මහ බැංකුවට පවරා ගත් ද ෆිනෑන්ස් ආයතනය වසා දැමීම අලුතින් මතුවූ ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. එහි තැන්පත්කරුවන්ට අද ඇති වී තිබෙන්නේ අසාධාරණයක්. එම තැන්පත්කරුවන් විශාල ප්‍රමාණයක් මහපාරට ඇද වැටී තිබෙනවා. අපි දන්නවා මූල්‍ය සමාගම්වල තැන්පතු ඇතිකරද්දී අවදානමක් තිබෙනවා. ජනතාව කටයුතු කරන්නේ විශ්වාසයත් සමගයි. එම විශ්වාසය හැදෙන එක තැනක් තමයි, රජය වෙනුවෙන් එම ආයතන මහ බැංකුව විසින් නියාමනය කිරීමට පටන් ගැනීම. ද ෆිනෑන්ස් ආයතනයේ කටයුතු රජයට පවරා ගත්තේ 2010 වර්ෂයේදීයි. 2010 සිට රජය වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩල එයට පත් කරනු ලැබුවා. අවස්ථා කිහිපයකදී මෙසේ සිදු කරනු ලැබුවා. 2010දී එම ආයතනය මහ බැංකුවට පවරා ගනිද්දී ද ෆිනෑන්ස් ආයතනය පාඩු ලබන ආයතනයක් නෙමෙයි. බිලියන 30කට ආසන්න තැන්පතු තිබුණා. 145,000ක් රටේම තැන්පත්කරුවන් හිටියා. ප්‍රධාන කාර්යාල, ප්‍රාදේශීය කාර්යාලවල 458ක කාර්ය මණ්ඩලයක් ක්‍රියාත්මක වුණා. මේ තැන්පත්කරුවන්ගෙන් 94%කට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 06ට වඩා අඩු තැන්පත්කරුවන්. ඔවුන් තමන්ගේ විශ්‍රාම වැටුප, අර්ථසාධක අරමුදල, පෙර රැකියාවෙන් ලැබුණු ඉතුරුවක්, විදෙස්ගතව සෙවූ මුදලක් වශයෙන් කුඩා මුදල් ප්‍රමාණ තැන්පත් කළ අයයි.
මෙසේ ක්‍රියාත්මක වූ ආයතනයක් පසුගිය 22වැනිදා එහි තිබූ සියලු කාර්යාල මහ බැංකු නිලධාරීන් විසින් එකවර වසා දැමුවා. මෙවැනි වසංගත තත්වයකට පත්ව සිටින වෙලාවක මේ තැන්පත්කරුවන්ට සාධාරණ විරෝධයක් දක්වන්න හැකියාවක්වත් අහිමි කරපු වෙලාවක, ඔවුන්ගේ ජීවන තත්වය ආණ්ඩුවේ සියලු කරදරවලින් පීඩාවට පත්ව සිටින වෙලාවක ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින්නා සේ මහ බැංකුව මේ අත්තනෝමතික තීන්දුව ගත්තා. අපි විශ්වාස කරනවා, ආයතන පිළිබඳව තීරණය ගන්නවා වගේම, ඒ තීරණේ කොපමණ සාධාරණ වුණත් එය ගත යුතු තීරණයක් වුණත් ඒ තැන්පත්කරුවන්ගේ මානසිකත්වය පිළිබඳව ආණ්ඩුව සැලකිලිමත් විය යුතුව තිබුණා. එසේ නොකර අද ඔවුන්ව මහපාරට ඇදලා දාලා තිබෙනවා. ද ෆිනෑන්ස් ආයතනය උදාහරණයක් පමණයි. මේ වගේ තැන්පත්කරුවන්ට අසාධාරනකම් සිදුවුණ තවත් බොහෝ ආයතන තිබෙනවා. රජය විශ්වාසයක් හදලා, මහ බැංකුව නියාමනය කරලා. මැදිහත්වීම් කරන බවට අවස්ථා ගණනාවක පොරොන්දු වෙලා අවසානයේදී තැන්පත්කරුවන්ව අතරමං කොට අත්හැර දමා තිබෙනවා.
අපි කියන්නේ රජය මෙම ජනතාවට සහන පැකේජයක් හඳුන්වලා දීලා, මේ තැන්පත්කරුවන් සමග සංවාදයක් පවත්වලා කළ යුතු දෙයක්. ආණ්ඩුව අරන් තිබෙන්නේ මේ අවස්ථාවේ නොගත යුතු තීරණයක්. මේ නිසා ඔවුන් බරපතළ පීඩාවකට පත්ව සිටිනවා. අද ඒ අසරණභාවයට පත්වුණු තැන්පත්කරුවන් පිළිබඳව ගැටලුව මෙයයි. හැමදේටම මාධ්‍ය සාකච්ඡා පවත්වන. ප්‍රකාශ නිකුත් කරන ආණ්ඩුව මෙතනදී නිහඬව සිටින්නේ ඇයි? ආණ්ඩුව අවම වශයෙන් ඒ පිළිබඳ තමන්ගේ ස්ථාවරයවත් ප්‍රකාශ කරන්නේ නැහැ. තැන්පත්කරුවන් අසරණ කර දමා තිබෙනවා.
මේ නිසා අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නේ මේ ආයතනයේ සේවකයින් සහ තැන්පත්කරුවන් මේ මොහොතේ පත්කරන ලද පීඩනයෙන් වහා මුදාගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ, නැවත මේ ආයතනය ස්ථාපිත කරන්න, වසා දමන්න එපා කියන එකයි. මූල්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමක් අද අපට හැමතැනම පේනවා. ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. නියාමනය කළ යුතු ආයතන අද නිහඬ වී තිබෙනවා. එය රටේ ඉදිරි බරපතළ අනතුරක් පෙන්නුම් කරනවා.
විශේෂයෙන් අවධාරණය කළ යුතු අනෙක් කරුණ වන්නේ විදෙස්ගතවී සිටින ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ගේ ගැටලුවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයත්, ආණ්ඩුවත්, විශේෂයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයත් දක්වන උදාසීන ආකල්පය පිළිබඳවයි. අවස්ථා ගණනාවක් ආණ්ඩුව ප්‍රකාශයට පත්කළා, ක්‍රමානුකූළව, නිරෝධන ක්‍රියාවලියට යටත්ව, රටේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ අනුව, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගන්නා බව. රැකියාවලින් එළියට වැටී සිටින, ගෙවල්වලින් එළියට වැටී සිටින අසරණ වූ ශ්‍රමිකයින්ට එම විශ්වාසය ලොකු සහනයක් වුණා. අපත් ඒ පිළිබඳව අවස්ථා ගණනාවක් පෙන්වා දුන්නා. මේ වන කොට මැදපෙරදිග කුවේට්, කටාර්, ලෙබනනය, ඩුබායි, සහ මාලදිවයින වැනි රටවල කුඩා කණ්ඩායම් වශයෙනුත් විශාල පිරිස් වශයෙනුත් ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාලවල ලියාපදිංචි වූ පිරිස් ඉන්නවා. කුවේට් රජය පොදු සමා කාලයක් ලබා දුන්නා. දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා කුවේට් තානාපති සමග සාකච්ඡා කර එම සමා කාලය මැයි 31 දක්වා දික්කර ගත්තා. ඒ ක්‍රමානුකූලව ලංකාවට ඔවුන් ගෙන්වා ගැනීමේ එකඟතාවක් අනුවයි. ඒ අනුව තානාපති කාර්යාලය ඔවුන්ව පොදු සමා කාලයේ රඳවන ස්ථානවල රැfඳාව්වා. තවත් විශාල පිරිසක් පොරොත්තු ලේඛනවල ලියාපදිංචි වී සිටිනවා ආපසු පැමිණෙන්න. අද ඔවුන්ගේ රැකියා අහිමි වී තිබෙනවා. රැකියාවට අමතරව කළ සැලොන් වැනි ස්වයං රැකියා අවස්ථා අහිමි වී තිබෙනවා. පින්තාරු, වායුසමීකරණ, පෙදරේරු වැනි වැඩ කළ සියලුදෙනාට රැකියා අහිමි වී තිබෙනවා. මාලදිවයිනේ ඉතාමත් අනතුරුදායක තත්වයකින් පිරිසක් සිටිනවා. ඔවුන්ට නිරෝධායන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් නැහැ. අද ඔවුන්ට කෑමබීමත් නැහැ.
අපි යෝජනා දෙකක් ආණ්ඩුවට ඉදිරිපත් කළා. එකක් ඔවුන් ලංකාවේ නිරෝධායන ක්‍රියාවලියට යටත්ව, එහි ඉඩකඩ අනුව ලංකාවට කැඳවන්න කියන එක. ඒකට ප්‍රමුඛතාව දෙන්න කියන එක. දෙවැන්න ඔවුන්ට එම රටවල නිරෝධායන වෙන්න, සෞඛ්‍ය, ආහාර, නේවාසික පහසුකම් ලබාගන්න වැඩපිළිවෙළක් හදන්න කියන එක. අද බොහෝ දෙනාට ගෙවල් කුලී ගෙවාගැනීමට, ආහාරපාන මිලට ගැනීමට හැකියාවක් නැහැ. ඒ සියල්ල තානාපති කාර්යාලවලින් කරන්න ඒවාට දෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. තානාපති නිලධාරීන් ඇත්තටම අසරණයි. ඔවුන් තමයි මේ අය සමග ඍජුව ගැටෙන්නේ. ආපසු පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් මිලට ගත් විශාල ප්‍රමාණයක්ද සිටිනවා. කටාර්වලට මැයි 18 ගුවන් යානයක් යන බව දැනුම් දී තිබුණා. මැයි 25වැනිදා තවත් ගුවන්යානයක් යන බව කිවුවා. දැන් කියනවා, එම ගෙන්වීමේ ක්‍රියාවලිය නතර කරන බව. අද ඔවුන් අතිශය අසරණ වී සිටිනවා. තානාපති කාර්යාලයේ නිලධාරීන්ට දීමට උත්තරයක් නොමැතිව සිටිනවා.
කුවේට් වන්දි අරමුදල තිබෙනවා. බිලියන 05ක් තිබුණා. එහි එක්සත් ජාතීන්ගේ සංවිදානය අනුව කොන්දේසියක් තිබෙනවා, විදේශ ගතවූ ශ්‍රමිකයින්ගේ කටයුතුවලට පමණයි කියලා. අපි ඉල්ලීමක් කළා මේ අවස්ථාවේ කුවේට් වන්දි අරමුදල පාවිච්චි කරන්න කියලා. ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් හදන බවත් කීවේ මෙම අරමුදල මගිනුයි. එයත් සිදුකළේ නැහැ. මෙම පිරිස ලංකාවට ගෙන්වන තුරුවත් ඔවුන්ට සහන ලබාදෙන්න මේ අරමුදල පාවිචිචි කරන්න පුළුවන්. විදේශ ශ්‍රමිකයින්ට පුහුණුව ලබාදෙන මධ්‍යස්ථාන ලංකාවේ තිබෙනවා. ඒවායේ නේවාසික පහසුකම්ද සහිතයි. මෙම මධ්‍යස්ථාන අද වසා දමා තිබෙනවා. අවශ්‍යනම් ආණ්ඩුවට නිරෝධායනය සඳහා මෙම මධ්‍යස්ථාන වුවත් පාවිච්චි කළ හැකියි.
අද ආණ්ඩුව ගේන්නේ තමන්ට අවශ්‍ය අය පමණයි. නමුත් ජනාධිපතිවරණ කාලෙ තමන්ගේ අතින් වියදම් කරගෙන ඇවිත් ගෝඨාභය මත්මයාට ඡන්දය ප්‍රකාශ කළ අයටවත් සලකන්න ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ඔබ දැක්කා පහුගිය දවසක ෂීෂෙල්ස්වලින් පිරිසක් ගෙනාවා. කවුද අනුමත කළේ? කවුද ඉල්ලුම් කළේ? මොකද්ද තිබුණු ප්‍රමුඛතාව. ශ්‍රී ලාංකිකයොත් එහි සිටිනවා පැමිණෙන්න විදිහක් නැතිව. අද කියනවා ඔවුන් රෝගී වූ නිසා රැගෙන ආ බව. ඔවුන් සිටින තැනක් ආණ්ඩුව කියන්නේ නැහැ. අවම වශයෙන් ආණ්ඩුව එම රටවල සිටින ශ්‍රීලාංකිකයින් සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය කුමක්දැයි ප්‍රකාශයට පත් කළ යුතුයි. අවම වශයෙන් එම රටවල්වලදීවත් ඔවුන්ට පහසුකම් සලසා දිය යුතුයි. මේ කොරෝනා කාලයේ විදේශ ගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව තානාපති කාර්යාලවලට කොපමණ මුදලක් වෙන් කළාදැයි අපි ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි. එසේ කර නැහැ. කියන්න කණගාටුයි, ඇතැම් ශ්‍රමිකයින් ආණ්ඩුවේ කොවිඞ් අරමුදලට අරමුදල් එකතු කර එව්වා. එහෙත් ආණ්ඩුව ඔවුන්ට පිටුපෑවා.
ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුනනෙත්ති
The post ආණ්ඩුව විදෙස් රටවල සිටින ශ්‍රීලාංකිකයින් සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය කිව යුතුයි appeared first on Lanka News Column.
0 Comments