ශ්‍රීපාද වන්දනාකරුවන් ඇතුළු ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් ආහාර සැපයීම අරමුණු කරගෙන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ පිහිටි ආහාර පරිහරණ ස්ථාන 96ක් පෙරේදා (04) හදිසි පරීක්ෂාවකට ලක්කර සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබූ ස්ථාන 31කට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවසීය.
මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබූ ආපන ශාලා 16, බේකරි 02, ගොසරි 08ක් හා කුකුළු මස් අලෙවිසල් 05කට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
කකුළු මස් හා මාළු මෙන්ම පිසින ලද ආහාර හා යෝගට් සමඟ එකට අසුරා තිබූ ශීතකරණ හා අධිශීතකරණ කිහිපයක් මෙහිදී මුද්‍රා තැබීමට පියවර ගත් බවත්, අපිරිසුදු ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබූ ආපන ශාලා මුලුතැන් ගෙවල් හා ආහාර පරිහරණ ස්ථාන දින 14ක කාලයක් ඇතුළත නියමිත ආකාරයෙන් සකස් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දෙන ලෙස උපදෙස් ලබා දුන් බවත්, උපදෙස් පිළිනොපදිමින් කටයුතු කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පනත යටතේ නීති මගින් කටයුතු කිරීමට පියවර ගන්නා බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවැසීය.
ශ්‍රීපාද වන්දනා සමයේ දී නල්ලතන්නිය නගරයට හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පිහිටි වෙළෙඳසල් සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ භාණ්ඩ සැපයීම සිදු කෙරෙන්නේ, මස්කෙළිය නගරයේ පිහිටි තොග වෙළෙඳසල්වලිනි.
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ උපදෙස් මත, දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණි පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයට අයත්, මස්කෙළිය, සාමිමලේ, රිකාටන්, ලකඹේ යන නගර හා උප නගරවල දී සිදු කරන ලද මේ හදිසි පරීක්ෂාවන් සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 දෙනකු පමණ සහභාගි වූ අතර, සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. ඒ. බාස්කරන් හා අමිල මිගාර සෝමදාස යන මහත්වරුන් විසිනි.
හැටන් චන්දන ජයවීර
0 Comments