Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජිතට දුන් ඇප නියෝගය අවලංගුයි

සුදු වෑන් මාධ්‍ය හමුව පිළිබද නඩුවේ තුන්වැනි විත්තිකරු වන හිටපු ඇමති රාජිත සේනාරත්නට ඇප ලබාදීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළ ආකාරය දෝෂ සහිත බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (13) අධිකරණයේදී අවධාරණය කළේය.

මෙම නඩුවට අදාළ ව හිටපු ඇමතිවරයා විසින් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නා අතරතුර ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබිණි. එය සලකා බැලීමෙන් පසු පසුගිය දෙසැම්බර් 30 දා ඔහුට ඇප ලබාදීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කර තිබිණි. ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන අයැදුම්පතක් මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබූ අතර, එය සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ ඇප නියෝගය අවලංගු කරමින් මහාධිකරණ විනිසුරුවරයා මේ බව සදහන් කළේය.

මෙම සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසුව අධිකරණය මගහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු ඇප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බව ද පැවසූ මහාධිකරණ විනිසුරුවරයා, එමෙන්ම මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අවකාශ තිබූ බව ද පෙන්වා දුන්නේය. එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටලු සහගත බව ද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන් වන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේ දී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බව ද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී අද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් පැවසීය.

සමස්තයක් වශයෙන් ගත් කළ මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය විසින් ඊට අදාළ සිද්ධිය හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු තිලකරත්න, මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතළ ලෙස කම්පනය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බවත් සඳහන් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්, වර්තමානයේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව තුළින් යහපත් මාර්ගෝපදේශයක් සැපයීම සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.

මෙම නඩු තීන්දුව ඇප ලබාදීම සම්බන්ධයෙන් රටේ සියලුම මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් විවෘත අධිකරණයේ දී සඳහන් කර සිටියේය.

The post රාජිතට දුන් ඇප නියෝගය අවලංගුයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();