පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදාළව පසුගිය දෙසැම්බර් 31 වනදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ලේකම්වරයෙකු මෙන්ම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අසීම් ඇතුළු තිදෙනා ඇප මත මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.
ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කර ඇත.
මෙම පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සරත් කුමාර සහ සංජිව මදනායක යන සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයින් මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දැනුම් දී ඇත.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා තිබෙන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව එල්ල කරන චෝදනා මොනවාද යන්න පිළිබඳවයි.
ඊට ප්‍රතිචාර දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් , මෙම සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ වූ මිනීමැරුම් චෝදනා ඉදිරිපත් නොකරන අතර ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 169 ,140 සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 80 යන වගන්ති යටතේ එම සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
අනුව සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත පෙබරවාරි මස 27 වනදා කැඳවීමට ද නියම කර ඇත.
එදින සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නද අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කර ඇත.
The post ‘සුදු වෑන්’ සැකකරුවන්ට ඇප appeared first on Lanka News Column.
0 Comments