවරයා වෙත ද රෝගය පැමිණියේය. රටේ ඉහළ බලවතුන්ට වත් රෝගයෙන් බේරී සිටීමට නොහැකි විය. ප්‍රමාද වී හෝ රට වසා දැමීමට ලක් කෙරිණි. පාසල් වසා දැමිණි. වසංගතයේ අවසානයක් පෙනෙන මානයක නොවීය.

ජර්මනිය, දකුණු කොරියාව, තායිවානය සහ නවසීලන්තය වැනි රටවල් බ්‍රිතාන්‍යයට වඩා සාර්ථකව වසංගතයට මුහුණ දුන්නේය. මේ අතර මරණ 20,000ට වඩා අඩුවෙන් තිබීම යහපත් තත්ත්වයක්යැයි උපදේශකයෝ මුග්ධ ලෙස කියූ බව ද ආරංචි විය.

නිසි කලට කොරෝනා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට බ්‍රිතාන්‍යය අපොහොසත් වූ අතර එයට බලපෑ කාරණයක් තිබිණි. වසා දැමීම් සිදුකිරීමෙන් ජනතාව කුපිත වී උද්ඝෝෂණ සිදු කරනු ඇතැයි ආණ්ඩුව බියට පත්විය. සැබෑ කාරණය එයයි.

ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලීජියේ මහාචාර්ය ඩේවිඩ් නැබාරෝ පවසන පරිදි සියලුම ආණ්ඩු ජනවාරි වන විට ඇති වන තත්ත්වය කෙතරම් භයානක වේදැයි අනතුරු අඟවා තිබිණි. අනතුර ගැන නොසලකා හැරීම කිසිසේත්ම සමාව දිය හැකි කාරණයක් නොවේ. ජොන්සන් පූර්ණ වසා දැමීමක් නියම කළේ මාර්තු මස අග භාගයේදීය.

ලෝකය අසාමාන්‍ය අත්දැකීමකට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සෑම රටකටම අනතුරු ඇඟ වූ බව මහාචාර්ය නැබාරෝ කීය. ලෝක සෞඛ්‍ය සංවිධානයට හැකි උපරිම මට්ටමේ පැහැදිලි අනතුරු ඇඟවීමක් ජනවාරි 30 වැනිදා ලොව සෑම රටකටම නිකුත් කළේය.

චීනයෙන් පිටත මේ වයිරසය ඇති බවට මුලින්ම වාර්තා වූයේ ජනවාරි 14 වැනිදා තායිලන්තයේ කාන්තාවක් රෝහල් ගත වූ අවස්ථාවේදීය. එවිට එයට කොවිඩ් -19 යැයි නම් තැබිණි.

මේ වයිරසය මිනිසාගෙන් මිනිසාට බෝ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය. ඉතා වේගයෙන් චීනය ඇතුළත රෝගය ප්‍රචලිත වන බව දැනගත් වහාම චීන නිලධාරීහු වසංගතයට සූදානම් වූහ.

ජනවාරි 29 වැනිදා එක්සත් රාජධානියේ ප්‍රථම කොරෝනා රෝගියා හමුවිය. චීනයේ අත්දැකීම් සැලකිල්ලට ලක් කළේ නැත. සති කිහිපයක ඇවෑමෙන් ඒ අත්දැකීම අත්විඳීමට බ්‍රිතාන්‍යයට ද සිදු විය. එහෙත් වසා දැමීම් සිදු කෙරුණේ පාලනය කළ නොහැකි මට්ටමට වසංගතය උත්සන්න වූ විටය. රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම සහ ඔවුන්ගේ සංචාරක ඉතිහාසය පරීක්ෂාවට ලක් කෙරිණි. එහෙත් ඊට වඩා දෙයක් සිදු වූයේ නැත.

මේ කාරණා මෙසේ සිදු වෙද්දී ජොන්සන්ගේ හිතේ වැඩ කළේ බ්‍රික්සිට් ගැන සහ නිදහස් වෙළෙඳාම ගැනයි. පෙබරවාරි 3 වැනිදා ග්‍රීන්විච්වල දී බ්‍රික්සිට් දේශනය පවත්වමින් ඔහු පැවසුවේ වුහාන්වල මෙන් වසා දැමීම් සිදු කිරීම, මාර්ග බාධක යෙදීම ආර්ථිකයට අනවශ්‍ය හානියක් සිදු කරනු ඇති බවයි.

එහෙත් බ්‍රිතාන්‍යයේ අනුගමනය කරන ක්‍රමවේදය අනිත් රටවල් අනුගමනය කරන ක්‍රමවේදවලට වඩා බෙහෙවින්ම වෙනස් බව එරට බුද්ධිමතුන්ට සහ විද්‍යාඥයන්ට අවබෝධ විය. දකුණු කොරියාවේ සිට ජර්මනිය දක්වා රටවල්වල ආණ්ඩු වසංගතයේ මුල් සතියේ සිටම පරීක්ෂා කිරීමේ හැකියාව වර්ධනය කිරීමට විශාල වශයෙන් ආයෝජනය කළේය.

අනිත් රටවල්වල අත්දැකීම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලින් ඉගෙන නොගත් එංගලන්තය විශ්වාස කළේ වෛරසය නතර කළ නොහැකි බවත් එයින් වාර්ෂික සහ කාලීනව ආසාදන සිදු වනවා කියාය. ප්‍රධාන විද්‍යාත්මක උපදේශකවරයා විශ්වාස කළේ සාමූහිකව රෝගය වැළඳීමෙන් කණ්ඩායම ඇතුළේ ප්‍රතිශක්තිකරණයක් ඇති වනු ඇතැයි කියාය. එය වැරැදි බව තේරුම් යන විට යුරෝපයේ වැඩිම කොරෝනා රෝග ආසාදිතයන් සිටින රට බවට බ්‍රිතාන්‍යය පත් වී අවසන්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();