




- මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමි
හිටපු අගමැති දි.මු ජයරත්න දැයට සමු දෙයි
දී.මු. ජයරත්න චරිතය මෙරට ජනතාවට මෙන්ම දේශපාලනයේ නිරත අයට ආදර්ශයක් හා මඟ කියා දෙන මාවතක් බව ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ.
හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අනුනාහිමියෝ මේ බව සඳහන් කළහ.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු ගම්පොළ දොළුව හලියද්ද ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා සවස්වරුවේ පැවැත්වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
1951 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වෙමින් දේශපාලනයට එක් වූ දී.මු ජයරත්න මහතා වසර 60කට අධික කාලයක් මෙරට දේශපාලනයේ සක්‍රීයව සිටිමින් කටයුතු කළ අයෙකි.
අවමංගල්‍ය උලෙළේදී තවදුරටත් අනුශාසනාව සිදුකළ නියංගොඩ විජිතසිරි නාහිමි
හිටපු අග්‍රාමාත්‍යවරයා රට වෙනුවෙන් දැය වෙනුවෙන් සමය වෙනුවෙන් උදාරතර සේවයක් කළ මහජනයා අතුරින් මතුවී මෙරටට ආදර්ශයක් ගෙන දුන් නායකයෙක්. ගම්පොල ප්‍රදේශයේ විද්‍යාල කිහිපයකින් අධ්‍යාපනය ලබා පසුව රාජ්‍ය සේවයට ඇතුළත්ව තැපැල් ස්ථානාධිපතිවරයෙක්, ගුරුවරයෙක්, ආදි ලෙස සේවය කොට මහජනයාගේ විවිධ කාර්යයන් සඳහා පුරෝගාමීව කටයුතු කොට පසුව දේශපාලනයට අවතීර්ණ විම මෙම චරිතයේ දක්නට තිබෙනවා.
මෙරටට නිදහස ලැබීමෙන් පසු දේශීයත්වය මුල් කර ගනිමින් බිහිවූ නායකයකු වූ බණ්ඩාරනායක මහතා ආරම්භ කළ ජන බලවේගය සමඟ එක්වූ ජයරත්න මහතා බොහෝ දුක් ගැහැට විඳිමින් තම ජනතාවට නායකත්වය දෙමින් එඩිතරව තම දර්ශනය සමාජ ගත කළ බව අප දන්නා කාරණයක්.
එසේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ එක්වී අවංකව එඩිතරව තමන් විශ්වාස කළ දේශපාලන මති මතාන්තර සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වීම කැපී පෙනෙනවා.
ඉතා චතුර කථිකයෙකු ලෙසත් සංවිධායකවරයෙකු ලෙසත් දහස් ගණනක් ජනයාගේ විශ්වාසය දිනාගත් මෙතුමා තම ගමන අර්ථවත් ගමනක් බවට පත්කර ගැනීම සඳහා බොහෝ වෙහෙස මහන්සි වෙමිනුත් පරිත්‍යාගශීලී වෙමිනුත් කටයුතු කිරීම සැමට ආදර්ශයක් ගෙන දෙන්නකි.
දිවංගත අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නය ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළා. යටිනුවර උඩුනුවර හාරිස්පත්තුව, තුම්පනේ හේවාහැට උඩපළාත ආදීකොට තම ගම් ප්‍රදේශයේ විහාරස්ථාන මෙන්ම රටේ සියලු විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ එකසේ ඇසුරු කිරීමට මෙතුමා සාසනයට මහත් ලැදි වුණා.
වතු ජනසතු කිරීමේදී එය ක්‍රියාත්මක කිරීමට එතුමා එදා එඩිතරව ඉදිරිපත් වුණා.
ජනතාවට ඉඩම් ලබා දෙමින් ප්‍රදේශයේ ඉඩම් සශ්‍රීක කිරීමට එතුමා මූලිකව කටයුතු කළා. එසේම එතුමා දැරූ විවිධ අමාත්‍ය ධුර තුළින් මේ ප්‍රදේශවලට මෙන්ම මුළු රටටම මහත් සේවයක් සිදු කළා.
ජයරත්න මහතා නිර්මාණය කළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ගැන එතුමා බොහෝ සතුටු වුණා. එහි ඇති සර්ව ආගමික මධ්‍යස්ථාන මෙරට ජාතික සමඟිය සංහිඳියාව පිළිබඳව එතුමාගේ දර්ශනය රටට කියා පාන්නක් බව සඳහන් කළ යුතුයි.
එසේම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දර්ශනය ආදර්ශය තව තවත් ඉදිරියට ගෙන යාමට එතුමාගේ පුත් අනුරාධ ජයරත්න හා දියණිවරු ක්‍රියා කරයි කියා අපගේ සිත්වල තියෙනවා.
ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නා හිමි
මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ දී.මු. ජයරත්න මහතා ප්‍රදේශයේ ජන හදවත් හඳුනාගත් නායකයෙක් සේම ආදර්ශයක් ගෙන දෙමින් වැඩ කළ නායකයෙක් බව සඳහන් කළ යුතුයි.
එදා ගම්සභා නියෝජිතයකු ලෙස පත් වී මෙතරම් දුර දේශපාලන ගමනක් පැමිණීම ඉතා දුර්ලභ දෙයක්. ඒ නිසයි එ තුමාගේ චරිතය මෙරට දේශපාලනය කරන අයට පාඩමක් වී තිබෙන්නේ.
ගම් සභා නියෝජිතයෙක් වී පාර්ලිමේන්තුවට පැමිණීමෙන් විවිධ අවස්ථාවල විවිධ අමාත්‍යධුර දැරීමත් අවසානයේ එහි හිනි පෙත්තටම ගමන් කොට අග්‍රාමාත්‍ය තනතුර දැරීමත් දක්වා පැමිණීම මෙතුමාගේ ජන විඥානය තේරුම් ගැනීමට ඇති හොඳම ආකාරයයි.
ඉවසීම, කරුණාව, ප්‍රඥාව වගේම එඩිතර බව, අවංක කම හා නොසැලී කටයුතු කිරීම වැනි ගුණාංග ඇති අයටයි තම දර්ශණය මත දීර්ඝ ගමනක් යා හැකි වන්නේ .
තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුන්ගේ යහපත සඳහා කටයුතු කරන්න කියන එක මෙතුමා ක්‍රියාවෙන් ඔප්පු කළා. මෙම බෞද්ධ පූර්වාදර්ශය පෙරදැරි කරගෙන මෙරට දේශපාලනඥයන්, පාලකයන් කටයුතු කළ යුතුයි. අනුන්ගේ යහපත සඳහා මහජන සුබසිද්ධිය සඳහා අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු වෙනවා.
එය හඳුනාගත් මහජන නියෝජිතයන්ට පමණක් මේ රටේ උසස් ස්ථානයක් කරා ගමන් කිරීමට හැකියාව තිබෙන්නේ. දී.මු ජයරත්න චරිතයෙත් එම ගුණාංගය තිබුන නිසා එතුමා අද ආදර්ශවත් චරිතයක් බවට පත් වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
දී.මු. ජයරත්න චරිතය සමඟ වසර 50කට අධික කාලයක් ඇසුරු කළ මා ඔහු දැක්කේ මහා විප්ලවවාදියෙක් ලෙසින්. සමාජවාදියෙක් ලෙසත් වගේම අවංක දේශපාලනඥයෙක් ලෙසින්.
සිය දේශපාලනය ගම් සභාවෙන් ආරම්භ කර අග්‍රාමාත්‍ය තනතුර දක්වා යාමට එතුමාට හැකි වුණේ එතුමා ජනතාවත් සමඟ සිටි නිසයි.
එතුමාගේ වඩාත් අප සිත් ගත්තේ කතා ශෛලියයි. එතුමාගේ කතාවේදී අදහස් ගලා ගෙන එනවා. එය අපට පුදුම ගෙන දෙන කරුණක් වුණා. එතුමා චතුර කථිකයෙක්.
ඒ වගේම එතුමා රට තුළ ප්‍රසිද්ධියට පත් වුනේ කොබ්බෑකඩුව ඇමති තුමාගේ ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ගම්පොල ජනතාවට ලණුවලින් මැනලා ඉඩම් ලබා දීමට කටයුතු කිරීමෙන්.
මේ ලෙස ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට මුල්වීම ජනතා හදවත් වල අදටත් නොමැකෙන සටහනක් වී තිබෙනවා.
මේ ආකාරයට එතුමා ජනතාවට ආදරය කළා. රටට ආදරය කළා. බෞද්ධයෙක් ලෙස ශාසනයට ආදරය කළා වගේම අන්‍යාගමිකයන්ටත් ආදරය කළා. ඒ නිසා ජනතාවත් මෙතුමාට ආදරය කළා. එය ඔහු හදාගත් පෞරුෂයක්.
ඒ වගේම මට මතක් වෙනවා එදා අතුරු මැතිවරණ වේලාවකදී මුල්කිරිගලදී යම් සිද්ධියක් මුල්කරගෙන එතුමා රිමාන්ඩ් බාරයට පත් වුණා. එතුමා පැනලා දුවන කෙනෙක් නොවේ. ඔහු නිර්භීතයි අවංකයි නිහතමානියි.
සෑම සිංහල අවුරුද්දකටම චාරිත්‍රානුකූලව එතුමා මාව දකින්න හමුවෙන්න නෑදෑ ගමන් යනවා වගේම හැමදාම ආවේ දරුවෝ පිරිවරාගෙන.
එසේ තිබූ ඔහුගේ මිනිස් ගතිය නිහතමානීකම අපට අමතක කරන්න පුළුවන් කමක් නෑ.
ගෝඨාභය ජනාධිපතිතුමා මට කිව්වා “දී.මු. ජයරත්න හිටපු අ ගමැති තුමා මෙවර ජනාධිපතිවරණයේදී ගම්පොලදී කළ කතාව ඉතා වේගවත් කතාවක්. මම බියටත් පත් වුණා. ඒ ශෛලිය දැකලා” කියලා.
පාර්ලිමේන්තුවේදී සියලු මන්ත්‍රීවරු පක්ෂ භේදයෙන් තොරව ඔහුට ගරු කළා. එය අපටත් මහත් හයියක් වුණා.
ඒ වගේම පක්ෂයේ අර්බුදවලදී පක්ෂය රැක්ක හැටි ආණ්ඩුව රැක්ක හැටි කාටවත් අමතක කරන්න පුළුවන් කමක් නෑ.
දී.මු. ජයරත්න මැතිතුමා කළ සේවය ඉදිරියට ගෙන යාමට එතුමාගේ පුත් අනුරාධට බෑනාට දරුවන්ට විශාල වගකීමක් තිබෙනවා.
ඒ ලෙස එතුමා ගිය මාර්ගයේ යමින් අවංකව ජනතාව කෙරේ විශ්වාසය තබමින් ජනතාවට සේවය කරයි කියා අප තුළ විශ්වාසයක් තිබෙනවා.
කතානායක කරු ජයසූරිය මහතා
හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් ඇති කළ ජාතික ආගමික සමාජීය සේවාවන් අති මහත්. ජනතාවට ආදරය කරමින් ජනතාව සමඟ ජීවත් වුණු අහිංසක ගැමියෙක්. ඒ වගේම එතුමා සිංහල ගුරුවරයෙක්. තැපැල් ස්ථානාධිපතිවරයෙක්ව සිට ගම් සභාපතිත්වයෙන් දේශපාලනයට පිවිසි එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් හා අගමැතිවරයෙක් දක්වා යන්න හැකි වුණේ එතුමාට දර්ශනයක් හා ජනතා ආශිර්වාදය ලබා ගැනීමට හැකියාව තිබුණු නිසා බව සඳහන් කළ යුතුයි.
මෙරට ඉඩම් පනත ගෙන ඒමේදී එතුමා අතිවිශිෂ්ඨ සේවාවක් කළා. මහජන නියෝජිතයෙක් ලෙස ජනතාවට සේවය කළා සේම තරුණ මංත්‍රීවරුන්ට මෙතුමා ආදර්ශයක් හා අනුශාසනා දුන් කෙනෙක්. ඒ නිසා එතුමා පිරිසිදු දේශපාලකයෙක් ලෙස අපට හඳුනා ගත හැකියි.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කළ අතර, මහනුවර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ ශෝකය ඉදිරිපත් කරන ලදී.
ප්‍රාදේශීය දේශපාලනඥයන් නියෝජනය කරමින් හිටපු මධ්‍යම පළාත් සභා මංත්‍රී නිශ්ශංක හේරත් මහතා විසින් කථාවක් ඉදිරිපත් කරන ලදී.
පවුල වෙනුවෙන් පිළිගැනීමේ කථාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ අතර ස්තූති කතාව ජයරත්නමහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම, අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ සංඥා ලේඛකාධිකාරී සඳසිරි දුනුවිල, තපෝවනා රාමාධිපති අංකුඹුරේ ප්‍රේමවංශ, දොළුව ශ්‍රී බිම්බාරාමාධිපති උඩපළාත උප ප්‍රධාන සංඝනායක උඩගම ඥානිස්සර යන නා හිමිවරුන්ද මෙහිදී අනුශාසනා පැවැත්වූහ.
ගම්පොල ශාන්ත ඇන්ඩෲ දේවස්ථානයේ අනුරුද්ධ බණ්ඩාර පියතුමා හා ජිෆ්රි මවුලවි තුමා අනෙකුත් ආගමික කටයුතු සිදු කරමින් අනුශාසනා පැවැත්වූහ.
මෙම අවස්ථාව සඳහා මැති ඇමැතිවරු වන නිමල් සිරිපාලද සිල්වා, බන්දුල ගුණවර්ධන, විමල් විරවංශ, උදය ගම්මන්පිල, සරත් ඒකනායක, ඩී.යූ.චානක , ලක්ෂ්මන් වසන්ත පෙරේරා, වීර කුමාර දිසානායක, ආනන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන , නාමල් රාජපක්ෂ, එස්.එම්. රංජිත්, යන මහත්වරුද ගම්පොල නගරාධිපති සමන් අරුණ කුමාර, මහනුවර එ.ජා.ප. සංවිධායක අසේල අමරරත්න, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, යන මහත්වරු ඇතුළු මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ගම්පොල සමූහ සුරංග දිල්හාන්


0 Comments