Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් ක්‍රීඩා සමාජය වසර 12කට පසුව එෆ්. ඒ. පාපන්දු අවසන් සටනට එයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සෝන්ඩර්ස් 5-1කින් ගුවන් හමුදාව පරදවයි

වැන්ටේජ් එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සෝන්ඩර්ස් හා පොලිස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබයි. පොලිස් ක්‍රීඩා සමාජය එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට වසර 12කට පසුව සුදුසුකම් ලැබූ අතර සෝන්ඩර්ස් පිල පිට පිට දෙවැනි වරට අවසන් මහා තරගයට පිවිසියේය.

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පසුගිය වසරේ එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ගෝල් 4 – 2ක පරාජයක් ලැබීය. පොලිස් ක්‍රීඩා සමාජය මෙම තරගාවලියේ අවසන් මහා තරගයට අවසන් වරට පිවිසියේ වසර 2008දී වන අතර එහිදී දඩුවම් පහර 6 – 5ක් ලෙස සිවිල් ආරක්ෂක බළකා පිල පරාජය කොට ශූරතාව දිනා ගත්තේය.

එෆ්. ඒ කුසලාන පාපන්දු අවසන් පූර්ව තරග පෙරේදා රීඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැති අතර පසුගිය අනුශූරයින් වූ සෝන්ඩර්ස් පිල වෙතින් ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් පිල ගෝල් 5-1කින් පරාජයට පත්විය. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙතින් බ්ලූ ස්ටාර් පිල ගෝල් 4-2කින් පරාජයට පත්විය.

එබැවින් මේ මස 7 වැනිදා තුරඟ තරග පිටියේදී විදුලි ආලෝකධාරා මැද පැවැත්වෙන අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් හා පොලිස් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලානය සමග මුදලින් රඅපියල් ලක්ෂ 7.5ක් දිනා ගැනීමේ සටනට එළැඹ සිටිති. සෝන්ඩර්ස් හා පොලිස් ක්‍රීඩා සමාජ වසර 1993දී එෆ්. ඒ. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර එහිදී ගෝල් 1-0කින් සෝන්ඩර්ස් පිල ජය වාර්තා කළේය.

සෝන්ඩර්ස් - ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් අතර අවසන් පූර්ව තරගයේ පළමු භාගයේදී ගෝල් 2-1ක් ලෙස සෝන්ඩර්ස් පිල ඉදිරියෙන් සිටි අතර තරගය අවසන් වෙද්දී ක්‍රිෂාන්ත අඹේසේකර ගෝල් 2ක්, සුන්දරාජ් නිරේෂ්, චමත් රශ්මිත හා මොහොමඩ් කුරුෂිඩ් ගෝලය බැගින් සෝන්ඩර්ස් නාමයට එක් කළහ. ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් පිල වෙනුවෙන් සී. එම්. ප්‍රනාන්දු ගෝලයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා පොලිසිය හා බ්ලූ ස්ටාර් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමු භාගය නිමා වෙද්දී දෙපිලම ගෝල් වාර්තා නොකළ හෙයින් දඩුවම් පහර මගින් ජය පරාජය විසදා ගැනීමට විනිසුරුවෝ තීරණය කළහ. එහිදී පොලිස් ක්‍රීඩා සමාජයේ ගෝල් කීපර් මහේන්ද්‍රන් දිනේෂ්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙණුනු අතර ඔහු විසින් බ්ලූ ස්ටාර් පිලේ ප්‍රබල පහරවල් දෙකක්ම ආවරණය කිරීමෙන් පොලිස් ජයග්‍රහණය තහවුරු විය.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී සෝන්ඩර්ස් වෙතින් නාවික හමුදා සී හොක්ස් පිල පරාජයවූ අතර ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් වෙතින් රිනවුන් පිල පරාජයට පත්විය. ශ්‍රී ලංකා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකා පිල අතර පැවැති තරගයේදී පොලිස් පිල ජය වාර්තා කළ අතර බ්ලූ ස්ටාර් හා බන්ධනාගාර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් බ්ලූස්ටාර් ජයග්‍රහණය වාර්තා කළේය.

අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියට පාපන්දු ලීග් 63ක, ක්‍රීඩා සමාජ 827ක් තරග කළ අතර සියලු තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();