Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක කුසලාන රග්බි

ජපානයේ හපන්නු සැමෝවා පරාජය කරද්දී ඕල් බ්ලැක්ස්ලා නැමීබියාව සෙල්ලමකට ගනිති

රග්බි ලෝක කුසලාන තරග බිමේ කෝඩුකාර නැමීබියානු පිල එහෙම පිටින්ම සෙල්ලමකට ගත් තුන් වතාවකදීම කුසලානය අත්පත් කරගත් වත්මන් ලෝක ශූර නවසීලන්ත ඕල්බ්ලැක්ස් පිල ඊයේ ටෝකියෝ ක්‍රීඩාංගණයේදි ලකුණු 71-9ක දැවැන්ත ජයක් වාර්තා කළේය.

තරගය පුරා උත්සාහක දිනුම් 11ක් තැබීමට නවසීලන්තය සමත්වූ අතර ඉන් උත්සාහක දිනුම් අටක්ම ගෝල බවට පත් කරමින් කාර්ය බහුල ක්‍රීඩකයා වූයේ ජෝඩි බැරෙට්ය.

කෙසේ වෙතත් තරගයේ 35 වැනි මිනිත්තුව වනවිට නවසීලන්තයට උත්සාහක දිනුම් දෙකකට වඩා තැබීමට ඉඩ නොදුන් මේ කෝඩුකාර නැමීබියානු ක්‍රීඩකයෝ ඒ අතරතුර දඬුවම් පහර 3ක් එල්ල කරමින් ලකුණු පරතරය එක් ලකුණක් ලෙස රඳවා තබාගැනීම කැපී පෙනුණි.

අනතුරුව 35 වැනි මිනිත්තුවේදි අන්ගස් ටාවාවෝ තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ බැරෙට් ලකුණු 17-9කින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීමෙන් පසුව උත්සාහක දිනුම් වරුසාවකින් නැමීබියාව තෙමා දැමූ නවසීලන්ත පිල තරගයේ ජයග්‍රහණයත්, ඔවුන් නියෝජනය කළ ‘බී‘ කාණ්ඩයේ පෙරමුණත් අත්කර ගත්තේය.

සත්කාරක ජපානය අපරාජිතව ඉදිරියට

මේ අතර රග්බි තරග බිමේ ප්‍රබලතම කණ්ඩායමක් වන සැමෝවා පිල ලකුණු 38-19කින් පරාජය කළ සත්කාරක ජපානය අපරාජිතව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පෙරේදා සමත්විය.

තරගයේ දෙවැනි මිනිත්තුවේදිම දඬුවම් පහරකින් ලකුණු 3-0කින් ජපානය ඉදිරියට ගෙන ගිය යූ ටමූරා තරගය නිමාවනවිට සිය කණ්ඩායම තැබූ උත්සාහක දිනුම් 4න් 3ක්ම ගෝල බවට පත් කළ අතර දඬුවම් පහර 4ක් ද සාර්ථක කර ගත්තේය.

සැමෝවා පිලේ දුර්වල ක්‍රීඩා විලාශය තව දුරටත් පෙන්නුම් කරමින් සිටින අතර පෙරේදා ඔවුන් රැස් කළ ලකුණු 19ම අත්කරගත්තේ හෙන්රි ටයිෆු වීම විශේෂත්වයකි.

ඔහු දඬුවම් පහර 4ක් සාර්ථක කරගත් අතර තරගය පුරා සැමෝවා පිල වාර්තා කළ එකම උත්සාහක දිනුමට හිමිකම් කියමින් එය ගෝලයක් බවටත් පත් කරගත්තේය.

ප්‍රංශයට තියුණු ජයක්

ටොංගා ක්‍රීඩකයන්ගේ ඉවසීම පරික්ෂා කළ ප්‍රංශ ක්‍රීඩකයෝ ලෝක කුසලාන රග්බි තරගමාලාවේ ඊයේ පැවැති තවත් තරගයකින් ලකුණු 23-21ක තියුණු ජයක් ලැබීමට සමත්විය.

තරගයේ අවසන් මොහොත වනවිට ලකුණු 23-14කින් පෙරමුණ ගෙන ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි ප්‍රංශ ක්‍රීඩකයන්ගේ නළල්තල එකවරම රැලි ගැන්වූ ටොංගා පිලේ සනී කපේලි විශිෂ්ට උත්සාහක දිනුමක් තැබූ අතර ලයියුමා ෆොසිටා එය ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායම ලකුණු 21කින් ඉදිරියට ගෙන ගියේය. එහෙත් ප්‍රංශයේ ජයග්‍රහණය වැළැක්වීමටඑය ප්‍රමාණවත් නොවිය.

ටොංගා පිල ගෝල් 3ක් වාර්තා කරද්දී ප්‍රංශය ගෝල් 2ක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කිරීමට සමත්විය.

ආජෙන්ටිනාව එංගලන්තයට පරදී

ප්‍රබල ආජෙන්ටිනාවට එරෙහිව ලකුණු 39-10 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ‘සී‘ කාණ්ඩයේ පෙරමුණ රැක ගැනීමට එංගලන්තය සමත්විය.

පෙරේදා ටෝකියෝ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී උත්සාහක දිනුම් 6ක් තැබීමට එංගලන්තය සමත්වූ අතර ඉන් 3ක් ගෝල බවට පත් කළ ඕවන් ෆෙරල් දඬුවම් පහරක් ද වාර්තා කළේය. ආජෙන්ටිනාව රැස් කළේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

ඔස්ට්‍රේලියාවට ජය

උරුගුවේ පිල සමග පැවැති ‘ඩී‘ කාණ්ඩයේ තරගයකින් ලකුණු 45-10ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඔස්ට්‍රේලියානු පිල තරගය පුරා උත්සාහක දිනුම් 7ක් තැබූ අතර ඉන් 5ක් ගෝල බවට පත් කිරීමට ක්‍රිස්ටින් ලිලිෆානෝ සමත්විය. උරුගුවේ පිල රැස් කළේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();