ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වායුගෝලීය අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ තත්ත්වය දිවයිනේ වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි සඳහන් කෙරෙන්නේ.
ඉදිරි පැය 12 තුළ එම තත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනය කළේය.
එය හෙට (16) දින වනවිට දකුණු බෙංගාල බොක්ක දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් හි උතුරට බරව ඊසාන දෙසට හැරී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
ඒ අනුව දකුණු, සබරගමුව, මධ්‍යම,ඌව සහනැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන්.
එලෙසම කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80ත් අතර ඉහල යා හැකි බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම වැඩිවන සුළං වේගය හේතුවෙන් බස්නාහිර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම අනතුරුදායක බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.
එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.0-2.5 ක් පමණ ඉහළ නැඟ මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන් වේ.
මේ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු මෙන්ම නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අතර දැනටමත් මෙම මුහුදු ප්‍රදේශවල ධිවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා කැඳවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් කර ඇත.
ඇතිවන තද වර්ෂාපතනය ඇතිවන ප්‍රදේශ ගංවතුර, නායයාම් වැනි ආපදා අවදානම් බහුල ප්‍රදේශයක් නම් ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව අවධාන යොමු කළ යුතුබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. විශේෂයෙන්ම ගංගා ජල මට්ටමේ ක්ෂණිකව ඉහළ යා නම් හෝ ගංගාවල පිටාර මට්ටම ඉක්මවා ගංවතුර අවධානමක් ඇති වේ නම් ඒ පිළිබදව සැළකිල්ලක් දක්වන මෙන් මධ්‍යස්ථානය දන්වා සිටියි.
විශේෂයෙන්ම නායයාම් අවදානම් ප්‍රදේශවල පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, හා දුරකථන කුලුණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිරුම් හා ඒවායේ ක්රමික වර්ධනය වීම්, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙරපැවති උල්පත් බොරවීම අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් ජනතාව හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව විමසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය 117 දුරකථන අංකයෙන් විමසන ලෙස ඉල්ලා සිටියි.
The post කාලගුණය නරකයි! අවදානයෙන් ඉන්න! appeared first on Lanka News Column.
0 Comments