Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෙරපාසල් අධ්‍යාපන නියාමන ආයතනයක් පිහිටුවන්න

හිටපු නියෝජ්‍ය ඇමැති වයි.ජී.පද්මසිරි

මෙරට පෙරපාසල් අධ්‍යාපනයේ නියැළි ආයතන ක්‍රියාකළයුත්තේ කෙසේදැයි විද්‍යාත්මකව ‍සොයා බැලෙන පර්යේෂණ හා නියාමන ජාතික ආයතනයක් පිහිටුවන්නැයි හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වයි.ජී.පද්මසිරි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍යයේ දැක්ම දසවැදෑරුම් සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට ඇතුළත්වන පරිද්දෙන් මෙම පර්යේෂණ හා නියාමන ආයතනය පිහිටුවන්නැයි තමා ඉල්ලා සිටින බව ද පද්මසිරි මහතා ප්‍රකාශ කරයි.

දැනට ක්‍රියාත්මක පෙර පාසල් ප්‍රඥාප්තිය තවදුරටත් ශක්තිමත් කරමින් අප රටේ අධ්‍යාපන ලබන දරුවන්ගේ මුල්ම අවස්ථාව වන මුල් ළමා විය සංවර්ධනය සඳහා අවශ්‍ය ජාතික මඟපෙන්වීමක් ‍ලබා ගැනීම සඳහාත්, එය විද්‍යාත්මකව සහ පර්යේෂණාත්මකවත් අනාවරණය කර ගන්නා කරුණු මත මුල් වූ වැඩපිළිවෙළක් කර ගැනීම සඳහාත් නව ආයතනය පිහිටුවිය යුතු බව තම අදහස යැයි ඒ මහතා කියා සිටියේය.

වසර 1988/89 කාලයේ රුවන්වැල්ල සුළු නගර සභාව යටතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් නැතිනම් පෙර පාසලක් රුවන්වැල්ල මොරාවත්ත විහාරස්ථානයේ එවකට විහාරාධිපතිව සිටි සෝමරත්න හිමිගේ අනුශාසකත්වයෙන් ඇරඹිදා පටන් මෙම විෂය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කළ තමා ඒ නිසාම මේ වනතෙක්ම ඒ අංශයේ දියුණුවට කාලෝචිත යෝජනා ඉදිරිපත්කරමින් සිටින බව ද පද්මසිරි මහතා කීය.

සබරගමුව පළාත් සභාවේ මුල්ම මන්ත්‍රී කණ්ඩායමේ විපක්ෂයේ සාමාජිකයෙකු වූ තමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ පෙර පාසල් අධ්‍යාපන ප්‍රාඥාප්තිය එවකට ආණ්ඩු පක්ෂයේ සිටි මහ ඇමැති ජයතිලක පොඩිනිළමේ මහතාගේ ආශිර්වාදය මත සම්මත විය. ඊට අමතරව සබරගමුව පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතාගේ සහයෝගය සහිතව පෙර පාසල් සංවර්ධනය ඉහළට එසවීමට තමාට හැකිවූ බවත් පෙන්වා දුන් වයි.ජී.පද්මසිරි මහතා, සබරගමු විශ්වවිද්‍යාලයේ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට ද හැකි වූ බවත් කියා සිටියේය. ඒ අනුව සබරගමු පළාතේ සියලු පෙර පාසල් ලියාපදිංචි කිරීම, ගුරුවරුන්ට ඩිප්ලෝමාවක් සහිතව එම ඉගැන්වීමේ කටයුතුවලට ඉඩ ලබාදීම, පෙර පාසල් දරු දැරියන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කටයුතු යෙදීම සහ පෙර පාසල් ගුරුවරුන්ට දීමනාවක් ලබා දීම ආදිය සිදු විය.

වර්තමානය වන විට පෙර පාසල් විෂය සම්බන්ධයෙන් වූ ඉතා පිළිගත් විද්‍යාත්මක ඉගැනුම් ඉගැන්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවේ. පෙර පාසලෙන් පෙර පාසලට ඉගැන්වෙන දේ වෙනස් වේ. ඒවා පිළිබඳව නිසි සොයා බැලීමක්, නියාමනයක් සිදු නොවේ. එපමණක් නොව මල් කැකුළු වන් දරුවන්ට මුලදී කියා දිය යුතු පාඩම් පිළිබඳව පර්යේෂණාත්මකව සොයා ගත් කරුණු අන්තර්ගත ඉහළ වැඩපිළිවෙළක් දක්නට නොලැබේ. මේ අඩු පාඩු මඟහරවාලීමට මුල් වන පරිද්දෙන් පෙර පාසල් සම්බන්ධයෙන් සොයා බැලෙන විද්‍යාත්මක පර්යේෂණ හා නියාමන ආයතනයක් පිහිටුවීම ඉතාමත් කාලෝචිත කටයුත්තක් බව තමා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද වයි.ජී. පද්මසිරි මහතා අවධාරනය කළේ ය.

ජයසිරි මුණසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();